අඩවියේ හිතවතුන්

Monday, August 15, 2016

මට අලියෙක් වෙන්න දීපං වෙන මොකටවත් නෙමෙයි තොපිට ගහලා තොපි මරන්න

මේ අහපල්ලා
අපේ පොඩි එකී මැරුණා
නෑ පොඩි එකී මැරුවා
ගොඩක් මිනිස්සු මළගෙදර ආවා
ආපු උන්ගෙන් සමහරු
සොයිසගෙ සුමේධගෙ පුෂ්පෙගෙ 
පලු ඇරියා


සමහරු ආණ්ඩුවට බැන්නා
අලිවැට ගැහුවෙ නෑ කියලා
ඡන්ද ගත් උන් අපේ ප්‍රශ්න විසඳුවේ නෑ
රනිල් මෛත්‍රී  යහපාලනේ
යහපත් කමක් නෑ 
මිනිස්සු කතා කළා


සමහර උන් කීවේ
අලි මරන්න ඕන කියලා
යූරියා ලුණු වලට කවලම් කරලා
කන්න දෙමු 
සමහරු යෝජනා කළා
හක්ක පටස් ලොකුවට හදලා
අලිමංකඩේ තියමු
මිනිස්සු ප්‍රශ්නයට උත්තර යෝජනා කලා
.......................................................


සොයිසා පන්දාහක් එවලා තිබ්බා
මරණයට ගන්න කියලා
ආනන්දත් හාල් ගෝනියක් ගෙනත් දුන්නා
මේ අහපල්ලා
තොපේ සල්ලි, ඔය හාල් 
මට එපා
මගේ පොඩි එකී මට දියං
තොපිට පුලුවන්ද ඒක කරන්න
...............................................................


මට අලියෙක් වෙන්න දීපං
වෙන මොකටවත් නෙමෙයි
තොපිට ගහල තොපි මරන්න
අලින්ට කැලේ නැති කළේ උඹලා
අපිට ජීවිතේ නැති කළෙත් උඹලා


මේ ඔක්කොම වෙනකං
ඉගෙන ගත්ත කියන උඹලාත්
උගත්තු කියන උඹලාත්
මොනවද කළේ
උඹලගේ ගොඩක් අය
උඹලගේ ප්‍රශ්න දිහා බැලුවා
අපේ ප්‍රශ්න  දළුලනකම්
උඹල ඔක්කොම බලං හිටියා

මට කියපල්ලා
වැරදි කාරයෝ අලිද
වැරදි කාරයෝ තොපිද කියලා
.................................................


අපටනම් අසාධාරණය කියන්නේ 
කඳුලක් නෙවෙයි
කඳුලෙන් පුරවපු වැවක්
අපි දන්නවා
ඒ වැවෙන් ගොඩක් උන් නානවා,
ඒ වැවෙන් ගොඩක් උන් වගා කරනවා,
ඒ වැවේ සමහරු මාළු බානවා.
අප වටා තිබෙන අයුක්තිය කියන්නේ 
ගල් කැටයක් නෙවෙයි
ඒක මහ කළු ගල් යායක්
උඹල ගොඩක් දෙනෙක්
ඒ කළුගල කඩ කඩා
ගෙවල් හදනවා, මන්දිර හදනවා
ඒ වටා මහා ප්‍රාකාර ඉදි කරනවා
මේ කළු ගලෙන් හම්බ කරනවා


උඹල ලඟ තිබෙන අමනුස්සකම කියන්නේ 
පැලයක් නෙමෙයි
ඒක මහ විසල් ගහක්
රටේ ගොඩක් උන් ඒ ගහෙන් හෙවන ලබනවා
ඒ ගහේ ඵල වළඳනවා


හ්ම් දැන් කියපල්ලා
ඔය මහත්තුරු නෝනලා 
උඹලත් මේකේ කොටස්කාරයොද කියලා
මගේ එකී මැරුණාම 
බොරු කඳුළු
බොරු හැඟීම්
දෝරෙ ගලලා මොකටද
.............................


උඹලාට සල්ලි ලොකු උනා
උඹලාට තනතුරු ලොකු උනා
උඹලාට ලොකු වාහන, ලොකු ගෙවල් ඕන
උඹලාට උඹලාගේ ළමයි ලොකු උනා
ඔන්න ඔතනදි අපි පොඩි මිනිස්සු
හැබැයි උඹලා දැනගනිල්ලා
උඹලා හිතන, විඳින ඔය ලොකුකම
උඹලාට දැනෙන්නේ-පෙනෙන්නේ,
පොඩි මිනිස්සුන්ගේ කඳුළු දහඩිය
මුසුවෙලා කියලා
අලියා නෙමෙයි 
මගේ පොඩි කෙල්ලට ගැහුවේ
මේ-රටේ මහ එවුන්
මං කැලේ අලිත් එක්ක තරහ නෑ බං
...................................................


උඹලටයි, අපිටයි එකතුවෙලා
මේ වැව සතුටෙන් පුරවන්න පුලුවන්නම්
මේ මහ කලුගල කඩා බිඳ දාන්න පුලුවන්නම්
මෙතන සශ්‍රීක උයනක් බිහි කරන්න පුලුවන්නම්
සතා සීපාවට වලඳන්න
ඵල දරන ගහක් වැලක් හදන්න
වරෙල්ලා එකතුවෙයල්ලා
උඹේ දරුවත් කවදා හරි
අලි ගහලා මරණකං
මේක තේරුම් ගන්න ඉන්න ඕනද
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි
මගේ පොඩි උන්ට ජීවිතයක් දීපං


(“වැල්ලවාය බලහරුවේ කුඩා දියණියක් උදෑසන පාසල් යන අතරේ වල් අලි ප්‍රහාරයකින් මිය යයි“ පුවත හා ඈඳේ)

19 comments:

  1. සාධාරණ කතාවක්

    ReplyDelete
  2. අලියෙක් නෙමෙයි නයෙක් පොළගෙක් වෙලා ගහන්ඩ හිතෙන මහ එවුන් දෙතුන් සීයක්ම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මේ අමනුස්ස හැත්ත මේ ඔක්කොම විනාශ කරන්නේ, අලින්ට වගේමශ්‍රමය වගුරන මිනිස්සුන්ට ඉන්න හිටින්න, ජිවත් වෙන්න නැති කරන්න, ජනගහනයෙන් සුළුතරයක් උණු මහා එවුන් සියලු සුඛ විහරණ ලබන්නේ මේ අමන ලාභයම මුල් කරගත්ත ආර්ථික සමාජ ක්‍රමය නිසා... මේ අමන ක්‍රමය වෙනස්කරන තුරු ඈත එපිට අපේ මිනිස්සුන්ගේ දුවා දරුවට අලි ගහල මැරෙන්න වෙයි, ඒ වගේම නගර ආශ්‍රිත අපේ මිනිස්සුන්ගේ දුවා දරුවට ඩෙංගු මදුරුවා ගහල මැරෙන්න වෙයි... මේ ක්‍රමයෙන්ම මනස විකුර්ති කරගත්ත අපේ පන්තියේම මිනිස්සු අතින් අපේ දියණියන් දුෂණය වෙන්න පුළුවන්... අපේම පන්තියේ මිනිස්සු වෙච්ච රියදුරන්න්ගේ (බස් රථ හා ත්‍රි රෝද ) අමන තරගය නිසා අපේ දු පුත්තු මහ මග නැති වෙන්න පුළුවන්... එනිසා මේ ක්‍රමය නසන අලියන් සර්පයන් වෙමු අපි...පුද්ගලයන් නසන අලියන් සර්පයන් නොවී...

      Delete
  3. //උඹලගේ ගොඩක් අය
    උඹලගේ ප්‍රශ්න දිහා බැලුවා
    අපේ ප්‍රශ්න දළුලනකම්
    උඹල ඔක්කොම බලං හිටියා//

    දුයිෂෙන්.... මේක ලෝක ප්‍රශ්නයක් නේද? උගත්තු බලවත්තු තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන දැනුවත්ව හෝ නොදැනුවත්ව අසාධාරණයට ලක්වූ මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කිරීම. ඔබ මේ වෙනුවෙන් නගනා හඬ අගය කරමි. ඔබේ හඬට සවියක් දෙන්න උවමනාවක් ඇති පිරිසක් ඇතිවේවා !!

    ReplyDelete
  4. කාලකන්ණි දේසපාලුවෝ

    ReplyDelete
  5. සොයිසාගේ කොන්දේ අමාරුව සුවවීම සඳහා වල් අලියෙකු පිටේ යැවීම හොඳයි.

    ReplyDelete
  6. //අලින්ට කැලේ නැති කළේ උඹලා//

    ඒ සඳහානම් ලොක්කන්, සොක්කන්, ඇති හැකි, නැති බැරි ඔක්කොම නා නා විධිවලින් දායක වී ඇත.

    ReplyDelete
  7. කොන්දක් පණතියන රජයකට විතරක් කරන්න පුළුවන් වෙනස් තාලෙ විසඳුම.
    ඉලංගකෝන් මහත්තයාගෙ අදහස හරිම ආකර්ශනීයයි.
    http://lakshmanillangakoon.blogspot.com/2016/08/blog-post_12.html
    ජයවේවා..!!

    ReplyDelete


  8. ඕවට හැමදාම අඬ අඬා ඉඳලා හරි යන්නෙ නෑ.. මෙන්න මේ ලින්ක් එකේ ඉන්න මනුස්සයා සම්බන්ධ කරගෙන කතා කරලා බලන්න. හැබයි නොමිලේ නම් දෙන්නේ නෑ.. ඕකට විතරක් නෙමෙයි.. උණ බම්බු ගේට්ටුවලටත් සොලියුෂන් එකක් තියෙනවා.. මේ කාලකන්නි රටේ මේ වගේ මිනිස්සුන්ගේ වටිනාකමක් නෑ.. නැත්නම් ඉතින් ආන්ඩුවක් කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ගේ නිශ්පාදන පුළුවන්නම් ජාත්‍යන්තරයටත් යවන එක.
    https://www.facebook.com/sarath.wimalasuriya.1?fref=nf

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුන‍ෙ ඔතන

      Delete
    2. මටත් මතක් වුන‍ෙ ඔතන

      Delete
  9. අර්ථවත් කතාවක්.

    ReplyDelete
  10. ඔබේ බ්ලොගයේ ඇති මෙන්න මේ වැකිය ගැන මට හිතුනේ "ගුරු ගෙදරින් මහ පාරට" ඔබ වැටි ඇති බවයි..ඔබ මහ පාරට බැස යා යුතු මඟ නොදැන අතරමන් වීද..

    මම හිතන්නේ අපි දිනෙන් දින යන්න ඕන ඉදිරියට මිසක් පසුපසට නෙමේ කුමන බාධක ආවත්.. මේ වැකියම මීට වඩා නිර්මාණශිලීව කියවන්න සහ ඔබව ඔසවා තබන වැකියක් ලෙස ලිවිමට හැකි නම් වඩාත් අගෙයි.. හරියට "ගුරු ගෙදරින් දෙව්ලොවට" ,"ගුරු ගෙදරින් සුර ලොවට" "ගුරු ගෙදරින් ජීවිතයට"

    දුක, ආවේගය,බොරුව යනු ඉතා හොඳ වෙළද භාණ්ඩ.. හැබැයි පමණ දැන විකිණිය යුතු...සතුට, සැනසුම, සැහැල්ලුව මුදලට ගත නොහැකි මහා අනර්ඝ වස්තූන්...

    ReplyDelete
    Replies
    1. "ගුරු ගෙදරින් අරගල බිමට" හෝ "ගුරු ගෙදරින් අරගලයට" වඩාත් උචිතයි....

      Delete
  11. මේ අමනුස්ස හැත්ත මේ ඔක්කොම විනාශ කරන්නේ, අලින්ට වගේමශ්‍රමය වගුරන මිනිස්සුන්ට ඉන්න හිටින්න, ජිවත් වෙන්න නැති කරන්න, ජනගහනයෙන් සුළුතරයක් උණු මහා එවුන් සියලු සුඛ විහරණ ලබන්නේ මේ අමන ලාභයම මුල් කරගත්ත ආර්ථික සමාජ ක්‍රමය නිසා... මේ අමන ක්‍රමය වෙනස්කරන තුරු ඈත එපිට අපේ මිනිස්සුන්ගේ දුවා දරුවට අලි ගහල මැරෙන්න වෙයි, ඒ වගේම නගර ආශ්‍රිත අපේ මිනිස්සුන්ගේ දුවා දරුවට ඩෙංගු මදුරුවා ගහල මැරෙන්න වෙයි... මේ ක්‍රමයෙන්ම මනස විකුර්ති කරගත්ත අපේ පන්තියේම මිනිස්සු අතින් අපේ දියණියන් දුෂණය වෙන්න පුළුවන්... අපේම පන්තියේ මිනිස්සු වෙච්ච රියදුරන්න්ගේ (බස් රථ හා ත්‍රි රෝද ) අමන තරගය නිසා අපේ දු පුත්තු මහ මග නැති වෙන්න පුළුවන්... එනිසා මේ ක්‍රමය නසන අලියන් සර්පයන් වෙමු අපි...පුද්ගලයන් නසන අලියන් සර්පයන් නොවී...

    ReplyDelete
  12. කියල වැඩක් නෑ අයිය.........මෙික මරු

    ReplyDelete