අඩවියේ හිතවතුන්

Monday, August 15, 2016

මට අලියෙක් වෙන්න දීපං වෙන මොකටවත් නෙමෙයි තොපිට ගහලා තොපි මරන්න

මේ අහපල්ලා
අපේ පොඩි එකී මැරුණා
නෑ පොඩි එකී මැරුවා
ගොඩක් මිනිස්සු මළගෙදර ආවා
ආපු උන්ගෙන් සමහරු
සොයිසගෙ සුමේධගෙ පුෂ්පෙගෙ 
පලු ඇරියා


සමහරු ආණ්ඩුවට බැන්නා
අලිවැට ගැහුවෙ නෑ කියලා
ඡන්ද ගත් උන් අපේ ප්‍රශ්න විසඳුවේ නෑ
රනිල් මෛත්‍රී  යහපාලනේ
යහපත් කමක් නෑ 
මිනිස්සු කතා කළා


සමහර උන් කීවේ
අලි මරන්න ඕන කියලා
යූරියා ලුණු වලට කවලම් කරලා
කන්න දෙමු 
සමහරු යෝජනා කළා
හක්ක පටස් ලොකුවට හදලා
අලිමංකඩේ තියමු
මිනිස්සු ප්‍රශ්නයට උත්තර යෝජනා කලා
.......................................................


සොයිසා පන්දාහක් එවලා තිබ්බා
මරණයට ගන්න කියලා
ආනන්දත් හාල් ගෝනියක් ගෙනත් දුන්නා
මේ අහපල්ලා
තොපේ සල්ලි, ඔය හාල් 
මට එපා
මගේ පොඩි එකී මට දියං
තොපිට පුලුවන්ද ඒක කරන්න
...............................................................


මට අලියෙක් වෙන්න දීපං
වෙන මොකටවත් නෙමෙයි
තොපිට ගහල තොපි මරන්න
අලින්ට කැලේ නැති කළේ උඹලා
අපිට ජීවිතේ නැති කළෙත් උඹලා


මේ ඔක්කොම වෙනකං
ඉගෙන ගත්ත කියන උඹලාත්
උගත්තු කියන උඹලාත්
මොනවද කළේ
උඹලගේ ගොඩක් අය
උඹලගේ ප්‍රශ්න දිහා බැලුවා
අපේ ප්‍රශ්න  දළුලනකම්
උඹල ඔක්කොම බලං හිටියා

මට කියපල්ලා
වැරදි කාරයෝ අලිද
වැරදි කාරයෝ තොපිද කියලා
.................................................


අපටනම් අසාධාරණය කියන්නේ 
කඳුලක් නෙවෙයි
කඳුලෙන් පුරවපු වැවක්
අපි දන්නවා
ඒ වැවෙන් ගොඩක් උන් නානවා,
ඒ වැවෙන් ගොඩක් උන් වගා කරනවා,
ඒ වැවේ සමහරු මාළු බානවා.
අප වටා තිබෙන අයුක්තිය කියන්නේ 
ගල් කැටයක් නෙවෙයි
ඒක මහ කළු ගල් යායක්
උඹල ගොඩක් දෙනෙක්
ඒ කළුගල කඩ කඩා
ගෙවල් හදනවා, මන්දිර හදනවා
ඒ වටා මහා ප්‍රාකාර ඉදි කරනවා
මේ කළු ගලෙන් හම්බ කරනවා


උඹල ලඟ තිබෙන අමනුස්සකම කියන්නේ 
පැලයක් නෙමෙයි
ඒක මහ විසල් ගහක්
රටේ ගොඩක් උන් ඒ ගහෙන් හෙවන ලබනවා
ඒ ගහේ ඵල වළඳනවා


හ්ම් දැන් කියපල්ලා
ඔය මහත්තුරු නෝනලා 
උඹලත් මේකේ කොටස්කාරයොද කියලා
මගේ එකී මැරුණාම 
බොරු කඳුළු
බොරු හැඟීම්
දෝරෙ ගලලා මොකටද
.............................


උඹලාට සල්ලි ලොකු උනා
උඹලාට තනතුරු ලොකු උනා
උඹලාට ලොකු වාහන, ලොකු ගෙවල් ඕන
උඹලාට උඹලාගේ ළමයි ලොකු උනා
ඔන්න ඔතනදි අපි පොඩි මිනිස්සු
හැබැයි උඹලා දැනගනිල්ලා
උඹලා හිතන, විඳින ඔය ලොකුකම
උඹලාට දැනෙන්නේ-පෙනෙන්නේ,
පොඩි මිනිස්සුන්ගේ කඳුළු දහඩිය
මුසුවෙලා කියලා
අලියා නෙමෙයි 
මගේ පොඩි කෙල්ලට ගැහුවේ
මේ-රටේ මහ එවුන්
මං කැලේ අලිත් එක්ක තරහ නෑ බං
...................................................


උඹලටයි, අපිටයි එකතුවෙලා
මේ වැව සතුටෙන් පුරවන්න පුලුවන්නම්
මේ මහ කලුගල කඩා බිඳ දාන්න පුලුවන්නම්
මෙතන සශ්‍රීක උයනක් බිහි කරන්න පුලුවන්නම්
සතා සීපාවට වලඳන්න
ඵල දරන ගහක් වැලක් හදන්න
වරෙල්ලා එකතුවෙයල්ලා
උඹේ දරුවත් කවදා හරි
අලි ගහලා මරණකං
මේක තේරුම් ගන්න ඉන්න ඕනද
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි
මගේ පොඩි උන්ට ජීවිතයක් දීපං


(“වැල්ලවාය බලහරුවේ කුඩා දියණියක් උදෑසන පාසල් යන අතරේ වල් අලි ප්‍රහාරයකින් මිය යයි“ පුවත හා ඈඳේ)