අඩවියේ හිතවතුන්

Thursday, May 26, 2016

දුයිෂෙන්ගෙන් පන්නරය ලැබූ ගුරු ජීවිතය

මම ගුරුවරයෙක් හැටියට අවුරුදු දහයක් සේවය කර තිබෙනවා. මගේ දේශපාලනය හින්දා ඒ කාලේ හිටිය ඉහල දේශපාලන නායකයන් හා නිළධාරින් මට ලබා දුන්නේ දුෂ්කරම පාසලක්. 
ඔවුන්ට දුෂ්කර පාසැලක් වුනාට මම එය දුෂ්කර  පාසලක් ලෙස  එම පාසැල සැලකුවේ නෑ. 
මම මාරුවීම් ඉල්ලපු අවස්ථාත් තිබුණා. එත් මටනම් මාරුවීම් ලැබුනේ නෑ. එහෙම කියලා  මම මාරුවීම් පසු පස හඹා ගියෙත් නැහැ. 
ඒ නිසා මම වසර දහයක් ඉගැන්වීම් කළේ මහියංගනය ආසනයේ කන්දක් මුදුනේ තියෙන රිටිගහඅරාව නම් පාසලේ. 
එතන වසර දහයක් ගුරුවරයෙක් ලෙස සේවය කරල තමයි මම දේශපාලනයට ආවේ.



රිටිගහඅරාව පාසලට යන්නට මට උදේට කිලෝ මීටර පහක්  පයින් යෑමටත් හවසට කිලෝ මීටර පහක්  පයින් ඒමටත් සිදුවුණා. 
මිනිස් වාසය අඩුවුනත්  ගස් කොලන් වලින් වටවුනු පාසල දක්වා මා පයින්ම  ගිය ඒ ගමන  හරි මිහිරියි.
එම පාරේ යද්දී නෙත ගැටෙන  ගස්කොලන් නිසාත්, සතා සීපාවාගේ විවිධ හඩවල් නිසාත් මගේ හිතට  දැනුනේ ලොකු  සතුටක්. 
ඒ ආකාරයට  මම වසර පහක් පමණ පයින්ම  පාසැල් සේවයට ගියා .පසුව මම  පා පැදියක් මිලට ගත්තා පාසලට යන්න එන්න. 
ඒත් කඳු නිසා  කිලෝ මීටර දෙකක් විතර තමයි  බයිසිකලය පැදලා යන්න පුළුවන් උනේ. ඉතිරි  කිලෝමීටර තුනක් විතර ගියේ බයිසිකලේ තල්ලු කරගෙන. 
ආපසු එනකොටත් දැඩි පල්ලම බයිසිකලයෙන් බහින්න අපහසුයි යන්න එන්න හරි හමන් පාරක් තිබ්බෙත් නෑ. 
ඒ නිසා කිලෝ මීටර තුනක් විතර තල්ලු කරන්නත් කිලෝ මීටර දෙකක් විතර බයිසිකලේ  නැගලා යන්නත් පුලුවන් වුනා.



පාසල් ගුරු ජීවිතය ගැන කියනවනම්, එම පාසලේ විදුහල්පතිතුමා ඒ  ප්‍රදේශයේම අයෙක්. එයා කරුණාරත්න  කියල මහත්මයෙක්. දැනටත් ඒ මහතා මහනුවර ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. මම රිටිගහඅරාව පාසලට යනකොට සිසුන් අසුවකට ආසන්න ප්‍රමාණයක් තමයි එහි ඉගෙනගත්තේ. ආචාර්ය මණ්ඩලයේ  මාත් ඇතුළුව පස් දෙනෙකු සේවය කළා. පළමු ශ්‍රේණියේ සිට අට  වන ශ්‍රේණිය දක්වා පන්ති තිබුණා. මේ පාසලේ අධ්‍යාපන කටයුතු බොහොම දුර්වල මට්ටමක තමයි තිබුණෙ.



රිටිගහඅරාව ගමේ මිනිසුන් බොහොම දිළිඳු මිනිස්සු. ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ හේන් ගොවිතැන. වසරකට එක පාරයි හේනක් කොටන්නෙ. ඒ ප්‍රදේශයේ ප්‍රධානම ආහාරය බත් නෙවෙයි ඉරිඟු තලප. 

හේන් කොටන කාලයට, එනම් ඊසාන දිග මෝසමෙන් වැස්ස ආරම්භ වීමට පෙරාතුව ගම්මු වැඩ ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් ජුලි අගෝස්තු වගේ කාලවකවානුව තුළ කැලෑවේ මහ ගස්, පොඩි ගස් සියල්ල කපා බිමට සමතලා කරනවා. හොඳටම පායන කාලයේ දි එනම් අගෝස්තු වගේ මාසයක දි හොඳට පායන වේලාවක් බලා මේ මහ කඳුවලට ගිනි තියනවා. කඳු පුරා  ගිනි ඇවිලිලා අවසන් වුනාට පසු අලු තට්ටුවක් කඳු බිම් පුරා තැන්පත් වෙනවා. ඊළඟට පළමු වැස්සේදීම ඉරිඟු හිටවනවා. මෑ ඇටත් හිටවනවා. ඒ ආකාරයට හේන් වගාව ආරම්භ කරනවා.




හේන් ගොවිතැන් කාලයේ දි පාසලට ළමුන් එන්නෙ බොහොම අඩුවෙන්. ඉහළ ශ්‍රේණිවල ළමුන් නම් එන්නෙම නැතිතරම්. මේ නිසා එකොළහ දොළහ වසරවල සිටිය යුතු වයසේ සිසුනුත් අට ශ්‍රේණියේ හිටියා. හේන් කොටන කාලෙට මේ ළමුන් පාසලට එන්නෙ නැහැ. රිලවුන් අඹන්න, ගිරවුන් එළවන්න, පැල් රකින්න ආදී හේන් වැඩ සඳහා යනවා. ගැහැණු ළමුන්ටත් හේන් කටයුතු භාර වුණා. මේ නිසා පාසලේ ඉගෙනීමේ කටයුතු ඉතාම දුර්වල මට්ටමක තමයි පැවතුනේ. 





 මම පාසල් අධ්‍යාපනය  ලබන කාලයේ, ඒ කියන්නෙ මම ඉගෙන ගත්ත කාලයේ දහය වසරේ ඉඳලා වගේ ගොඩාක් පොත්පත් කියවන්න හුරුපුරුදු වී සිටියා. 
මගේ ජීවිතයේ අදටත් මම අත් පොතක් ලෙස ළඟ තබා ගෙන  සිටින  මා අසාවෙන් කියවූ  පොතක් ලෙස චින්ගීත් අයිත්මාතව්ගේ ගුරු  ගීතය නම් පොත දක්වන්න පුළුවන්. එය සෝවියට් පොතක්. 
චින්ගීත් අයිත්මාතව්ගේ ගුරුගීතයේ දක්ෂ ගුරුවරයෙකු සිටියා.  ඔහු  බොහොම දක්ෂ, අවංක, කැපවෙච්ච යහපත් හැඟිම් තිබුණු ධෛර්ය සම්පන්න ගුරුවරයෙක්. ඔහු නමින්   දුයිෂේන්. 
මගේ හිතේ කාවැදී තිබුණා ඔහුගේ ගුරු භුමිකාව පිළිබඳව. ඒ දුයිෂෙන්ව උපාලි ගම්ලත් නම් අපේ කාලයේ සිනමාවේදියා මෑත කාලයේ දී ප්‍රති නිර්මාණය කලා.




මම රිටිගහඅරාව පාසලට ගිය මොහොතේ  පටන්ම මට තේරුනා පාසල් යන වයසේ සිටින  ළමුන්  විශාල පිරිසක් පාසල් නොඑන බව. 

විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කලත් මේ දරුවන් පාසලට ගෙන්වා ගන්න ආකාරය පිළිබඳව ඔවුන් ඒ පිළිබඳ එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ. 
ළමුන් පාසලට ගෙන්වා ගන්න බැහැ, ඔවුන් එන්නෙ නැහැ, ඒ ළමුන්ට අධ්‍යාපනය පිළිබඳ උවමනාවක් නැහැ යන හැඟීම් විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් තුළ තිබුණා. 
පාසල් වයසේ පසුවන ළමුන් පාසල් නොයෙන අතර පාසල් එන ළමුන් දිගටම පාසලට එන්නෙත් නැහැ. ළමුන් අසුවක් පමණ සිටින පාසලේ  හේන් කොටන කාලයේ දි ළමුන් දහයක්, පහළවක් කොහොමත් විස්සට අඩු ගණනක් තමයි බොහෝ වේලාවට ඉන්නෙ.



දිනක් මම කිව්වා විදුහල්පතිතුමාට ළමුන්ට දෙමාපියන්ට අධ්‍යාපනය පිළිබඳ වුවමනාවක් නොතිබුණත් ළමුන් පාසලට ගෙන්වා ගන්න ගුරුවරු වශයෙන් අපට උවමනාවක් තිබිය යුතුයි. 
එම නිසා ළමුන් පාසලට ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් දියත්කරමු කියා මා ඔවුන්ට යෝජනා කළා. මගේ පෙරැත්ත කිරීම මත විදුහල්පතිතුමා එයට එකඟ වුණා. 
ඒ අනුව පාසල් සංවර්ධන සමිතිය කැඳවුනා. ඒත් පාසල් සංවර්ධන සමිතියට දෙමාපියන් හත් අට දෙනෙකුට වඩා පැමිණියේ නැහැ. මේ පිළිබඳ දෙමාපියන්ට උවමනාවකුත් නැහැ. 
"ඕක තමයි අපි කිව්වෙ  සමන්ත මහත්තයට කිව්වට තේරුනේ නැහැ "
කියලා විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයේ බොහෝ දෙනෙක් මට ආඩපාලි කියන්නට පටංගත්තා. 
දෙමාපියන්ට හා දරුවන්ට මේ දේ අවශ්‍ය නැත්නම් අපට මොකද අපි මේ රැකියාව කරගෙන ඉඳිමු කියන අදහස ඔවුන් තුල තිබුණා. මෙය එතැන බහුතරයකගෙ අදහස වුනා. එයට මම එකඟ වුණේ නැහැ.



ආ.. මට තව කරුණක් මුලින් කියන්න අමතක වුනා. මේ පාසලේ ගුරුවරු ප්‍රමාණවත් නොවන නිසා මේ සිදුවීමට පෙර විදුහල්පතිතුමාට  මා පැවසුවා.

“මාත් සමඟ ගමේ දි ඉගෙන ගත් හොඳ යාළුවො ටිකක් ඉන්නවා. ගමේ උන්ට රැකියාවක් ඇත්තෙත් නැහැ. ඔවුන් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කටයුතු කිරිමට පාසලට එක්ක එන්න පුළුවන්. “


අපි මේ අය ඉස්කෝලෙට ගෙන්වමුද කියා මම විදුහල්පතිතුමා ගෙන්ඇහුවා. හැකි නම් ඔවුන් කැඳවාගෙන එන්න කියා විදුහල්පතිතුමා මට පැවසුවා.



ඒ අනුව ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කිරිමට තව සිව් දෙනෙකු මම පාසැලට කැඳවාගෙන ආවා. ඊට පස්සේ ආචාර්ය මණ්ඩලයේ සම්පුර්ණ ගණන නව දෙනෙක් වුණා. 
ඒ ආපු එක් අයෙක් මාත් සමඟ එකට පාසල් ගිය කලුඅප්පුරාවේ විජේ. ඔහු දැන් ගුරුවරයෙක්. තවත් යාළුවෙක් තමයි උපුල් රත්නායක. 
ඔහු වැලිමඩ මහ විද්‍යාලයෙ අධ්‍යාපනය  හදාරා  වෛද්‍යවරයෙකු ලෙස  වර්තමානයේ මහනුවර රෝහලේ දැනට සේවය කරනවා. මම ඔහුවත් ස්වේඡ්ඡාවෙන් උගන්වන්න කැඳවාගෙන ආවා. 
විජේරත්න කියලා යාළුවෙකුත් කැඳවාගෙන ආවා. අද වනවිට ඔහු බැංකු කළමණාකරුවෙකු ලෙස සේවය කරනවා. ස්වේච්ඡාවෙන් ඉගැන්වීමට ආ පිරිසත් බොහෝ  කැපවීමෙන් එම පාසලේ වැඩ කලා.



පාසල් සංවර්ධන සමිතිය රැස් කර ළමුන් පාසලට ගෙන්වා ගැනීමට ගත් අපේ උත්සාහය අසාර්ථක ප්‍රයත්නයක් වුණා. ඊට පස්සේ මම විදුහල්පතිතුමාට යෝජනා කළා අපි ගමේ ඇවිදලා පාසල් නොඑන ළමුන් පාසලට කැඳවාගෙන එමු කියලා. ඔහු එම යෝජනාව බැහැර කළා පමණක් නොවෙයි තවදුරටත් මට පහදා දුන්නා අර කූඩැල්ලව මේට්ටය උඩ තබන්න බැහැ වගෙ මේ ළමුන් පාසලට ආවත් රැඳෙන්නෙ නැහැ, හේන් ගොවිතැන් කාලයට මෙය කෙසේ වත් කරන්න බැහැ කියන වග.  

ඒත් මම දිගින් දිගටම ඇවිටිලි කරමින් ළමුන් කැඳවාගෙන එන්න මට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා හිටියා.  ඒ අවසරය මට අවසානයේ විදුහල්පතිතුමාගෙන් ලැබුණා.  ඒ අනුව දවසක්  මමයි කලුඅප්පුරාවේ  විජේයි ගමේ ඇවිදලා පාසල් නොයන ළමුන් පාසලට කැඳවන් එන්න තිරණය කළා. ඊට පසු දින විදුහල්පතිතුමන් මේ පිලිබඳව දැනුවත් කරලා මේ ගමන පිළිබඳ ඔහු විසින් ලොග් සටහනක් තබලා අපි දරුවො හොයන්න පිටත්වුනා. මේ ලොග් සටහන දැනටත් රිටිගහඅරාව පාසලේ ලොග් පොතේ ඇති කියා මා විශ්වාස කරනවා.



අප දෙදෙනා ගමේ ඇවිදින්නට ගියා ළමුන් එකතු කරන් එන්න. මේ පන්නරය මා ලැබුවේ මා පෙර සඳහන් කළ දුයිෂේන් නම් චරිතයෙන්. මෙදා මට වගේම එදා ඔහුටත් ලොකු වගකීමක් පැවරී තිබුණා. 1917 සෝවියට් දේශයේ විප්ලවය අවසන් වු පසු  ඈත දුෂ්කර ගමක පාසලක් ආරම්භ කීරීමේ වගකීම ඔහුට පැවරී තිබුණා. ඒ සඳහා ඔහු එම ගමට ගිය අවස්ථාවේ  පාසලක් ආරම්භ කිරිමට ස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. ඒ දෙමාපින්ට අධ්‍යාපනයේ වටිනාකමක් තේරුනෙත් නැහැ. ඔහුට සිදුවුණා කන්දක් මුදුනේ තිබුණු අත්හැර දාපු අශ්ව ගාලක් තනියම සුද්ද පවිත්‍ර කරගෙන එය පාසලක් බවට පරිවර්තනය කරගන්න. මේ සියල්ල ඔහුට කරන්න වුනේ තනිවම. හිම වැටෙන බිමක දියකඳුරු අතරින් දරුවන් කරේ තබා ගෙන ගොස් ඉගැන්වීම් කටයුතු කළ ආකාරයක් එහි කියවෙනවා. මෙයත් මගේ ජීවිතයෙ අත්දැකීමක් බවට පත්වුණා. ගමේ ඇවිදලා දරුවන් පාසලට කැටුව එන අදහස ලැබෙන්නත් මෙය පිටිවහළක් වුණා.



මාත් සමඟ මේ ගමන ගිය විජේ මගේ පාසල් සගයෙක් බව මම මුලින් කීවා. ඔහු කඟවේනා වගේ වේගයෙන් දුවන්න පුළුවන් දක්ෂයෙක්. මා අධ්‍යාපනය ලද පාසලේ ක්‍රීඩා තරඟ බොහොමයක් ඔහු පහසුවෙන් ජය ගත්තා. ඔහු කලාප හා දිස්ත්‍රික් තරඟ වලට පවා ඉදිරිපත් වුවෙක්. රිටිගහඅරාව ගමේ ගෙවල් තියෙන්නෙ ළඟින් ළඟින් නෙවෙයි. ඇතැමුන් අක්කර දහය පහලව රජයේ ඉඩම් අල්ලන් හිටියා. හේන් කොටන් ඉන්න නිසා ගෙවල් තියෙන්න ඈතින් ඈත. බලදන්ගොල්ල, උඩයාය ,ඌරාකොටේ, පියරපාන කියන මේ ගම්වල අපි ඇවිදින්න පටන් ගත්තා. අපි ඉස්සෙල්ලම ගියේ ඌරාකොටේ  සහ උඩයාය  කියන ගම්වලට. ඒ පැත්ත හරි පාළු ප්‍රදේශයක්. මිනිසුන් මුණගැසුනෙත් නැහැ. ඒ ඔවුන් හේන් ගොවිතැන් කටයුතුවල නියැළි සිටි නිසා.



අපි  ඒ  පැත්තට  යනකොට , අපේ පාසලේ හතරවන ශ්‍රේණියේ අධ්‍යපනය හැදෑරු සෝමරත්න නම් දරුවා කවි කියන හඬ අපට ඈත තියාම ඇසුනා. 

එවිට විජේ කිව්වා


“ඔන්න සෝමයා ඉන්නවා ඉස්සෙල්ල මේ සෝමයා අල්ල ගමු”

කියලා.


 අනතුරුව අපි දෙදෙනා හී හිඟුරු අකුල් අතරින් රිංගලා සෝමේගෙ හඬ ඇසෙන කන්ද පැත්තට යන්න පටන්ගත්තා. 
ටික දුරක් යන කොට අපට තේරුණා මේ කොල්ලා කවි කියන්නෙ ගහක් උඩට වී බව. 
වටපිට බලනකොට අපිට පෙණුනෙ මේ දරුවා ඔවුන්ගේ හරක් රංචුව කැලේට දාලා වල් කන්න දීලා, හරක් තණ උලා කන අතරෙ කොල්ලා ගහ උඩට වී කවි කියනවා. 
 ළමයා  ඈත තියාම අපි එන බව දැක්කා. දැකපු කොල්ලා බය වෙලා ගහ උඩ ඉඳන් බිමට පැන්නා. අපිත් සෑහෙන්න බය වුණා. අපි හිතුවෙ ගහෙන් පැනපු කොල්ලට අනතුරක් වුණා කියලා. විජේ වේගයෙන් ගහ ළඟට දිව්වා. සෝමරත්නට අනතුරක් වෙලා තිබුණෙ නැහැ. 
කොල්ලා  ගහෙන් පැනපු ගමන් කන්ද දිගේ දුවන්න ගත්තා. ළමයා පස්සෙන් විජේත් දුවන්න ගත්තා. ඔවුන් පසු පස මමත් දිව්වා. අපි කිලෝමීටර එකහමාරක්  දෙකක් දුවලා කොහොම හරි අපි ළමයාව අල්ල ගත්තා.



මේ ළමයා බය වෙලා හිටියේ. කොල්ලා හිතන්න ඇති පාසල් නොගිය නිසා අපි ඔහුට දඬුවම් කරයි කියලා. නමුත් අපි ඔහුට දඬුවම් කළේ නැහැ. පාසල් නොඑන හේතු  විමසා බැලුවා. 
ඔහු අපිට කිව්වා හරක් බලා ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා පාසල් එන්න ක්‍රමයක් නැහැ කියලා. ගෙදර අගහිඟකම් ගැන ඔහු කියන්න පටන් ගත්තා. ඉස්කෝලෙ ගේන්න පොත්පත් ඇත්තෙත් නැහැ ආදි කාරණා රාශියක් ඔහු අප හමුවේ ගෙන හැර පෑවා. 
අවසානයේ දි අපි කිව්වා ඒ සේරම ගැටළු විසඳගමු  කියලා. පාසල් නාව අනික් ළමුන් සොයා ගන්න අවශ්‍ය බවත් අපි ඔහුට දැනුම් දුන්නා. 
අපි දඬුවම් නොකරන බව දැනගත් සෝමරත්න සතුටෙන් ඉපිල ගොස් අනික් ළමුන් සොයා ගැනීමට අපට සහය දක්වන්න එකතු වුණා.



එතැන් සිට පාසල් ආපු නැති ළමුන් අල්ලා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා වුයේ සෝමරත්න. 
ඔහු අපව හේන් වලට, පැල් වලට හා නිවාස වලට කැටුව ගියා. එදා දවසෙම අපි මේ ආකාරයට කතා කරලා ළමුන් දාහතර දෙනෙකු එකතු කර ගත්තා. ඇතැම් දෙමාපියන් අපට බැන වැදුනා. 

ඔවුන් අපෙන් ඇහුවා


“මහත්තයලට වෙන වැඩක් නැද්ද?”


“මුන් අරන් ගියාම අපි හේන් කොටන්නෙ කොහොම ද?”


“ගිරව් අඹන්නේ කොහොමද?”


“මහත්තයලා අපිට කන්න දෙනවද?”


“මහත්තයලට ආණ්ඩුවෙං පඩි ලැබෙනවා මුන්ට ඉගැන්වුව කියලා මුන්ට ලැබෙන රස්සාව මොකක්ද?”



“මුන්ට අතේ පයේ වැඩ පුරුදු කරන්න ඕන. අපි හේන් කොටල ඉවර වුනාම ඉරිඟු කඩලා මැස්සට දැම්මට පස්සෙ දරුවන් ඉස්කෝලේ එවන්නම් මහත්තයල අපිට කරදර නොදී වද නොදී යන්න”



 ආදි නොයෙක් කතා, දොස් තැබීම්, ආඩපාලි ගම්වැසියන්ගෙන් අපට අහන්න වුනා.



“මහත්තයල කිව්වට මුන්ව ඉස්කෝලේ එවන්න කියල කවුද මුන්ට පොත් අරන් දෙන්නේ? ඇඳුම් අරන් දෙන්නෙ? අපේ පොඩි දරුවන් බලාගන්නෙ කව්ද? හරක් බලා ගන්නෙ කව්ද?”



ආදි ප්‍රශ්න දෙමාපියන් අපෙන් ඇසුවා. නමුත් අපි දෙමාපියන්ට කරණු පහදා දී සොයා ගත් ළමුන් දාහතර දෙනා පාසලට රැගෙන ආවා. උදේ පාසලින් පිටත් වුණ අප නැවත පාසලට එන විට දොළහමාරත් පසුවි තිබුණා. අපි ළමුන් පිරිසක් අල්ලාගෙන රැගෙන එන බව ආරංචි වී වැට අද්දරට රැස්වී සිටි විදුහල්පතිතුමා, ගුරුවරු ඇතුළු පාසලේ අනික් දරුවන් බලන් ඉන්නවා අරුම පුදුම දෙයක් සිදුවෙන අයුරු දකිමින්.



දරුවන් පාසලට පැමිණෙන විට ඔවුන්ට විදුහල්පතිතුමා දඬුවම් කරයි කියන බයක් ඔවුන්ට ඇතිවී තිබුණා. මේ දරුවන් අප විසින් ප්‍රධාන ශාලාවට රැගෙන ගියා. විදුහල්පතිතුමා වේවැලක් අරන් අවේ දරුවන්ට දඬුවම් කරන්න නම් නොවේ. ඇත්තටම ඔහු හොඳ මනුස්සයෙක්. දරුවන් පාසලට නොඑන හේතු විදුහල්පතිතුමා දරුවන්ගෙන් විමසුවා. සමහරක් දරුවන් ඇඬුවා, ඔවුන්ට පොත්පත්, ඇඳුම් නැති බව සමහරු කීවා. ගෙවල්වල කන්න බොන්න අමාරුකම් තියෙන බවත් කීවා. ආහාර නැති බව කීවා. කුඩා සහෝදර සහෝදරියන් බලාගන්න තියෙන බවත් කීවා. ඔවුන්ට ඇති බොහෝ ගැටළු ඔවුන් වමාරන්නට වූවා. විදුහල්පතිතුමා ටිකක් සැරෙන්


“හෙට ඉඳන් අනිවාර්යයෙන්ම ඉස්කෝලෙ එන්න ඕනැ. අම්මලාට තාත්තලාට කියන්න ඕන උඹල එව්වෙ නැතිවුනොත් අපි අනික් දවසෙ පොලිසියත් එක්ක ගෙවල් වලට එනව කියලා.“


විදුහල්පතිතුමා විසින් පාසලට නාවොත් ලොකු ගැටළු ඇතිවන බව දරුවන්ට කිවා.



අප පාසලේ විවේකයට තේ පානය කරන්නේ අපිම වතුර උනුකරන් තේ හදාගෙන. මාත් විජේත් එකතුව දරුවන්ට ද තේ වක්කරල දුන්නා. අපිට පුළුවන් විදිහට ඔවුන් සතුටු  කර නිවෙස් වලට යැව්වා. ගෙදර තිබෙන ඇඳුමක් ඇඳගෙන හෙට පාසලට එන ලෙසත් පොත්පත් අපි හොයලා දෙන බවත් අපි ඔවුන්ට දැනුම් දුන්නා. ළමයි සතුටෙන් එදා අපි ගෙවල්වලට පිටත් කර හැරියා. ඊට පස්සෙ විදුහල්තිතුමා ඇතුළු  අපි එකතුව මේ දරුවන්ගේ ප්‍රශ්නවලට මොනවා කරමු ද යන්න කතා කළා. විදුහල්පතිතුමාත්


“මේවා අපිට විසඳන්න පුළුවන් ද ඒ ළමුන්ට විතර ද ප්‍රශ්න තියෙන්නෙ තව කොතරම් ප්‍රශ්න තියෙන මිනිසුන් මෙහෙ ඉන්නවද”


ආදී කාරණා ප්‍රකාශ කළා. නමුත් විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයේ බහුතරයක් අපි එකඟ කරගත්තා මේ දරුවො පාසලට කොහොම හරි එකතු කරගන්න ඕන කියලා. ඒ දරුවන්ට ඕන කියන පොත්පත්, ඇඳුම් පැලඳුම්, අපේ පඩි වලින් කීය කීය හරි දාලා ගේමු කියලත් යෝජනා කලා. සමහර ගුරුවරුන්ගෙ මූණු කළුවුනා.



“අපේ සොච්චම් පඩියෙන් අපේ ගෙවල්වල ප්‍රශ්ණවත් විසඳගන්න බැරුව රටේ ප්‍රශ්ණ විසඳන්න හදනවා සමන්ත මහත්තයලා“



කියලා  සමහරු කිව්වා. ස්ථිර ගුරුවරු හැටියට පාසලේ හිටපු චන්ද්‍රිකා අක්කා, ඥානා අක්කා සහ විදුහල්පතිතුමා ඉදිරි පඩියෙන් මොනවහරි කරමු කියලත් කිව්වා. කොහොම හරි ඊට පහුවෙනිදා අපේ ගමෙන් එකතු කරගත්ත පරණ ඇඳුනුත්, කඩෙන් ණයට ගත්ත පොත් තොගයකුත් අපි පාසලට අරගෙන ආවා. පසුදා දරුවන්ට පොත් හා පරණ ඇඳුම් ප්‍රමාණයකුත් ලබා දි මේ දරුවන් පාසලට ගෙන්වා ගැනිමට අපි කටයුතු කළා. නමුත් කඩින් කඩ ළමයි පැමිණීම වගේම නතර වීමත් සිදුවුනා. ඒත් අපද පෙර ආකාරයට කිපවරක්ම ලොග් සටහන් තබමින් හා දෙමාපියන් ද දැනුවත් කරමින් පාසල් නොයන දරුවන් පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කළා. 
මේ ආකාරයේ ගුරු ජිවිතයක් තමයි අපට උරුමව තිබුණේ.  එයට මුලික අඩිතාලම වුයේ චින්ගිත් අයිත්මාතව්ගේ ගුරු ගීතය නම් පොතේ දුයිෂේන් නම් ගුරුවරයා බව සිහිපත් කළ යුතුයි.





අදවන විට රිටිගහ අරාව පාසල ඉතා දුර්වල පාසලක්. පාසල මියදෙන්න ආසන්න මට්ටමක තියෙන්නෙ. දරුවන් නැතුව පාසල වැහෙන්න ඔන්න මෙන්න ගානට වැටිලා. ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙච්ච ලෙනින් කිව්වා “ලොව හොඳම දේ දරුවන්ට හිමිවිය යුතුය“ කියලා. 

ඒත් අපේ රටේ දරුවන්ට තවම උරුම වෙමින් තිබෙන්නේ ඉතා නරක දේවල්. අපේ රටේ දූ දරුවන්ට හොඳම දේ උරුම කරලා දෙන්නෙ කවදද? නිතර මගේ හිත ප්‍රශ්ණ කරනවා. ඒ එක්කම හිත කියනවා. අනිවාර්යයෙන්ම දරු පැටවුන්ට හොඳම දේ උරුම කරලා දෙනවමයි කියලා. 
ඒ වෙනුවෙන්ම වෙච්ච ගලේ කෙටූ අකුරු මෙන් හිතේ කොටාගත්ත අරමුණක් තියෙනවා. ඒ වෙනුවෙන්ම වූ දහිරියකින් වැඩ කරගෙන යනවා.