අඩවියේ හිතවතුන්

Tuesday, July 26, 2016

අම්මා-අපි-ඔවුන් (විඳවන විඳින ජීවිත)






කරව් කන්ද වසාගෙන වැහිකළුව පහත් වෙන්න පටන් ගත්තා. පුදාම ගලෙන් සැඟවී යන්නට පෙරාතුව අන්තිම හිරු රැස් ටිකත් පතිත කරමින්, හිරු දවසේ ගමන නිම කරමින්, ඉන්න වෙලාව. අහස් තලය ඒ නිසාම රතු මිශ්‍ර කහ පැහැයෙන් ආලෝකමත් වෙලා තිබුනා. 

ඒත් ඒ විචිත්‍රවත් බව කළු වැහිවලා විසින් ගිල දමමින් රාත්‍රිය ආරම්භ වීමට වේලාව ඉතිරිව තිබියදීම අඳුරට ආරාධනා කරන්නට පටන් ගත්තා. 

කොට බිත්තිය උඩ වාඩිවෙලා කරව් කන්ද දිහා ඇස්පිය නොහෙලා බලාගෙන කරන්නේ මොකද්ද කියලා කල්පනා කරමින් හිටියේ. 

නෝනා නංගී නොනවත්වාම අඬනවා. අවුරුදු තුනක් වයස නංගිගේ ඇඬුම දරාගන්න අමාරුයි. 

ලොකු නංගි පැදුරේ දිගාවෙලා කෙඳිරිගානවා. අම්මා නිතරම කිව්වෙ ලොකු නංගිට මාන්දම කියලා. ඇයටත් දැන් වයස අවුරුදු හයයි. 

නංගිලා අඬනවා නිතරම දැකලා තිබුනත් අද දවසේ ඔවුන් හෙලන කඳුළු මටත් ටිකක් දරාගන්න අමාරුයි. ඒකට හේතුව ඔවුන් අඬන හේතුව මටත් අදාල හේතුවක්. 

ඊයෙ දහවල් අම්මා පොල් නැතුව රොටි ගෙඩි එක බැගින් අපට පුච්චලා දුන්නා. අම්මා කෑවෙ රොටි බාගයයි. 

ලොකු නංගිට මම කිව්වා රොටිය එක පාරටම කන්න එපා කියලා. 

රොටියේ කෑල්ලක් කඩලා ඒක පොඩි පොඩි පතුරුවලට ගලවන්න පුළුවන්. 
එහෙම කරලා ටික ටික කෑවම ගොඩක් වෙලා කන්න පුලුවන්. අදටත් රොටී කනකොට මම එහෙම රස බලනවා. 

ලොකු නංගි තමුන්ගෙ රොටිය කටට දෙකට ගිලලා දැම්මා. අම්මගෙ රොටියෙනුත් කෑලි කෑලි කඩලා ලොකු නංගිට දුන්නා. ඒකත් කාලා ඉවර වෙලා මගෙනුත් ඉල්ලන්න පටන්ගත්තා. 

පතුරු ගහපු රොටිකෑලි තුන හතරක් මාත් ඇයට දුන්නා. ඇයගේ ඉල්ලීමෙන් බේරෙන්න මගේ රොටිය ඉතා ඉක්මනින් කාලා ඉවර කරන්න එදා මම මටම බල කළා. 


ඒ ඊයේ. මේ අද.





කලුවර මෝදු වෙන්න පටන් ගත්තාට මේ සැබෑ රාත්‍රීය නොවෙයි. ඒත් ගැඹුරු අඳුරක් සමග මහ වැස්සක් ආරම්භ වුනා. 

අම්මට මේ දවස් ටිකේ කුලී වැඩක්වත් ලැබුනේ නෑ. ගල්වලෙත් වැඩ නැවතිලා මාස දෙක තුනක් වෙනවා. අදත් ගමේ ඇවිදලා අම්මා හවස ගෙදර ආවෙ හිස් අතින්.

 උළුවහු කඳට හේත්තුවෙලා දොරකඩ පඩිය උඩ වාඩිවෙලා ඉන්න ඇය, චීත්ත පොටින් මූන වහං කරගෙනයි හිටියේ.

 ටික වෙලාවක් යනකොට අම්මත් ඉකිගහලා අඬන්න පටන්ගත්තා. මගේ දෙකෙණෙහි වාන් උතුරන්න පටන්ගත්තේ ඒ වෙලාවෙ. 

ඒත් මම ශබ්දය පිට කලේ නෑ. නංගිලාගේ හැඬුම ඉවසන්න පුළුවන්. ඒත් කවදාවත් නැතුව අම්මත් ඉකිගහලා අඬනවා. 

මම බැම්මෙන් හිමින් සැරේ බිමට බැස්සා. 

කොට කලිසම ටිකක් බඩ උඩට උස්සගත්තා. 

කුස්සියට ගිහින් මිට නැති වප්පිහිය අතට අරගත්තා. 

මහ වැස්සෙම මිදුලට අඩිය තිබ්බා.


“උඹ කොහෙද මේ මහ වැස්සෙ යන්නේ? පේන්නැද්ද රෑ බෝවෙලා කියලා? තියෙන කරදර මදිවට... මෙහෙ වරෙං. මෙහෙ වරෙං.. “


අම්මා කෑගසද්දිම මම යන්න පටංගත්තා. 

තාත්තා මියදුනේ මම දෙකේ පන්තියෙදි. දැන් මම හයේ පන්තියේ. ගෙදර ඉන්න එකම පිරිමියා මම, මටම මම අණකර ගත්තා. 

තාර පාර පැන්නා. හෑපොළඔයට යන අඩිපාරට පැනල දුවගෙන ගියා. 

පැතිරුණ කළුවර හිතට බියක් දැනෙව්වත්, ඊට වඩා හිතේ බරක්, හැඟීමක් මට බලපෑම් කරන්න පටන් අරං තියෙන්නෙ. 

ඔය ගාව අලු කෙහෙල් පඳුර ළඟට  පොඩි වෙලාවකිං ආවා. කළුවර පාත්වෙලා තිබ්බත් දවස් ගානක් කුරුමානං අල්ලපු බාගෙට පැහුණු අලුකෙහෙල් කැන වැටුනු ගහ තෝරගත්තා. 

ඇඟේ තිබුනු සියළු ශක්තිය පිහියට භාර කළා. 

මොට පිහියෙන් පහර පිට පහර පහළොවක් විස්සක් ගැහුවා. ඒත් ගහ බිඳෙන්නෙ නැහැ. 

ඇඟ තෙතබරිත වෙලා. පිහියත් ලිස්සනවා. පිහිය කෙහෙල්ගහටම කොටලා ගහේ රැඳෙව්වා. 

උඩ පැනලා ගහේ එල්ලුනා. ගහ හෙමිහිට පහත්වුනා. 

තව ටිකක් ගහ උඩට බඩගෑවා. ගහත් එක්කම මම වේගයෙන් බිමට පහත්වුනා. 

නැවත පිහිය අතට ගත්තා.

 පිහිපාර තුන හතරක් දීලා කෙහෙල්කැන කපා ගත්තා. 

මට උස්සගන්න අමාරු තරමේ බරක් කැනේ තිබුනා. 

ජීවිතේ පළමු වතාවට දැනෙන ලොකුම හොරකම කළා. ඒ ගැන හිතට පොඩි රිදුමක් ආවා. 

කළුවර තදට වැටිලා. ඒත් අඩිපාර ඉවෙන් වගේ දන්නවා. 

පුංචි කාලෙ ඉඳන්ම ඔලුවට ඇතුල් කරලා තිවුන හොල්මන් අවතාර මතක් වෙනවා. 

හිතට හයිය අරන් මහා ජයග්‍රහණයක් ලබාගත්ත ප්‍රීතියත් එක්කම තාර පාර ළඟටම ආවා. 

කෙහෙල්කැන පඳුරක් ළඟ හංගලා  පාරට ගිහින් දෙපැත්ත බැලුවා. කවුරුත් පේන්න නැහැ. 

දුවලා ගිහින් ආයිමත් කෙහෙල් කැන කරට ගත්තා.  පාර පැනලා අඩියට දෙකට ගෙයි පිලට ගොඩවුනා. 

අම්මා එක පාරට ඉඳගැස්සුනා. 

කුප්පි ලාම්පුව උස්සලා මගෙ මූනට අල්ලලා අම්මා හොඳින් විපරම් කළා.


“උඹ කෙහෙල් කැන කැපුවා එහෙනං“


අම්මා කුප්පි ලාම්පුව බිමිං තියලා දෝතින් කෙහෙල් කැන බිමට බෑවා. 
ඇඳං හිටපු චීත්ත පොටින්ම මගේ ඔළුව හොඳට පිහිදුවා. 

අම්මම කලිසම ගලෝල බිත්ති කොටේ උඩට කලිසම විසිකළා. 


“ගිහිං  ජංගියක් ඇඳගනිං.“


අලුකෙහෙල් ඇවරි කරලා යන්තම් පොතු ඇරලා කෑලි කෑලි වලට කපලා මුට්ටියට දාලා අම්මා ඒක ලිපේ තිබ්බා. 

නංගිලා දෙන්නත්, මාත්, අම්මත් ලිප වටේ වාඩිවෙලා අලුකෙහෙල් හැලිය තැම්බෙනකං බලං හිටියා. 

හැඳි මිටෙං ඇනලා, තැම්බුනාද බලලා අම්මා මුට්ටියට නෑඹිලිය තියලා වතුර පෙරන්න පටං ගත්තා. 

බෙලෙක් පිඟන් තුනකට, අලු කෙහෙල් හැඳි තුන හතර ගානෙ බෙදුවා. ඒවට ලුණු පොල්කට්ටෙං ලුණු ඉස්සා.


“කාපල්ලා“


අම්මා පිඟානක් මං ගාවට තල්ලු කළා. ලොකු නංගි ගාවටත් පිඟානක් තල්ලු කළා. 
ලොකු නංගීත් මමත් කට පිච්චි පිච්චි ඉක්මනට කන්න පටං ගත්තා. පොඩි නංගිගෙ පිඟානෙ අලුකෙහෙල් කෑලි අම්මා හැන්දෙං හොඳටම පොඩි කළා. පොඩි කරලා, ගුලි හදලා, පිඹලා, නිවලා නෝන නංගිගේ කටේ තියන්න පටංගත්තා.

“අම්මත් කන්නකො“

මම අම්මට කිව්වා. අඩි වළඳට කෑලි කීපයක් දාගත්ත අම්මත් රාත්‍රී භෝජනය ගන්න පටංගත්තා. 

වේල් ගණනාවක් පිරිමහගන්න ජයතිලක මුත්තගෙ ඉඩමේ කෙහෙල්කැන අපට එහෙම එදා පිහිට වුනා. 

මේ ආවර්ජනය වුනේ අපේ ජීවිත ගමනේ පුංචි පතුරක් තරමේ වූ සත්‍ය පමණයි.



මේ සියල්ල මට මතක් කළේ, චිත්‍රපටියක සේයා පටයකෙ මෙන් මැවි මැවී පෙනී ගියේ පහුගිය ඇසළ පෝය, ඒ කියන්නෙ 2016 ඇසළ පෝය දවසේ රිදීමාලියද්ද සංස්කෘතික මධ්‍යස්ථානයට එක්වෙලා හිටියා තුන් හාරසීයක් පමණ ලොකු කුඩා මිනිස්සු දකිනවත් එක්ක. 

ඒ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම් ගණනාවකින් ආපු මිනිස්සු. 

අද මෙතන උත්සවයක් තියෙනවා. ඒකට මුල්වුනේ අපි. 

ඒ කියන්නෙ රිදීමාලියද්ද විමුක්ති සංසදයේ සාමාජිකයො ටික.


 ලංකාවෙ දුප්පත්ම පළාත, ඒ කිව්වෙ දරිද්‍රතාවය වැඩිම පළාත විදිහට දැන් දශක ගණනාවක්ම තේරී පත්වෙන්නෙ ඌව. ලංකාවෙ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සියඹලාණ්ඩුව. දුප්පත් කමින් දෙවැනි තැන ගන්නේ මම ජීවත්වන රිදීමාලියද්ද  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. 

මේ ආපු මිනිස්සු ළඟ, මේ ආපු දරුපැටවුන්ගෙ මූණු දැක්කම මට මගේ ඒ ආවර්ජනය කරපු ඉතිහාසය මතක් වෙන්න පටන් ගත්තා. ඉරිච්ච ගවුම් කෑලි ඇඳගෙන, පයට සෙරෙප්පුවක්වත් නැතුව, අද උත්සවයේ බෙදන තෑගි ලැබෙනකම් බොහොමයක් පොඩි එවුන් වාඩිවෙලා බලන් ඉන්නවා. 

මේ හැම දරුවෙකුටම, මේ හැම අම්මා තාත්තා කෙනෙකුටම සංග්‍රහයක් අපි සූදානම් කරලා තිබුනා. ඒවා භුක්ති විඳිනකොට මම නැවත මනසින් ඉතිහාසය නැවත නැවතත් කියවන්න පටන්ගත්තා.







කොළඹ මැනිං වෙළඳ පොලේ ව්‍යාපාරික හිතවත්තු මේ දරුවන්ට තව ටික වෙලාවකින් තෑගි බෝග අරන් එනවා. ඒ ඔවුන්ට ඉගෙනගන්න අවශ්‍ය උපකරණ. 

පොත්පත්, බෑග්, සපත්තු ඔවුන් කද බැඳගෙන ටික වෙලාවකින් අරන් ආවා. 

අපි දරුවො සියයකට බොහොම වටිනා අධ්‍යාපන උපකරණ කට්ටලය බැගින් බෙදුවා. 





ඒ තෑගි ලබපු දරුවන්ගේ නංගිලා මල්ලිලා ඒ අයටත් අතහිත පිරෙන්න අමතරව පොත්පත් බෙදුවා. 

කොළඹ මැනිං වෙළඳ පොලෙන් ආපු ව්‍යාපාරික හිතවත්තු බොහොම සතුටු වුනා. මට අදහස් දක්වන්න ලැබුණු වෙලාවේ මම පෙරකී ඉතිහාසය ටිකක් මතක් කළා.

“මේ තමයි ලංකාවෙ දෙවැනියට දුප්පතුන් වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ විශේෂත්වය, මේ කොට්ඨාශයට නගරයක් නෑ. මේ කොට්ඨාශයට තියෙන්නෙ එක ජාතික පාසලයි. ඒකේ තවම උගන්වන්නෙ උසස්පෙළ කලා, වානිජ විතරයි. ලංකාවෙ අඩු වයසින් විවාහවන පිරිස් වැඩියෙන්ම ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය රිදීමාලියද්ද. පාසැල් හැර යන ප්‍රමාණය වැඩියි. බීමත්කම වැඩියි. නූගත්කම වැඩියි. සියදිවි නසාගැනීම් වලින් තුන්වැනි තැන ලබන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. අපි ආර්ථික අතින් දුප්පත් උනහම දුප්පත් කමේ ඒ පෙරකී නෑයො අපි වටා සැරිසරනවා. ලෝකෙ කොච්චර වේගෙන් ඉස්සරහට ගියත් රටේ බොහෝ ප්‍රදේශවලට තවමත් තාක්‍ෂණය එන්නෙ බඩගාගෙන. දැනුම එන්නෙ බඩගාගෙන.“


අපි ඒ හැමෝටම ඇහෙන්න කිව්වා. 

අපේ විමුක්ති සංසදයේ අදහසක් තියෙනවා මේ ප්‍රදේශයේ පරිගණක පාසලක ආරම්භ කරන්න. 

දරුවන්ට ලෝකය දකින්න, තාක්‍ෂණය දෙන්න, ඉදිරියට යන්න, අපට දෙන්න පුළුවන් හොඳම දේ ඒක. හොඳම දේවල් අතරෙ එය එකක් කියලා අපි හිතනවා. 

පරිගණක පාසලක් ආරම්භ කරන්න කියලා හිතාගෙන අපි දැං අවුරුදු හත අටක ඉඳං ඒකට ගැළපෙන ගොඩනැගිල්ලක් හදමින් ඉන්නෙ. 

ඒ ගොඩනැගිල්ලෙ බිම් මහලෙ වැඩ තව සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ ටිකත් අපේ ශ්‍රමයයි, ශක්තියයි යොදවලා අපි කරනවා. 

ඒත් මේ පාසල පවත්වගෙන යන්න තව අපිට  බොහෝ කාර්යයක් කරන්න තියෙනවා. 

ඒක ටිකක් දුෂ්කර උනත් අපි ඒක කෙදිනක හෝ ජයගන්නවා කියලා මම මගේ කතාවෙදි කිව්වා.

මැනිං වෙළඳ පොලේ ව්‍යාපාරික හිතවත්තු වෙනම එක්කහු වෙලා සාකච්ඡා කරලා එක ව්‍යාපාරික මහතෙක් මයික්‍රෆෝනය අතට අරගෙන තුන් හාරසීයක් වෙච්චි සභාවට පොරොන්දුවක් වුනා.

“ඔබලා ගැන අපට දැනෙනවා. ඔබලා ගැන අපට හැඟෙනවා. ඔබලාගේ මේ උත්සාහය, ලෝකය දකින්න ඉස්සරහට යන්න මේ උත්සාහයට අපි අත්වැලක් දෙන්න තීන්දු කළා. පරිගණක පාසල ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය පරිගණක ප්‍රමාණය අරගෙන දෙන්න අපි පොරොන්දු වෙනවා.“


ඒ සමගම ආපු දරුවෝ, වැඩිහිටියෝ උඩ පැන පැන අප්පුඩි ගැහුවා. විනාඩි දෙක තුනක් ප්‍රීතිඝෝෂා නැගුවා.


මම දන්නවා මේ ආපු දරු පැටව්, මේ වැඩිහිටියෝ, සැලකිය යුතු පිරිසක් අපේ අම්මා, මම, නංගිලා කුඩා කාලෙ අත්විඳපු ජීවිතය තාමත් ගතකරනවා කියලා. ඒක දකින්නේ, ඒක පේන්නේ හැමෝටම නෙවෙයි. ඒක විඳපු, ඒක දැකපු, ඒක දකින්න සමත් මිනිස්සු විතරමයි.


අප රටේ ඉහළම ආදායම් ලබන සියයට දහයක පිරිසක් රටේ සමස්ථ ජාතික ආදායමෙන් සියයට තිස් අටයි දශම හයක් අද වෙනකොට භුක්ති විඳිනවා. පහළම ආදායම් ලබන සියයට දහයක් වූ පිරිස භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට එකයි දශම බිංදුවයි එකක්. අපේ පළාතේ බහුතරයක් ජනතාව මේ පහළම සියයට දහයට ඇතුල්වෙනවා. ඒ නිසා තමයි ලංකාවේ දුප්පතුන් බහුලම පලාත හැටියට ඌව තේරී පත්වෙලා තියෙන්නේ.


2014 වන විටත් රටේ සමස්ත පවුල්වලින් සියයට තිස් තුනක් ඒ කියන්නෙ දහසය ලක්ෂ තිස් එක්දහස්  එකසිය තිස් තුනක් (1631133) ක් සමෘද්ධි සහනාධාර කූපන්පත හිමි අය. 

අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහුතරයක් ඉන්නේ සමෘද්ධි ප්‍රතිලාභීන්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ‘දරුවෙක් මවු කුසෙන් මෙලොව එළිය දකින කොට, අවම උපත් බර කිලෝ දෙකහමාරක් තියෙන්න ඕන‘ කියලා. 

ඒත් අපේ රටේ තවමත් උපදින දරුවන්ගෙන් සියයට විසි දෙකක් කිලෝ දෙකහමාරක බරට අඩු බරක් සහිතව තමයි උපදින්නේ. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවෙදි ළඟදි කිව්වා රටේ ජනගහනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් දිනකදී උපයගන්නෙ ඩොලර් දෙකකට අඩුවෙන් කියලා.


ලෝකයේ ගත්තත් මෙවැනි අසාධාරණයට ගොදුරුවුනු මිනිස්සු ඕන තරම් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා ආහාර හිඟකම හේතුවෙන් දිනකට ලොව මිනිස්සු විසිපන්දාහක් මැරෙනවා කියලා. 

ලෝකයේ ඉහළම ධනවත් පුද්ගලයන් තුන්දෙනාගෙ වත්කම ලොව දිළිඳුම රටවල් 48ක දළ දේශීය නිෂ්පාදිතයේ එකතුවට වඩා වැඩියි. 

සමහරු මේකට කියයි මේක මිනිස්සුන්ගේ කරුමය කියලා. 

තවත් කෙනෙක් කියයි මේක මිනිස්සුන්ගෙ පවුකාරකම කියලා. 

ලබා උපන් හැටි කියලා තවත් මිනිස්සු හිත හදාගෙන ඉන්නවා. 

මේ ලෝකය දුප්පත් වෙලා තියෙන්නෙ මිල මුදල්වලින් නෙමෙයි. 

බහුතරයක් මිනිසුන් දැනුමෙන්, හැඟීමෙන්, දහිරියෙන්, කැපවීමෙන් දුප්පත්. උසස් වූ මනසක් තිබෙනවා යැයි කියන මිනිසුන්ට ඇයි බැරි යුක්තිය සාධාරණය මේ පොළවට, මේ මිනිසුන්ට දිනා දෙන්න. 

මේ පවතින නීතියට යුක්තියක් නෑ. යුක්තිය ලබාදෙන්න සමත් නීතියක් තාම ගොඩනැගිලා නෑ. 


මිනිස්සුන්ගෙ කරුමෙ වෙලා තියෙන්නෙ මෙන්න මේ පවතින ක්‍රමය.





මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණ යුක්තිය හොයාගෙන අපි යනවා. 

කෙදිනක හෝ මේ මිනිසුන්ට ඒ අරුණාලෝකය කැන්දලා දෙන්න අපේ හිතේ අධිෂ්ඨානයක් තියෙනවා.

21 comments:

  1. අගනා කර්තව්‍යයටත් අගනා ලියවිල්ලටත් බොහොම ස්තුතියි.

    ලිපියේ වැදගත්ම කොටස ලෙස මට පෙනුනේ, //බහුතරයක් මිනිසුන් දැනුමෙන්, හැඟීමෙන්, දහිරියෙන්, කැපවීමෙන් දුප්පත්. උසස් වූ මනසක් තිබෙනවා යැයි කියන මිනිසුන්ට ඇයි බැරි යුක්තිය සාධාරණය මේ පොළවට, මේ මිනිසුන්ට දිනා දෙන්න.//

    මෙහි, ඔබ දෙවන වාක්‍යයේ අසා ඇති ප්‍රශ්නයට ප්‍රශ්නයට පළමු වාක්‍යයෙන් පිළිතුරු ලැබෙන බව මට සිතේ.

    දැනුමෙන්, හැඟීමෙන්, දහිරියෙන් සහ කැපවීමෙන් දුප්පත් දරුවන්ව එම ගුණාංගයන්ගෙන් පොහොසත් කරමින් හොඳ අනාගතයක් වෙත තල්ලුකරගෙන යාමේ වගකීමක් වැඩිහිටියන් වශයෙන් අපට තිබේ. ඔබ ඒ වෙනුවෙන් ගන්නා වෙහෙස ඉතා වටී. නමුත්, දැනුමෙන්, හැඟීමෙන්, දහිරියෙන් සහ කැපවීමෙන් දුප්පත්, දියසේන කුමරු පැමිණෙන තෙක් බලාසිටින වැඩිහිටි මිනිසුන් වෙනුවෙන් ලෝකය දිනා දීමට වෙනත් පිරිසකට හැකි යයි මම නොසිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්වූ අදහස් වලට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබ පැවසුවා හරි. දියසේන කුමරු පැමිණෙනතෙක් බලාසිටීම පලක් නොවන ක්‍රියාවකි. වෙහෙසෙන කැපවෙන ඇපවෙන මිනිසුන්ගෙන් ලෝකයට යමක් එකතුවුණි. ඔවුන් අතින් සමාජ සංවර්ධනයට දායකත්වය ලැබුණි. ඉදිරියටත් මේ ලෝකයට යහපත් දේ එකතු වනුයේ තම ශ්‍රමය තම දැනුම කැපවීමෙන් අරමුණු සහගතව එකතු කරන මිනිසුන්ගෙනි. ඔබට ස්තූතියි.

      Delete
  2. // මැනිං වෙළඳ පොලේ ව්‍යාපාරික හිතවත්තු //

    හන්දියේ බුලත්විට විකුනූ හාදයා ද දනපතියෙක් යැයි ලේබල් ගසා ඝාතනය කල ඉතිහාසයකට උරුම කියනා ජ වි පෙ සාමාජිකයෝ මැනිං වෙළඳ පොලේ ව්‍යාපාරික හිතවත්තු සමග එකට වැඩ කිරීමට උගැන්වීම ගැන රනිල් වික්‍රමසින්හ තුමා ට අපගේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. උපහාසය ඉතා අගනෙයි. නමුත් මෙය ඊ්ට සුදුසු තැන හෝ අවස්තාව නොවේ. හැකිනම් අපකාර කරන්න. නොහැකිනම් මෙතනදීවත් මුනිවත රකිනවානම් ඉතා අගනෙයි

      Delete
    2. sa rasa කියවමු.
      මගේ පළමු ලියමනට sa rasa දැමු comment එක

      //ඔබ ගේ දේසපාලනේ විවේචනය කොලොත් එයට ශිශ්ට සම්පන්නව මුහුනදීමේ හැකියාවක් තිබෙනවාද?//

      එයට මා දුන් පිළිතුර

      //අකුරු අමුණලා එන විදිය තේරෙනවා. ශිෂ්ඨ සම්පන්න නැති සමාජයක් තුළ බොහෝ අපුල සිදුවීම් සිදුවෙමින් තිබෙනවා. අකුරු වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ශිෂ්ඨ සම්පන්න විවේචන රැගෙන එන්න. ඒවා අදාල තැන් වලදි ඉදිරිපත් කරන්න. විවේචන මග නොහැර යමි. බෙහෙවින්ම ඔබට ස්තූතියි//

      මයියා පළමු මගේ ලිපියට පලකල අදහස

      //මේ බ්ලොග් එක ලියන්නේ පක්සෙන් අවසර අරන්ද?//

      එයට sa rasa සතුටින් එක්කල අදහස

      //මේ පෝස්ට් එකේ පලවුනු වැදගත් ම කොමෙන්ට් එක!//

      මම එයට ලබාදුන් පිළිතුර

      //අකුරු අමුණලා එන විදිය තේරෙනවා. පිළිතුරු දුයිෂේන්ගේ ලිපියෙම තියනවා.Sa rasa කියන වැදගත් කමක් මට දැනෙන්නෙම නෑ. ස්තූතියි//

      මාගේ හතර වන ලිපියට sa rasa දැක්වූ අදහස

      //මහින්ද චින්තනය නැමති පත්‍රිකාව කියෙවුව්වා වගේ..... ජයවේවා!//

      //මහින්ද ගේ කුම්බලා මාලු කා විඳවූ ජේ වී පී බලල්ලු රනිල් ගේ කාරල්ලා මාලු කන්නට ගොස් වුනු කාරියා.......//

      එය ඇතුළු අදහස් කිහිපයකට මා දැක්වූ පිළිතුර

      //අකුරුද වචනද වාක්‍යද ගණිකා වෘත්තියට භාවිතා කිරීම ගැන කණගාටුවෙමි. මීට වඩා බුද්ධිමය සංවාද බලාපොරොත්තු වෙමි.//

      මාගේ පස්වන ලිපියට sa rasa දැක්වූ අදහස්

      //ඇයි ක්‍රිශ්මාල් ලයිට් කනුවල බැඳලා මිනිසුන් ට වෙඩි තියලා තියෙනවද, නැත්තන් මහ රෑ ගෙවල් වලට පැනලා හැඳුනුම්පත් එකතු කරලා තියෙනවද ලැජ්ජා වෙන්න?//




      මේ sa rasa ගේ ni rasa අදහස් සියල්ල කියෙව්වාම sa rasa කියන්නේ කවුරුන්ද යන්න වැටහෙනවා. sa rasa ගේ මුල්ම අදහසට මම පිළිතුරු දුන්නේ

      //ශිෂ්ඨ සම්පන්න විවේචන රැගෙන එන්න. ඒවා අදාල තැන් වලදි ඉදිරිපත් කරන්න.//
      sa rasa ට තියන අසනීපය තේරෙන කාට උනත් තේරෙනවා ඇති. ඔබට මම පවසමි. තැන නොතැන තේරුම්ගමු. මෙතන අදාල තැන නොවේ. ඔබට තිබෙන විවේචනයට වෙන වේදිකාවක් තනාගනිමු. මට හිතෙනවා ඔබ මතු කරනා කාරණා වලදි අලුතෙන් හිතන්න හා වෙනස් වෙන්න ඔබ සුදානම් නෑ කියලා. හැබැයි ලොකෙම වෙනස් වෙනවා. ඒවගේම අලුත් වෙනවා. අපිත් එහෙම තමයි. මහා සිදුවීම් දාමයක් වචන හත අටක් කරලා ප්‍රශ්න කරන්න පුළුවන් නමුත් ඒවාට පිළිතුරු කෙටි නොමැති බව තේරුම් ගන්න. එනිසා ඒ සඳහා වෙනස් වේදිකාවකදි හමුවන්න. වැදගත් තැනකදි, එළිමහනේදි මළපහ නොකරන්න. වෙනත් කෙනෙක් එය කළා යැයි පවසමින් ඔබද එය නොකරන්න. අපුල සහ ගඳ දසත පැතිරෙන බව තේරුම් ගන්න.

      ලිපියක් ලියන විටම ප්‍රහාරයක් එල්ලවේ. ඒ ලිපියේ අන්තර්ගතයට නොවේ. ඔබේ අකුරු නැමති උණ්ඩ වලින් පුස් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ ලිවීම ඝාතනය කිරීමටද. එය සිදු නොවනු ඇත. ඔබ කියන ඉතිහාසය ඝාතකයන්ගෙන් මා ඇතුළු බොහෝ දෙනා දිවි ගලවා ගත්තේ ඉතා අපහසුවෙනි. ඝාතකයන්ගේ වද බන්ධනයට අප පවුල් වල බොහෝ දෙනා ගොදුරුවිය. ඒ තත්ත්වයන් හමුවේද පසු නොබෑ මිනිසුන් නීරස අදහස් හමුවේ පසු නොබසිනු ඇත. එකක් පවසමි. ඝාතනය වේදනාවකි එය අනුමත නොකරමි. ස්තූතියි.

      Delete
  3. අපකාර නොව උපකාර

    ReplyDelete
  4. 'අවස්ථා' ඇති කිරීම ලේසි නෑ. ඒත් අමාරුවෙන් හරි 'අවස්ථා' ඇති කලොත් වරදින්නෙත් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
  5. සතුටුයි ලියුවට.. දුකයි බදුල්ලේ එකෙක් වීම ගැන හා මොවුන් (අපි) වෙනුවෙන් යමක් කිරීමට නොහැකි විම ගැන..

    ReplyDelete
    Replies
    1. කාලය ඉතිරිව ඇත. කිරීමටද බොහෝ කාර්යන් ඇත. දුක්නොවී අනාගතය වෙනුවෙන් යමක් කරමු. ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  6. ලංකාව ඇතුලේ ආණ්ඩුවලින් යමක් සිදු වන තුරු බලා සිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්.ඒ නිසා අපි අපිට පුළුවන් විදිහට අපි අපිම උදවු උපකාර කර ගැනීම තමයි තාවකාලික විසදුම.පහුගිය ගංවතුර වෙලෙත් ක්‍රියාත්මක උනේ ඒ තියරිය නොවැ.

    ReplyDelete
  7. ඔබ කුඩා කාලයේ කතාවක් ගෙනහැර දැක්වීම ඉතා වටී. මුල මතක තිබීමම මනුස්සයෙක්ට ගමනට පාලමක් වන්නේය. එම කතාව පෝයදා "හිත නිවන කතා" විශේෂාංගයේ නම් වන්නේ ඔය විදිහට නොවේය. එහෙනම් අම්මා ඔබත්, ඔබ ගෙනා කෙහෙල් කැනත් රැගෙන එහි හිමිකරුවා ළඟට ගොස් තම දරුව සිදුකළ වරද කියා කෙහෙල්කැන බාර දෙයි. 'බඩගින්නේ හිටියත් හොරකම් නොකරනු' කියා දරුවාටද උපදෙස් දෙයි. ඒ දැක කෙහෙල් කැන් හිමියා ඔබ පවුලටම ජීවිත කාලෙටම ඇති තරම් වස්තු සම්භාරයක් ගෙඩ්ඩ පිටින් පොදිබැඳ දෙයි.

    නමුත්, අපේ රටේ එහෙව් දානපතියෝ නැත. බඩගින්න ඉදිරියේ සියල්ල පරාජය වේ. බුදුරජාණන් වහන්සේත් බඩගින්නෙ හිටි අයට බණ නොකියා සා පිපාසාව සංසිඳෙව්වේ එනිසාය. බදුල්ල ප්‍රදේශයේ මාගේ වසර හයක සේවා කාලය තුළ බඩගින්න ගැන බොහෝදේ දුටුවෙමි. බත් මුලට, රුපියල් දෙසීයට සිය ශරීරය විකුණූ කාන්තාවන් ගැන අසා ඇත්තෙමි. පාසලේ සංවර්ධන කටයුත්තකට අනිවාර්ය කළ රුපියල් පන්සීය හොයා ගැනීමට ගෙයක් ගානේ ගිය පාසල් දරුවෙක් සිය 'යැදීමේ' ගමන අවසන් කලේ අපේ ගෙදරිනි. පේරාදෙණිය - බදුල්ල - චෙන්කල්අඩි පාරට පුළුල් වී සුදු ඉරි ඇඳෙද්දී පස්සර, ලුණුගල ගම්වල බාලවයස්කාර දියණියෝ අවජාතක දරුවන් වදති. මීලඟ බුදුන්ට ඌවේ ඉපදීමට හැකිනම් උන්වහන්සේට සසර කළකිරෙන්නට සතියක්වත් ගතවන්නේ නැත.

    මේ සියල්ලට හේතුව නූගත්කමයි. දුප්පත්කමයි. එබැවින් ඔබගේ පරිගණක පාසල යුගයේ අවශ්‍යතාවයකි. එයට අපගේ ආශිර්වාදය. කරුණාකර, එහි විෂය නිර්දේශය තැනීමේදී ටයිපින්, පොටෝෂොප්, වෙබ් ඩිසයිනින්, ඉන්ටනෙට්, ඊමේල් වලට පෙර ඉංග්‍රීසි භාෂාව සහ අන්තර්ජාලයෙන් අවශ්‍ය දේ හරියටම සොයාගැනීම උගන්වන්න. එදාට යුරෝපයේ මිනිසුන්ගේ කාර්යාල වැඩ කරදී රිදීමාලියද්දට ඩොලර් ගෙනෙන, නේපාලයේ ගොවියන්ගෙන් උපදෙස් ගෙන අප්පච්චිගේ ගොයම් වගාවට වැළඳුන රෝගයට නිට්ටාවට විසඳුම් දෙන දරුදැරියෝ ඔබේ ගමේ බිහිවනු ඇත. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වලට බෙහෙවින් ස්තූතියි. අනාගතය යහපත්වනු ඇත.අප සුබවාදීව කල්පනා කරමු. කල්පනා කළ පලියට යහපත් අනාගතයක් උදා නොවනු ඇත. අයහපත් මිනිසුන් හා අයහපත් ක්‍රියාවන් සමඟ අපට පොරබැදීමට සටන් කිරීමට සිදුවනු ඇත. ඊට අපි සුදානම්. ස්තූතියි.

      Delete
  8. මේකේ අවංකව අදහස් දක්වන්න බයයි.... ඔබ එහෙම හිතන බවක් නොපෙනුනාට සමහර අය එහෙම හිතන බව පේනවා...

    එතන තියෙන්නේ වෛරය මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි.. ඒක සමාජයෙන් ලේ වල පයිත්තියන් වන දෙයක්... අනික ඔබේ පක්ෂයෙත් තියෙන දෙයක්.. ප්‍රශ්ණ කරන්න නොහැකිවීම..

    කෙනෙක් අදහස් දැක්වූ විට ඒක විහිළුවට ලක් කිරීමක්වත්. අපහාසයට ලක් කිරීමක්වත්, හෑල්ලුකිරීමක් ලෙස නොසිතන්න.. එසේ නම් දේශපාලනය මෙන්ම මාධ්‍යවේදය කල නොහැක.. එසේ නම් රනිල් වික්‍රමසිංහලා වහ බීලා මැරෙන්න ඕන.. මහින්දලා, සිරිසේනලා උනත් එහෙමයි...

    සමන්ත අන්තීමට කිව්වා වගේ මේකට තියෙන එකම උත්තරය ක්‍රමය වෙනස් කරන එක. ඒත් ඒක වෙනිසියුලාවේදි අසාර්ථකයි නේද සහෝ...

    ඒ නිසා ඔබට පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්න. ඔබට මැනිං වෙළඳ පොලේ අයගෙ සහයෝගය තියෙන නිසා... මොවුන් ආර්ථික භෝග වගාවකට යොමු කරන්න.. එහෙම කරන අම්මාන වගේම, ආයතනත් දැන් තියෙනවා..

    මම එදා ඉඳන් අදහන් දේ තමයි නිකං දෙනවට වඩා තම ස්වෝත්සාහයෙන් මොනවා හරි හොයා ගන්න එක.. එහෙම මිනිස්සුන්ගේ හිත ශක්තිමත්. යැපුම් මානසිකත්වය කිසි ලෙසකින්වත් හොඳ දෙයක් නෙමෙයි..

    අපේ පවුල් උනත් යම් කිසි තත්වයකට ඇවිත් තියෙනවා නම් ඒ අපේ වැඩිහිටියන්ගේ ස්වෝත්සාහයෙන් මිසක් පිනා කාලා නෙමෙයි... හොඳම උදාහරණය කෙහෙල් කැනේ කතාව.. කෙහෙල් ගහක් දෙකක් ඉඳගන්න එක.. කොස් ගහක් ඉන්දගන්න එක මහ දේවල් නෙමෙයි නේ... අනික තමයි අධ්‍යාපනය.. ඒකේ වටිනාකම පුළුවන් තරම අවබෝධ කරලා දෙන්න.. මම පෞදගලිකව මේ වගේ උත්සව තියලා දන් දෙන ඒවට අකමැතියි.. අපිත් පුලු පුලුවන් විදියට දන් දෙනවා... ඒත් අප්‍රසිද්දියේ.. බොහෝ විට ලැබෙන කෙනා නොදැනුවත්වම...

    කොළඹ ඉඳන් බ්ලොග් ලිව්වට අපි මේ දුක්බර ජීවිත ගැන හොඳ අවබෝධයකින් ඉන්න බවත් අපේ මුතුන් මිත්තන්ද රජ කාලයේ මේ දුක් විඳ, සුද්දාගේ කාලයේ වලෙන් ගොඩ ආ උන් බවත් අමතක නොකරන්න කියා අවසාන වශයෙන් කියන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. අදහස් වලට බියවිය යුතු නැත. වෙනස් නොවන අදහස්, අලුත් නොවන මිනිසුන් පලක් නොවනු ඇත. සමහර සමාජගත අදහස් නිවරදි නොවේ. ප්‍රශ්න කළහැක ඊට ලබාදෙන පිළිතුර පිළිනොගන්නා මිනිසුන් බොහෝමයක් අත තියන ජනප්‍රිය පිළිතුරකි "කියලා වැඩක් නෑ, අහලා වැඩක් නෑ" නමුත් එය නිවරදි නොවේ. මේ පවතින ක්‍රමය වැරදිය. මේ පවතින ක්‍රමය විසින් හුරුකර ඇත්තේ රැඩිකල් පිළිතුරු වලට නොවේ. අද සමාජයේ 90% කට ආසන්න ප්‍රමාණයක් තම දැක්ම ගොඩනගා ගන්නේ මේ පවතින සමාජයේ අධිපතිවාදි මතවලිනි. නැතහොත් මේ මාධ්‍යයන් පවසන දෙයිනි. ඊට විකල්ප මත ඉවසිය හැකි පිරිස කුඩාය.

      මාඕ සේතුං කීවා සේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුට දිය යුත්තේ මාළුවෙකු නොව බිළිපිත්තකි. මට තවත් මිතුරෙකු කීවේ ඔහුට බීලිපිත්තක් සදා ගන්නා ආකාරය කියාදිය යුතු බවය. අප විවාද කරමින් නොසිටියෙමු. අපි මැදිහත්ව යමක් කළෙමු. දරුවන්ට අනාගතය ගොඩනගා ගැනීමට, දැනුම ලබාගැනීමට අධ්‍යාපනය වෙනුවෙන් බිලීපිති ලබාදුන්නෙමු. අපි කරන කාර්යන් අතර මේ එකක් පමණි.

      බොහෝ දන් දෙන්නෝ ලබන අාත්මයක් ගැන සිතති. පරිත්‍යාගය පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා කරන්නේ නම් ඔබ කියන අයුරින්ම එයද අනුමත නොකරමි. පරිත්‍යාගය පිළිබඳ සමාජය දැනුවත් කිරීමෙන් සමාජමය ලාභයක් ලැබෙන්නේ නම් එය අනුමත කරමි්‍. ඔබ දැක්වූ අදහස් වලට බෙහෙවින් ස්තූතියි.

      Delete
  9. //ඒ නිසා ඔබට පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්න. ඔබට මැනිං වෙළඳ පොලේ අයගෙ සහයෝගය තියෙන නිසා... මොවුන් ආර්ථික භෝග වගාවකට යොමු කරන්න.. එහෙම කරන අම්මාන වගේම, ආයතනත් දැන් තියෙනවා.. // සැහෙන්න වටිනා අදහසක් මාතලන්..කරනවානම් කරන්න හොඳ වැඩක් මෙන්න... ඔය පළාත්වල මිනිස්සු ගිනිපොලී වලට සල්ලි අරන් වගා කරලා ඒවා පාළු වුනාම වස විෂ බිලා මැරෙන අවස්ථා පවා තියෙනවා.. //මම එදා ඉඳන් අදහන් දේ තමයි නිකං දෙනවට වඩා තම ස්වෝත්සාහයෙන් මොනවා හරි හොයා ගන්න එක.. එහෙම මිනිස්සුන්ගේ හිත ශක්තිමත්. යැපුම් මානසිකත්වය කිසි ලෙසකින්වත් හොඳ දෙයක් නෙමෙයි.. // සහතික ඇත්ත.. මේ වගේ ළමයින්ට පොත් පත් දෙන අතරේ අම්මලා තාත්තලාට මහන්සියෙන් යමක් උපයාගන්න උදව් කරන එකයි වෙන්න ඕනේ... දුයිෂෙන් අර කිරිගොවියන් හැදීමේ යෝජනාවක් කලේ අන්න ඒ වගේ වැඩ.. මට නම් හිතෙන්නේ මාතලන් ගේ මේ අදහස වගේ එකකකටත් විරුද්ධ වෙන කෙනෙක් සමන්ත වගේ කෙනෙක් වෙන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. අප කටෝර බිමක් එළිපෙහෙලි කරමි. මහා අස්වැන්නක් බලාපොරොත්තු වෙමි. මහා යායක් අස්වද්දමින් සිටි. සතුරු උවදුරු, සතා සිව්පාවගෙන් කරදර මැඩ ඉදිරියටම යමි. ්‍

      ඔබද මාතලන්ද කිවා හරි. අපි ජනතාව සවිබල ගන්වමින් සිටිමි. මේ මොහොතේ ඔවුන්ගේ ජිවිත නගාසිටුවීමට ව්‍යාපෘති ගණනාවක් සිදුවෙමින් පවති. ඔබ දැක්වු අදහදස් වලට බෙහෙවින් ස්තූතීයි.

      Delete
  10. //තාත්තා මියදුනේ මම දෙකේ පන්තියෙදි. දැන් මම හයේ පන්තියේ. ගෙදර ඉන්න එකම පිරිමියා මම, මටම මම අණකර ගත්තා. // දුයිෂෙන් මටනම් හිතෙන්නේ ඔබ කුඩා ළමයෙකු අවදියේත් ඇනුන් වෙනුවෙන් කැපවී වැඩකළ හැටි පෙන්වන කදිම උදාහරණයක් මේක... දරුවන් ආර්ථික අපසුතා නිසා මෙවනි දුක්ඛිත තත්ත්ව වලට වැටෙනවා අනන්තවත් .. දරුවන් ගේ අධ්‍යාපනයට අත්වැලක් සපයන ගමන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට ආදායම් මාර්ග සකස් කෙරෙන ක්‍රමයක් ( ස්වයං රැකියා , වගා කටයුතු) වෙනුවෙන් ඇති හැකි මිනිසුන් පෙළගස්වන්න බලමු..ජයවේවා !!!

    ReplyDelete
  11. අගෙයි ඔබ සැම එකතුවී අහිංසක දරුවන් වෙනුවෙන් කරන මෙම උපකාරය.

    මාතලං කියල තියෙනව වගේ හැමදාම නිකං දෙන දේ ගන්න බලාගෙන ඉන්න ඒ මිනිස්සුන්ට පුරුදු කරන්නැතුව උපකාර කරන ගමන් ස්වෝත්සාහයෙන් නැගී සිටින්න ඒ මිනිස්සුන්ව මෙහෙයවන එක වටිනව.

    ජය.

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.

      Delete
  12. ඔයා උදේනිගේ අයියද

    ReplyDelete