අඩවියේ හිතවතුන්

Friday, July 15, 2016

මධ්‍යම කඳුකරය සුරැකීම වෙනුවෙන්, ජල සම්පත සුරැකීම වෙනුවෙන් දියත්වන ජනතා සටන








අද ලෝකය දෙස බැලුවත්, අපේ රට ගත්තත් බහුතර ජනතාව බරපතල ප්‍රශ්ණවලට මුහුණපා තිබෙනවා. ඒ නිසා ඔවුන්ව පීඩාවට අසරණභාවයට පත්වෙලා තියෙනවා. මේ ගැටළු උපත ලැබුවේ කොහොමද? මේ ගැටළුවල අයිතිකාරයො කවුද? කවුද මේවා නිර්මාණය කළේ? මේ ගැටළුවල බොහෝ අයිතිකාරයො ජනතාව විසින්ම පත්කරගත්ත පාලකයො. අපේ රටේ  ගන්න. අද අපේ රටේ ජනතාව මුහුණ දෙන විශාල ප්‍රශ්ණ ප්‍රමාණයක් තියෙනවා. වකුගඩු රෝගය ගත්තත්, අලි-මිනිස් ගැටුම ගත්තත්, ජාතිවාදී, ආගම්වාදී ගැටළු ගත්තත් මේ හැම ගැටළුවකම අයිතිකාරයො,  නැත්නම් මේ ගැටළු උත්පත්තිය ලැබුවේ පාලකයන්ගෙ අතින්. පාලකයන්ගෙ වරදින්. 

2007 අවුරුද්දෙ එක් දවසක මට දුරකථන ඇමතුමක් ආවා. 

“හලෝ සමන්ත මහත්තයද?“

“ඔව්, මම තමයි. කතා කරනවා. කවුද මේ කතා කරන්නේ “

“මම නම් ඔබතුමා ගැන දන්නවා. ඔබතුමා නම් මං ගැන දන්නැතුව ඇති. මම මේ වැදගත් කාරණයක් කියන්නයි කතා කලේ.“

“මොකද්ද දන්නෙ නෑ“

“ඔබතුමාලගෙ පළාතට ලොකු ව්‍යාපෘතියක් එන්න යනව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය කියලා. ඒ ගැන දන්නවද?“

“හොඳටම නම් විස්තර දන්නෙ නෑ. ව්‍යාපෘතිය එන බව නම් කියනවා“

“ ආ.... ඒ ව්‍යාපෘතිය  ගැන ගොඩක් තොරතුරු ගොණුවක් හැටියට මං ගාව තියෙනවා. මං ඒ ගැන හොයලා බැලුවා. මට තේරෙන විදිහට නම් මේ ව්‍යාපෘතිය කළොත් ලොකු ප්‍රශ්ණයක් පළාතට සිදුවේවි. මට පුළුවන් ඕනිනම් මේක සමන්ත මහත්තයට බලන්න දෙන්න.“

“බොහොම ස්තූතියි කිව්වට, කතා කළාට. එහෙනම් මට ඕක ඉක්මනට එවන්න.“

මා නොදන්නා ඉහළ රාජ්‍ය නිළධාරියකු සමග දුරකථන කතා බහක් එලෙස ඇතිවුනා. දවස් කීපයක් යනකොට මට ලිපිගොනුව තැපෑලෙන් ලැබුණා.  මම එය කියෙව්වා. කියවල බලනවිට  මට තේරුණා සැලකිය යුතු ප්‍රශ්ණයක් ව්‍යාපෘතිය ඇතුලෙ තියෙනවා වගේ කියලා. නමුත් මේ පිළිබඳ සියල්ල තේරුම්ගන්න ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් මට පුළුල් දැනුමක්, අවබෝධයක් පළමු මොහොතේ තිබ්බේ නෑ. ඒ නිසා මම මෙයට සහය ලබාගන්න අපේ පළාතෙ ඉන්න ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙක් වන අතුල ප්‍රියන්ත මහත්තයා හමුවුනා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු මහත්මයෙක් වුනු කැලුම් ප්‍රියන්ත මහත්මයා හමුවුනා. ඔවුන් සමඟ සාකච්ඡා කරලා බොහෝ තොරතුරු ගොණු කරගන්න පුළුවන් වුනා. තවත් තොරතුරු හොයාගෙන මට රටේ විද්වතුන් ගණනාවක් හමුවෙන්න යන්න සිද්ධ වුනා. පරිසරවේදී පියල් පරාක්‍රම මහත්තයා අද ජීවතුන් අතර නැතත්, ඒ කාලෙ මේ ගැන කතා කරන්න ඔහුත් සමග මම පැය ගණනාවක් ගත කරලා තියෙනවා. සජීව චාමිකර මහත්මයා එක්ක දවස් ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. පරිසරවේදී, නීතීඥ ජගත් ගුණවර්ධන මහත්මයා, තිලක් කාරියවසම් මහත්මයා එක්ක අපි දවස් ගණන් සාකච්ඡා කරලා තියෙනවා. මහාචාර්ය ජිනදාස කටුපොත මහත්මයා එක්ක දවස් ගණන් සාකච්ඡා කරලා තියෙනවා. මට මේ සම්බන්ධව අධ්‍යයනය කරන්න ඔවුන් සෑහෙන උදව් පදව් කරලා තියෙනවා. ජාතික සහ ජාත්‍යන්තර තොරතුරු ලබාදීලා තියෙනවා. මහාචාර්ය විතානගේ මහත්මයාගෙ, මහාචාර්ය පානබොක්කේ මහත්මයගෙ පොත්පත් වාර්තා සෑහෙන්න කියවන්න සිද්ධ වුනා. 


වැලිමඩ වැලිකඩගම පන්සලේ නායක හාමුදුරුවෝ හමුවුනා. උන්වහන්සේ මට මග පෙන්නුවා විශාල තොරතුරු, දත්ත ගන්න පුළුවන් මහත්මයෙක් ඉන්න තැනක් හොයාගෙන යන්න. උන්වහන්සේ කිව්වා මුණසිංහ කියලා දැනට විශ්‍රාමික මහත්තයෙක් ඉන්න බවත්, ඔහු මීට වසර ගණනාවකට පෙර ඉහළ ජලාධාර ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂකවරයා ලෙස උමාඔය නිම්නයේ සේවය කළ බවත් ඔහුගේ කොළඹ ගෙදර දුරකථන අංකය ලබාදිය හැකි බවත් මා හට පැවසුවා.  ඒ අනුව මුණසිංහ මහත්මයාගේ දුරකථන අංකයට කතාකොට ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගත්තා. දිනක් හෝමාගම ප්‍රදේශයේ තිබෙන ඔහුගේ නිවසටම ගොස් මුණසිංහ මහතා හමුවුනා. ඔහු ලඟ තිබූ තොරතුරු සහ දත්ත ලබාගැනිමට මා හට දින තුනක් පමණ යන්නට සිදුවුනා. 


වැලිමඩ ගොඩකුඹුර වෙදමහත්තයා විශාල ඉතිහාසයක් තියෙන කෙනෙක්. ඔහුගෙන් ද බොහෝ කරුණු කාරණා මගේ ගිණුමට එකතු කරගත හැකිවුනා. ඔහුගේ මගපෙන්වීමකට අනුව ඔහු සමගම ගොස් එක් සැන්දෑවක දිවුරුම්ගල රණසිංහ ගොවි මහත්තයා හමුවුනා. ඔහු සමග සාකච්ඡාව හමාර වුනේ පසුදා පාන්දර තුනයි තිහට පමණ. ඔහු හරි අපූරු මතකයක් තිබෙන මනුස්සයෙක්. දැනට ඔහුගේ වයස අවුරුදු අනූවක් පමණ වෙනවා. දෙවන ලෝක යුද්ධයේ සෙබලෙකු ලෙස සේවය කළ ඔහු උමාඔය ගැන අපට තොරතුරු කියාදුන්නේ ඉංග්‍රීසි අඟලේ සිතියම මේසයක් උඩ දිගහරිමින්. ඔහු කියනවා, 


“මහත්තයා මං කොල්ලා කාලෙ මේ කන්දෙඅරාවෙ කුඹුර අපි කෙටුවේ කුඹුරට පිටපළු දාලා ඒ පිටපළු උඩ ඉඳන්. දැන් මගේ මුණුපුරාලා ඒ කුඹුර කොටන්නේ හෝස් එකට වතුර මලක් හයිකරලා, කුඹුර පෙඟෙන්න වතුර පළමුව ඉහලා, පෙඟුනාට පසු කුඹුර කොටලා, එළවළු හදනවා. ඒ හදන එළවළු වලට හෝස් එකෙන්ම වතුර ගහනවා මහත්තයා. ඔන්න මහත්තයා අපේ කඳුබිම් වලට දැන් වෙලා තියෙන නස්පැත්තිය.”




රණසිංහ මහතාත්, ගොඩකුඹුර මහතාගෙනුත් ලබාගත්තේ ඉතිහාසයත් සමග කැටිවූ අත්දැකීම් තොරතුරු ගොනුවක්. 


මේ සියළු තොරතුරු ඒකරාශී කළාම පෙනී ගිය දේ තමයි මේ ව්‍යාපෘතියෙන් බරපතල හානි මධ්‍යම කඳුකරයටත් රටටත් සිදුවෙනවා කියන එක. පොතින් පතින් ගත්ත දැනුම විතරක් ප්‍රමාණවත් නොවන නිසා, ජනතාවගෙනුත් තොරතුරු හොයන්න අපි තීන්දු කළා. ඒ අනුව උමාඔය ආරම්භය පිදුරුතලාගලටත්, උමාඔයේ අනෙක් ප්‍රධාන අතු ගංගාවෙ ආරම්භය ඒ කියන්නෙ මාතැටිල්ල ඔයේ ආරම්භය, දඹේතැන්න කඳුවැටියත් ලෝකාන්තයත් ආදී ප්‍රදේශවලත් තොරතුරු ගොනුකර ගත්තා. උමාඔයේ සම්පූර්ණ දිග කිලෝමීටර් හැත්තෑ පහක්. උමාඔය මහවැලි ගඟට එක්කහු වෙන ප්‍රධාන අතු ගංගාවක්. මේ දෙක එකට එකතු වෙන්නේ රන්ටැඹේදි. කිලෝ මීටර් හැත්තැපහක් දිග උමාඔය දිගේ මාත් කිලෝමීටර් විසිපහක්, තිහක් ඇවිදලා අසල්වාසී ගම්වල ගොවි ජනතාවත් එක්ක, හමුවෙලා සාකච්ඡා කරලා තිබෙනවා. උමාඔයේ පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් හත්සිය විස්සක්. මේ ප්‍රදේශවල තොරතුරු විවිධ ක්‍රමවලට ඒකරාශී කරගත්තා. සියල්ල අධ්‍යයනය කරල බැලුවම මේ ව්‍යාපෘතිය කෙරුණොත් මහත් ව්‍යසනයක් සිදුවන බව අපට තේරුණා. 


මේ විනාශය නවත්තන්න දේශපාලන අධිකාරිත්වය හා බලධාරීන් සමග විවිධ මට්ටමේ සාකච්ඡා කිහිපයක් කළා. අන්තිමේට අපි තීන්දුවක් ගත්තා. පාලකයෝ ඇහුම්කන් නොදෙන නිසා, ජනතාව දැනුවත් කරලා පාලකයන්ට දැනෙන්න සංවිධානය වෙලා මේකට විරෝධය පාන්න ඕනැ කියලා. එම තීන්දුවට අනුව 2008 වර්ෂයේ සිට යම් යම් සාකච්ඡා වලින් ඉදිරියට ගිහින් “උමාඔය සුරැකීමේ ජාතික ව්‍යාපාරය“ නමින් ව්‍යාපාරයක් අපි 2009 අවුරුද්දේ ආරම්භ කළා. එහි සභාපතිවරයා ලෙස පෙර කියූ ඉංජිනේරු කැලුම් ප්‍රියන්ත මහත්මයත්, ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිසරවේදී අතුල ප්‍රියන්ත මහත්මයත් කැඳවුම්කරු ලෙස මමත් ඇතුළු වෛද්‍යවරු, නීතීඥ මහත්වරු, උගත් බුද්ධිමත් මිනිසුන්ගෙන් සැදුම්ලත්, මහා සංඝරත්නය අනුශාසකවරුන් බවට පත්කරගත්, පුළුල් බහුජන සංවිධානයක් අපි ගොඩනැගුවා. 


සංවිධානය හදලා නිකම් හිටියේ නැහැ. මේ විනාශයට ගොදුරුවෙන ප්‍රදේශවල ගොදුරු ගම් හොයාගෙන අපි ගියා. පෝස්ටර් ඇලෙව්වා. ජනතාව ඒකරාශී කළා පන්සල් වලට, කමත්වලට, ගස් යටට, කඩපිල්වලට ආදී තැන්වලට. ජනතාව ඒකරාශී කරලා රැස්වීම් වටයක් තියන්න තීන්දු කළා. 


වර්ග කිලෝමීටර් හත්සිය විස්සක් පුරා විතරක් නෙවෙයි. උමාඔයේ දියවරෙන් පෝෂණය වන මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, හසලක වගේමත්, මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල , වස්ගමුව, හඳුන්ගමුව, මාරක දක්වා ප්‍රදේශවලත් ඒ වගේම මහවැලි ගඟේ දකුණු ඉවුර, අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් සිරිපුර, දිඹුලාගල, අරලගංවිල වගේම මඩකලපුවෙ වැලිකන්ද සීමාව ඉක්මවා ගොස් ජනතාව හමුවෙන්න අපි දින යොදාගෙන, ඔවුන් හමුවෙන්න ගියා. හමුවෙන්න පෙර ඒ ප්‍රදේශවල පූර්ව ප්‍රචාරක කටයුතු කළා.  ඒත් බොහෝ තැන්වලදී අපිට මිනිසුන් ඒකරාශී කරගන්න බැරිවුනා. මිනිස්සු මේවට ඇහුම්කන් දෙන්න ආවෙ නෑ. මිනිස්සුන්ට එහෙම අනතුරක් හැඟිලා තිබුණේ නැහැ. ඇඟට දැනිලා තිබුනේ නැහැ. සමහර තැන්වල මිනිස්සු හතර පස්දෙනා එක්කහු වෙලා හිටියා. සමහර ගම්වලදි මිනිස්සු අපිව විවේචනය කළා. අපට දොස් කිව්වා. සංවර්ධනය වළක්වන්න කුමන්ත්‍රණය කරන එවුන් කියලා කිව්වා. නමුත් අපි ඔවුන්ට අපි දන්න කාරණා කියලා ආවා. 


දැනුවත් කිරීම් අසාර්ථක වෙනකොට අපි පත්‍රිකා බෙදුවා. අපි පත්තර අච්චු ගැහුවා. මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රමවලට ජනතාව දැනුවත් කළා. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කතා කෙරෙව්වා, ප්‍රශ්න කෙරෙව්වා, පළාත් සභාවල කතා කෙරෙව්වා, ඒවා ප්‍රතිඵලයක් වුනේ නෑ. 


මහින්ද රාජපක්ෂ යුගයේ මෙවැනි හඬවල් වලට නැමුණු පාලනයක් තිබුනේ නැහැ. ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙලා විනාශය නවත්වන්න ගත්ත උත්සාහය සාර්ථක නොවෙන තැන අධිකරණයේ පිහිට පතන්න තීන්දු කළා. ඒ අනුව නීතීඥ සුනිල් වටගල සහෝදරයා හමුවුනා. ඔහු සමග අපේ පළවැනි සාකච්ඡාවට වරුවකට වැඩි කාලයක් ගතවුනා. සියළු තොරතුරුවලට ඇහුම්කන් දීපු වටගල සහෝදරයා, 


“මේ සම්බන්ධයෙන් ප්‍රවීන නීතීඥ සමාගමක් එක්ක කටයුතු කරන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන්න හැකිවේවි.“


ඒ අනුව ඔහු අපිට දිනයක් ලබාදුන්නා.  ඔහු සමග අපි දෙහිවල ක්‍රිෂ්මාල් නීතීඥ සමාගම හමුවට ගොස් ක්‍රිෂ්මාල් වර්ණසූරිය නීතීඥ මහත්මයත් එක්ක පැය ගණනාවක් සාකච්ඡා කළා. ඔහු කැමතිවුනා මේ නඩුවට අතගහන්න. ඔහුත් ඒ විෂයට ආසාවක් තිබෙන බව අපට තේරුණා. ඒ අනුව නඩුවට අදාල කරුණ ගොණු කරන්න පටන්ගත්තා. පිටු හයසිය ගණනක් වෙනකම් දවස් ගණනාවක් අපි දන්න කරුණු නීතීඥ සමාගමේ නීතීඥවරුන්ට පැවසුවා. ඒ සඳහා පරිසරවේදී සජීව චාමිකර මහතා බොහොම ඇප කැපවීමෙන් උදව් කළා. උමාඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සහෝදරවරුන් මේ සඳහා සෑහෙන්න වෙහෙසුනා. නඩුවට කරුණු ගොනුකරන අතරෙ නීතීඥ සමාගමට ගෙවීම් කරන්න අපට සිදුවුනා. රුපියල් හැටදාහක් වෙනකම් ගෙවීම් සිදුකළා. නමුත් නඩුව ගොනුකරලා ඉදිරි කටයුතු කරන්න තවත් විශාල මුදලක් අවශ්‍ය වුනා. ඒ මුදල සපයගන්න පහසුකමක් අපට තිබුනේ නැහැ. ජනතාව අතරට ගියත් ඒවා ඉටුකරගන්න හැකිවුනේ නැහැ. ඒ නිසා අවසානයේ අපි නඩුව අතහැර දැම්මා. කරගෙන යන්න බැරි දෙයකට අත තියලා තවත් අපහසුතාවයකට පත්වෙන්න බැහැ කියලා අපි තීන්දු කළා. 


නඩුව අතහැරියත් සටන අතහැරියේ නැහැ. අපිට පුළුවන් මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීම් කරගෙන ගියා. නමුත් පාලකයො ඒවට ඇහුම්කන් නොදී ව්‍යාපෘතිය ආරම්භ කරලා වේගයෙන් ඉදිකිරීම් පටන්ගත්තා. ඉදිකිරීම්වලින් 16% ක් කරගෙන යනකොට මහත් ව්‍යසනයක් සිදුවෙන්න පටන්ගත්තා. ප්‍රධාන උමග කිලෝමීටර් 15.2 ක දිගින් යුක්ත වුනා. ඒ උමඟේ කිලෝමීටර 3.9ක් කපාගෙන යනකොට උමගට මහා දිය කාන්දුවක් වෙන්න පටන් ගත්තා. ඒ 2014-12-26 වැනි දින. තත්පරයට ලීටර් 876 ක් උමගට කාන්දු වෙන්න පටන් ගත්තා. ඒ සමග බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ළිං වේගයෙන් හිඳෙන්න පටන් ගත්තා. වැව් අමුණු උල්පත් හිඳෙන්න පටන් ගත්තා. ගෙවල් විශාල ලෙස පුපුරන්න පටන් ගත්තා. දහස් ගණනින් ගෙවල් පුපුරන කොට ජනතාවට ව්‍යාපෘතියේ හානිය යම් මට්ටමකින් තේරෙන්න පටන් ගත්තා. අපි සටනට ඔවුන්ට නැවත ආරාධනා කළා. ඒ අනුව අපි සටන නැවත අලුත් වටයකින් පටන් ගත්තා. වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, පුහුල්පොළ, කරඳගොල්ල, වැල්ලවාය මේ හැම  හැම තැනකම  පසුගිය කාලයේ සටන් ඇවිලි  ගියා. උද්ඝෝෂණ, පෙළපාලි, සත්‍යග්‍රහ, රථ පෙළපාලි හා පළාත් සභාව වට කිරිම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වට කිරීම ආදි  සටන් රාශියක් සිදු කළා. කොළඹටත් උද්ඝෝෂණය අරන් ගියා. 










 පාර්ලිමේන්තු, පළාත් සභාවල මේ සම්බන්ධයෙන් හඬ අවදි කළා. පත්තර පිටු වල , රූපවාහිනි නාලිකාවල මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළවෙන්න පටන් ගත්තා. 










රාජපක්ෂ පාලනය හමාර වුනා. මෛත්‍රී රනිල් පාලනය රටට එළි බැස්සා. ඔවුන්ටත් මේ කරුණු කාරණා ගිහින්ම පැහැදිලි කළා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා  අපේ හඬට සවන් දීලා  මේ විනාශය මමත් දන්නවා . මේක තාවකාලිකව නවත්වමු. අධ්‍යයනයක් කරල බලමු. මේක හානියක් නම් නවත්වලම දාමු. හානිවලට මුහුණදීපු ජනතාවට නොපමාව වන්දි ගෙවන්නම් කියලා ඔහු පොරොන්දු වුනා. නමුත් මේ වෙනකම් සාධාරණයක් ඉටු වුනේ නෑ. දේශපාලන මහා බොරු වංශකතාවට තවත් පරිච්ඡේදයක් එකතුවීම පමණක් සිදුවුණා. 


මෛත්‍රී හා රනිල් නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය දුන්නා. උමාඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය දැන් පලක් වන්නෙ නැති නිසා අපි දෙදහස් දාහතරෙ අලුත් සංවිධානයක් පටන් ගත්තා. දැන් තියෙන්නෙ උමා ඔය සුරකින්න නොවෙයි විනාශය නවත්වන්න. එනිසා අප ‘උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ’  නමින් ඒ අලුත් පෙරමුණක් ගොඩනැගුවා. ඒ හරහා තමයි පෙර කී සටන් මේ වනවිට දියත් කරමින් සිටින්නේ. 


මේ පසු ගිය සති දෙක වෙන කොටත් අලුතින් ගෙවල් පුපුරනවා. ළිං හිදෙනවා. බණ්ඩාරවෙල ආසනයේ තිබුන ප්‍රධානම ඔය සිසිල් ඔය හෙවත් හීල්ඔය  සහමුලින් හිදිලා ගියා. පසුගිය ජූනි අවසානය වනවිට. දැන් ජනතාව ආපහු ගිනියම් වෙලා ඉන්නෙ. සටන් නැවත නැවතත් ඇවිලෙනවා.








 දැන් වසරකට එකහමාරකට උඩ දි මම රත්න ශ්‍රී විජේසිංහයන්ට දුරකථන ඇමතුමක් දුන්නා. ඔහු තමයි අපි හිතන විදිහට ලංකාවේ මහගම සේකරයන්ට පස්සෙ ජනතාවට දැනෙන්න  පද වැලක් ලියන, ගීතයක් පබඳින  කිවිඳා. ඔහුගෙ පද වැල් ජනතාවගෙ හදවතට දැනෙනවා. ඒ පඳවැල් වල බොහෝම ලාලිත්‍යයක් තියෙනවා. ඒවා ගැඹුරු අරුතක් ගෙන දෙනවා. රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් මම ඉල්ලීමක් කළා,


“අපි මධ්‍යම කඳුකරයේ සටනක් කරගෙන යනවා. මේක හරි සංවේදි සටනක්. ලෝකෙ සටන් ඇවිලිලා තියෙනවා. ඒ අතර ජලය සම්බන්ධයෙන් සටන් තිබිලා තියෙනවා. අපිත් මේ මධ්‍යම කඳුකරය  ආරක්ෂා කර ගන්න, මේ ජල සම්පත් ආරක්ෂා කර ගන්න  සටනක් කරනවා“.


 මම ඔහුට බොහෝ විස්තර කිව්වා. ඔහු මට කිවා ,


“ඔව් මල්ලි මමත්  පත්තර වලින් දැක්කා, මාධ්‍ය  මගින් දැන ගත්තා. සටන කරගෙන යන්න , අපිට දෙන්න පුළුවන් ශක්තියක්  අපිත් දෙන්නම්“. 


ඔහු කෙටියෙන්ම මට කිව්වා. ඔහුගේ කතාවෙන් මම තවත් ශක්තිය ගත්තා. උමාඔය විනාශකාරී ක්‍රියාව ගැන ලියවුන පත පොතද පත්‍රිකාද, ඒ විතරක් නෙමේ, අපි කරපු වැඩවල වීඩියෝ පට ඔහුට අපි තෑපෑලෙන් යැව්වා. මාස තුන හතරකට පස්සෙ දවසක රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් දුරකථන ඇමතුමක් ආවා. 


“මල්ලි , උඹලගේ වැඩේට මම සින්දුවක් ලිව්වා. හොඳද බලපන්“.



 ඔහු දුරකථනයෙන් මට පද වැල් ටික රිද්මයකට කියෙව්වා.  ඒ පළමු ඇසිල්ලේදීම පද වැල් මගෙ හදවතට හොඳට කිදා බැස්සා. දැනෙන්න ලියලා, හැඟෙන්න ලියලා, රිදෙන්න ලියලා, අවදි වෙන්න ලියලා. ඒ අකුරුවල,  ඒ පදවල,  ඒ දේ තියෙන බව මට පළවෙනි වතාවෙම දැනුනා. දෙවැනි වතාවෙත් කියවන්න කියලා මම ඔහුට කිව්වා. ඔහු දෙවැනි වරත් කියෙව්වා. මට තවදුරටත් පෙර අදහස තහවුරු වුණා. මම කිව්වා,


“අයියා මට නම් දැනෙනවා.  මට හොඳට හැඟෙනවා. ඔය පද වැල මට ඉක්මනට එවන්න“.


 දින තුන හතරකට පස්සෙ ඔහුගෙ අතින් ලියපු පද වැල මට  තැපෑලෙන් ලැබුණා.  ඊට පස්සෙ අපි කට්ටිය කතා වුණා. ලෝකයේ සටන් වලට සාහිත්‍යද ලොකු කාර්ය භාරයක් කරලා තියෙනවා. ඒ ගැන අපි දන්නවා.  අසුව දශකයෙ  ඌව වෙල්ලස්සෙ මහ වනයක් වනසන්න බ්‍රිතාන්‍ය  බූකර්ටේට් සමාගම ලංකාවට ආවා. අලි ඇතුන් ඉන්න මහ වනයක් වනසලා යාල වනෝද්‍යානයට ආසන්නව පැල්වත්ත උක් සමාගම ආරම්භ කළා. ඒ වෙලාවෙත් මිනිස්සු පාරට බැස්සා. අන්න ඒ වේලාවෙ  රත්න ශ්‍රී  කිවිඳුන් පද පේළියක් ලිව්වා. ඒක කපුගේ විසින්  ගීයක් බවට පත් කරා. 

“බිම්බරක් සෙනග ගැවසුන 
චන්ද්‍ර සූරයා ඉපදුන 
ස්වර්ණ භූමියේ මනරම්
මාළිඟාව කෝ...

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින් 
කම්බි වට කලේ මනරම්
මාළිඟාව ‍කෝ මාළිගාව කෝ

ටැට්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලලුන
වෘක්ෂ දේවතාවන් බිම 
වැටී පණ ගසයි

මිණී මල් පිපුණු සීතල 
නිම්න භූමියේ ඇටකටු 
හතර රියන් කඩ අහිමිව 
විලාපය නඟයි...//

බිම්බරක් සෙනඟ...//

කැලෑ මල් පිපී රතුතොල් 
වලින් කෑ ගසා ඉල්ලන 
ජාතියේ නිදානය රන් 
රුවන් කරඬු කොයි

වෑ කන්ද කඩා ඉන් කටු 
කම්බියෙන් බෙදා වෙන්කල 
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව් කඩුව බිම දමව්...

බිම්බරක් සෙනඟ...//“

යන  ගීතය ලියවුනේ එහෙමයි. 




අපිත් කල්පනා කරා සටන ආනාගතයට අමතක වුණත් සාහිත්‍ය අමතක වෙන එකක් නෑ. ඒවා අනාගතෙත් ජනතා සටන්වලට උදව් වෙයි කියලා අපි හිතනවා. ඒ හින්දා මේ රත්න ශ්‍රී උමාඔය විනාශය ගැන ලියූ පද හඬ බවට පත් කරලා  ජනතාවගෙ හදවත් තුළට මේ හඬ ගෙනියන්න ඕන කියලා අපි තින්දු කරා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපේ ප්‍රදේශයේ කලාකරුවෙක් වුණ ප්‍රේමරත්න තෙන්නකෝන් මල්ලිත් එක්ක කතා කළා. ඔහුත් මේක කියෙව්වා. 



“ අයියා පද ටික නම් මරු. හොඳ මෙලඩියක් දාලා  හොඳ බර හඩකින් කියව ගත්තොත් රටට දැනෙන සිංදුවක් වෙයි“.


ලංකා පත්තරේ ප්‍රියදර්ශන දයාරත්න සහෝදරයටත් කතා කළා. ඔහුටත් පද වැල ඊමේල් කළා. ඔහුත් කියවා බලා මට කතා කළා. 


“නියම පද වැලක් .සින්දුවක් කරගත්ත නම් තමයි හොඳ“. 


පදවැල කියවපු හැමෝගෙම අදහස ඒක. අපි උත්සහ කළා මේකට මෙලඩියක් දා ගන්න.  හොඳ වොයිස් එකක් හොයා ගන්න. නමුත් අද තත්ත්වය අනුව හැම දෙයක්ම මුදලට තීන්දු වෙනවා. මෙයට සම්බන්ධ වන සියළු දෙනාට ගෙවීම් කරන්න ඕන. එය රුපියල් දහපහලොස්දහකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වට ගණනාවක් උත්සාහ කළා. මුදල් අමාරුකම් මත නඩුව අසාර්ථක වුණා වගේ තවම පද වැල ගීතයක් බවට පත් කර ගන්නත් බැරි වුනා. උත්සාහය අත්හරින්න අදහසක් නෑ. පීඩාවට, අසරණ භාවයට පත්, ජනතාව පෙනෙන විට විවිධ සටන් අතර ගීතය කොහොමහරි කරන්න ඕන කියලා විටින්විට මගේ හිත මට කියනවා. 


මෑතක අපි කතා කලා නදීක ගුරුගේ සහෝදරයට. වර්තමානයේ  අපේ රටේ ඉන්න විශිෂ්ට සංගීතඥයෙක්. සංගීතය ගැන ගැඹුරු දැක්මක් හැදෑරීමක් තියෙන පුද්ගලයෙක් . ඔහුත් පදවැල කියවා,


“මේක හොඳ සින්දුවක් .මේකට හොඳ මෙලඩියක් දාලා ගැඹුරු කට හඩකින් කියව ගත්තොත් මිනිසුන් අතරට අනිවාර්යෙන් යාවි. මට කරන්න පුළුවන් දේ මම කරන්නම්. මේක සම්පුර්ණ කරන්න වියදමක් යාවි. ඒ මුදල සොයා ගන්නවනම් මම උදව් කරන්නම්“.


මේ රටේ හොඳ බොහෝ දේවල් අතහරින්න වෙලා තියෙන එක් කාරණයක් තමයි මුදල් කියන්නේ. නමුත් මේ මධ්‍යම කඳුකරයත් ජන ජීවිතත් අපේ රටේ පරිසරයත් රැක ගන්න ඕන. ඒ නිසා අපි මේ සටන අත්හරින්නෙ නැ. දුෂ්කරතා තියෙනවා. ඒත් අපි සටන අතහරින්නෙ නෑ. පාලකයන් දණගස්සවන්න පුළුවන් වේවි. මේවා රැක ගන්න පුළුවන් වේවි. නමුත් මිනිසුන් එය තේරුම් ගත් දාට හොඳින් කළ හැකි වේවි. තේරුම් ගන්නා තෙක් අපේ සටන් නොනවතින අරගලයක් බවට අපි පත් කරනවා. අද වනවිට නැවතත් උමාඔය නිම්නය ගිනියම් වෙලා. උමගේ තවත් මහා දියකාන්දු කිහිපයක් සිදුවෙලා. මධ්‍යම කඳුකරයේ දකුණු හා නැගෙනහිර බෑවුම බරපතල අනතුරකට මුහුණ දෙනවා. විනාශය නවත්වාගන්නේ කොහොමද යන්න ගැටළුවක්. නමුත් විනාශය නැවැත්විය යුතුමයි. 


මේ මොහොතේ සිහිවෙනවා 1854 දී රතු ඉන්දියානු නායක සියැටල්, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆෑන්ක්ලින් පියර්ස්ට එවූ ලියුමට සියටැල් කියපු ශ්‍රේෂ්ඨ කියමන. ඔහු කියනවා,


“නිල් අහසත්, පොලවේ උණුසුමත්, විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළඟේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම්  ඒවාට මිල නියම කිරීම හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. අපගේ භූමිය මිළදී ගැනීමට කැමැත්ත පළ කරමින් ඔබ කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධීරයයි. ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳුවති. අපගේ දරුවන් පෝෂණය කරවති. සුදු මිනිසුන්වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම්කඩක් තවත් බිම්කඩකට වඩා වෙනස් නොවන බවද අපි දනිමු. භූමියේ තිබිය යුතු දේ පැහැරගෙන පළායන ඔබගේ මිනිසුන් මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළව ඔවුන්ට සහෝදරයකු නොව සතුරෙකි. භූමිය අත්පත්කර ගැනීමෙන් පසු ඔහු එය අමතක කොට තවත් නැවුම් බිම් යටත්කර ගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියේ සාරය උරාබොනු ලැබීමෙන් පසු ඉතිරිවන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත්  ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. මවුබිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් හෝ එහි ජීවත්වන දරුවන්ටත් උරුමවන්නේය. අප දන්නා පරිදි මේ මහපොලව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහපොලවට අයත් වන්නේය.” 



එලෙස කියුවේ රතු ඉන්දියානු නායක සියැටල්ය.


42 comments:

  1. මහත්තුරු ගොඩාරියයි.....!!!

    ReplyDelete
  2. ගණන්ගන්න එපා ලංකාවේ කතාකරන්නේ එහෙමනේ..

    ReplyDelete
  3. පාලකයන් අතින් පරිසරයට සිදු වන විනාශය, මිනිසුන් අතුරුදහන් කිරීම, මරා දැමීම තරම්ම සමහර විට ඊටත් වඩා බරපතලයි. මොකද අනාගත පරම්පරාවටත් මේ විනාශය බලපාන නිසා. මේව යළි නිවැරදි කරන්න පුලුවන් වැරදි නෙවෙයි..

    ReplyDelete
  4. සින්දුවත් තියෙයි... ව්‍යාපෘතියත් ඉදිරියටම යයි..

    නදීක ගුරුගේ ගැන ලැජ්ජයි... සල්ලි ඉල්ලුවා කිව්වාම.. හැම දේකටම වටිනාකමක් තියෙන්න ඕන එක ඇත්ත... ඒත් මේ වගේ දේකට... බිල කැඩුවට සල්ලි ගන්න නරකයි...

    රත්න ශ්‍රී ලා, කපුගේ ලා මල් තියන්න පුදන්න ඕන කළාකාරයෝ මුන් එක්ක බැලුවාම..

    ඇයි ඔහේලගේ විමුක්ති ගීද මක්කද එකක් කියන සෙට් එකක් උන්නා නේද....?

    ReplyDelete
    Replies
    1. නදීක ගුරුගේත් වැලිමඩ උමාඔය සානුවේ එකෙක්... හික්.

      Delete
    2. //“මේක හොඳ සින්දුවක් .මේකට හොඳ මෙලඩියක් දාලා ගැඹුරු කට හඩකින් කියව ගත්තොත් මිනිසුන් අතරට අනිවාර්යෙන් යාවි. මට කරන්න පුළුවන් දේ මම කරන්නම්. මේක සම්පුර්ණ කරන්න වියදමක් යාවි. ඒ මුදල සොයා ගන්නවනම් මම උදව් කරන්නම්“//
      නදීක ගුරුගේ වියදමක් යාවි කිව්වේ ස්ටූඩියෝ එක වෙන් කරගන්නත්, සංගීත ශිල්පීන්ට ගෙවන්නත් යන වියදම. නදීක කිවේ ඔහුට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඔහු කරන්නමි කියලා. ඒ කිවුවේ ඔහුගේ සහය මේ සම්බන්ධයෙන් අපට ලැබෙනවා. එයට ඔහු එකගයි. අනෙක් අතින් අපි තේරුම් ගතයුතුයි කලාකරුවන් අද එය ඔවුන්ගේ ජීවන වෘත්තිය වෙලා. ඔවුන්ට ඔවුන්ගේ හඬ හැකියාව විකුණන්න සිදුවෙලා. මේ සමාජ ක්‍රමය සකස්වෙලා තියෙන්නේ එහෙමයි.

      Delete
    3. නදිකනං අනේ මන්දා . ලංකාවට ආපු කාලේ දවසක අපේම වැඩකට ඇවිත් සිඩී එකක් ඇගේ ගහන්ඩමයි හැදුවේ , ඉල්ලගන සිකරට් බීබි

      Delete
    4. ඔයාට ක්‍රිෂ්මාල් වර්ණසූරිය ගැන ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?

      Delete
    5. // ඔයාට ක්‍රිෂ්මාල් වර්ණසූරිය ගැන ලැජ්ජ හිතෙන්නේ නැත්ද ? //

      ඇයි ක්‍රිශ්මාල් ලයිට් කනුවල බැඳලා මිනිසුන් ට වෙඩි තියලා තියෙනවද, නැත්තන් මහ රෑ ගෙවල් වලට පැනලා හැඳුනුම්පත් එකතු කරලා තියෙනවද ලැජ්ජා වෙන්න?

      Delete
  5. මේවා කරගන්න පුළුවන් එකම ක්‍රමය (ඔබ තුමන්ලා රජයක ප්‍රදාන ඇමති කමක් අරගෙන කරන්නේ නැතිනම්) අපිට අවස්ශය සහ රටට අවශ්‍ය දේ කිරීම තුල ලබා ගත හැකි කුට්ටිය රජයේ ලොකු අයට පෙන්වා දීම තුලිනි.

    මගේ පරණ තියරියක් තිබුනා යුද්දය ගැන. "යුද්දය නමැති තියා ගෙන කන තුවාලය මුන් ලවා ඉවර කර ගන්න නම්, යුද්දයෙන් පසු උන්ට ලැබෙන කුට්ටිය ගැන පෙන්වා දිය යුතුය. ඒ කුට්ටිය යුද්දය තුලින් ලබා ගන්න කුට්ටියට වැඩිය විශාල විය හැකි බව පෙන්වා දිය යුතුය"

    ReplyDelete
  6. මම කලින් දමන ලද කොමෙන්ටුව දක්වා ඇත්තේ උපහාසයෙන් සහ පිලිකුලෙන් බව සඳහන් කරමි (sarcasm)

    ReplyDelete
  7. //
    “ අයියා පද ටික නම් මරු. හොඳ මෙලඩියක් දාලා හොඳ බර හඩකින් කියව ගත්තොත් රටට දැනෙන සිංදුවක් වෙයි“. //

    ජ වි පෙ සන්වත්සර වේදිකාව නින්නාද කොල සුනිල් පෙරෙරා සූරීන් ට කිවුව්ව්නම් එයා ගායනා කොරයි!

    ReplyDelete
  8. රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන??? ව්‍යාපෘති වලින් රටට වෙච්චි ලොකුම හානිය ඒ සඳහා ගත්තු ගිනි පොලී වාණිජ ණය නෙමේ නිසි පරිසර සක්‍යතාවන් නොකිරීම.උමා ඔය ,පෝට් සිටි ,මත්තල වගේ ඕනෑ තරම් උදාහරණ තියෙනවා

    ReplyDelete
  9. මා කැමති බ්ලොග් අඩවි

    සොඳුරු අතීතයෙන් බිඳක්
    යාන් හෑල්ල
    තිලකසිත
    කලාහිත

    තව බදුලු බ්ලොග් තියේ

    හේහ් හෙහ්

    ReplyDelete
  10. හොඳ වෙලාවට මං පරක්කුයි. ඒකත් හොඳයි. උමාඔය කියන්නෙත් මං දන්න ව්‍යාපෘතියක්. එයට සම්බන්ධව රාජකාරි කරලත් තියෙනවා. ඒ හංදා මේ ගැන ටිකක් ලියන්නං. 2010 අවුරුද්ද වෙනකොටත්, ඒ කියන්නෙ මං බදුල්ලට එනකොටත් උමාඔය සඳහා මැනුම් කටයුතු පටං අරං ඉවරයි. ඒ ව්‍යාපෘතිය පටං ගැන්මෙම මහ මැටිමෝල් වැඩක්. ඕකෙං බලාපොරොත්තු වෙලා තියෙන්නෙ උමා ඔයේ වතුර වියලි කලාපෙට ගෙනයෑම. වියලි කලාපෙට ඒ වතුර ටික ගෙනියනකොට කඳුකරය වේලෙනව කියන එක ඕකට සැලසුම් හදපු අයට තේරිල නැද්ද? එතකොට මේක අටුව කඩා පුටුව හැදීමක් නෙමෙයිද? මට තේරුම් ගන්න පුලුවන් විදිහට මේක බහුකාර්ය ව්‍යාපෘතියක් තමයි. පළවෙනි කාර්ය තමයි සංවර්ධනය කිරීම. ඒ කියන්නෙ කොන්ත්‍රාත්කාරයො සහ මේක ආරම්භ කරපු අය සංවර්ධනය වීම. නැත්තං ඊළඟ ඡන්දෙට වියදං කරන්නෙ කවුද? අනෙක තමයි ඡන්ද කඩාගැනීම. එවකට හිටිය ආණ්ඩුවට ඡන්ද තිවුනෙ වියළි කලාපෙන්. බණ්ඩාරවෙල පැත්තෙන් එහෙමට ඡන්දයක් ඒ ආණ්ඩුවට තිවුනෙ නෑ. ඉතිං උං වේලිලා කරකුට්ටං වෙලා මලත් මොකද?

    ඔය වගේ මල්ටි පර්පස් උමාඔයේ වැඩ කරපු විදිහත් ඒ වගේ මහ කැලේ මැද්දෙ පැය ගණං ගිහිං අලිත් එක්ක, වන සත්තු එක්ක, බඳින තුවක්කු එක්ක ඔට්ටුවෙලා මනින එකාලට වැඩ කරන්න තියෙන පැය ගාන අඩුයි. පාර කිට්ටුව මනින එවුන්ට ඉක්මනින් වැඩි වැඩ කොටසක් කරන්න පුලුවන්. අන්තිමට දිරිදීමනා බෙදන්න යද්දි කැලේ මැද්දෙ දුක් විඳපු එවුන්ට මොකක්වත් නෑ. අලි ගහල කැඩිච්ච මැනුම් උපකරණ වලටත් අතින් ගෙවන්න වුනාද කොහෙද උන්ට. පාර අයිනෙ වැඩකරපු එවුන්ට දිරිදීමනා ලක්සගනං. කොහොමද ගැහිල්ල.

    වැඩට යන්න දීල තිවුන වාහනත් ඒ වගේ. ඩබල් කැබ්බෙකක්, ජිප්පෙකක් වෙනුවට දීල තිවුනෙ ලොක්කංගෙන් සහ උන්ගෙ හිතවතුන්ගෙන් හයර් එකට ගත්තු වෑන්. එව්වයෙං පුලුවන්ද කැලේ පාරවල්වල යන්න. තාරපාර ඉවරවුන ගමං ඩැයිවර් වාහනේ නවත්තනව. පලයං අප්පා පයිං ට්‍රයිපොඩ්, ඊඪීඑම් කරගහගෙන. දීල තිවුන කොම්පියුටර් ඊට එහා. ලක්ෂ ගනංවලට අරං තිවුනෙ තිස්දහක් නොවටින කොම්පියුටර්. ව්‍යාපෘතිය අහවර වෙන්න කලිං එව්ව යටිගම්පිටි ගියා.

    ඒ ඔක්කොම දාමු පැත්තක. රජයෙ සේවකයන්ට පඩිය හරි හම්බුවෙනවනෙ. උමාඔයේ වතුරෙං වගා කරපු මිනිස්සුංගෙ වගාවට වෙලාතියෙන දේ පේනවද? ව්‍යාපෘතිය හිංදා මිනිස්සුංගෙ ගෙවල් පුපුරල, සමහරුන්ට ඉන්න තැන් නෑ. වතුර නෑ. http://www.namunukulineha.blogspot.com/ ලියන හේමමාලි එහෙම හොඳටම මේ ජල හිඟයෙන් බැටකනවා. එළවලු වවපු මිනිස්සු කී දෙනෙක් අනාථවෙලාද? ඒ මිනිස්සුංගෙ දරුපවුල්වලට ඉන්න හිටින්න තැන් කන්න බොන්න තිවිච්චි ආදායම් මේ සේරම නැතිවෙලා. එව්වා දිහා ඇහැක් ඇරලා බලන්න මිනිහෙක් නෑ.

    උන්ට හෙනගැහිච්චාවෙ කියලා බලන්න මහත්වරුනි මෙතැන තියෙන දැවෙන ප්‍රශ්ණ දිහා.

    1) මහත්තුරු ගොඩායි...
    2) නදීක ගුරුගේ ගැන ලැජ්ජයි... සල්ලි ඉල්ලුවා කිව්වාම
    3) ක්‍රිෂ්මාල් වර්ණසූරිය ගැන ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?
    4) තව බදුලු බ්ලොග් තියේ

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. 👊🏼 ela reply eka macho..!!

      Delete
    2. සුරං,
      අපේ කට්ටිය ප්‍රශ්න විසඳන්නෙ එහෙම තමයි.

      Delete
    3. දැන් ඕක නිසා ගෙවල් කීයක්ට හානි වෙලා තියෙනවද...?
      තව කීයකට හානි වෙයිද?
      වගා බිම් කොයිතරම් ප්‍රමාණයකට හානි වෙලා තියෙනවද...?

      මේ ටිකට උත්තර දුන්නොත් මම ඊළඟ ප්‍රශ්ණය අහන්නම්..

      Delete
    4. පාදඩ දේශපාලකයන්ගේ බඩගෝස්තරය සංවර්ධනය කරගැනීමේ එක ව්‍යාපෘතියක් උණු උමා ඔය ව්‍යාපෘතිය පිලිබදව දනුවත්කල මෙම බ්ලොග් කරුට මෙන්ම ඔබටත් ස්තුතියි...

      Delete
  11. ඔහොම නෙමෙයි පොලොවෙ පස් කකා කිව්වත් ඔය ප්‍රොජෙක්ට් නවත්තනවා බොරු.ඔය පළාත් වල ජනතාව හංකිති කැවීමෙන් එහාට ගිහින් දැනෙන විරෝධයක් දක්වනකන් ප්‍රධාන කාරණාව යට යනවා.
    ලොකුම දේ අපි අමතක කරනවා මේ දුක් විඳින්නෙත් මිනිස්සු,මේ නැති වෙන්නෙ අපේ දුවල පුතාලගෙ අනාගතය කියන දේ.
    අරගලය දිනේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  12. වැලිමඩ බණ්ඩාරවෙල කියන්නේ අවුරුද්ද පුරා ජලය තිබෙන තෙත් කලාපයේ ප්‍රදේශ නෙවෙයි. ජුලි , අගෝස්තු වගේ මාස වලදී බණ්ඩාරවෙල නගරයට බිමට පවා වතුර හිඟ වෙනවා ඒ කාලේ ( අසුව- අනුව දශකයේ ) එහි තිබෙනා උල්පත් ලිං සියල්ල පතුලටම සිඳුන මේ වගේ ව්‍යාපෘතියක් මගින් සිදුවන විනාශය දැනෙන්නේ ඒ පළාත් වල ජිවත් වන අයටයි. ඔබ මේ වෙනුවෙන් ගන්නා අවංක උත්සාහය ඉතා අගය කරමි. ඉහතින් සුරංග කියා ඇති පරිදිම ඔබේ රසිකයෝ බොහෝ දෙනෙක් ඉතා කුඩා සිද්ධි අල්ලා ගෙන ( උදා .. මහත්තුරු ගොඩයි.... තව බදුල්ලේ බ්ලොගර්ස් ලා ඉන්නවා වැනි ) ලිපියේ ප්‍රධාන පරමාර්ථය වෙනතකට හැරවීමට උත්සාහ කිරීම ඔබ මේ වෙනුවෙන් වැය කල ඔබගේ වටිනා කාලයට කල නිඝ්‍රහයක් ලෙස මමනම් දකින්නේ.. උමා ඔයේ අතිශය විනාශ කාරී බලපෑම මෙවැනි සුළු සුළු කාරනා උළුප්පමින් යටපත් කිරීම ශෝක ජනකයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔබේ රසිකයෝ බොහෝ දෙනෙක් ඉතා කුඩා සිද්ධි අල්ලා ගෙන ( උදා .. මහත්තුරු ගොඩයි.... වැනි ) ලිපියේ ප්‍රධාන පරමාර්ථය වෙනතකට හැරවීමට උත්සාහ කිරීම ඔබ මේ වෙනුවෙන් වැය කල ඔබගේ වටිනා කාලයට කල නිඝ්‍රහයක් ලෙස මමනම් දකින්නේ.. /// Hats off Kawindu 👍🏽

      Delete
  13. මධ්‍ය කඳුකරයේ ගිණිකොණ දිග බෑවුම බේරා ගැනීමේ ජනතා සටන කිව්වනම් තමයි මාතෘකාව හරියටම හරි යන්නෙ. මධ්‍ය කඳුකරයේ ඉතිරි කොටස් සුරුක්ෂිත යයි දුයිෂෙන්ගේ අඩවියට පෙනෙනවා ද

    ReplyDelete
  14. සුපිරි comment දෙකකින් කියන්න ඕන ඒව කියල තියෙනව.
    බැරිද මාධ්‍ය සහයෝගය ලබා ගන්න මීට වැඩිය?

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. උමාඔය ප්‍රොජෙක්ට් එකෙන් වෙන අහිතකර ප්‍රතිපල ගැන පත්තරෙන් අහල තිබුණත් ඔබේ ලිපියෙ පෙන්වාදුන් තරම් විනාශයක් වෙනවයි කියල දැනගෙන හිටියෙ නෑ.
    මේ තරම් විනාශයක් වෙන ව්‍යාපාරයක් නවත්තන්නෙ නැත්තෙ ඇයි කියල මටනං තේරුං ගන්න අමාරුයි.
    ඔබ මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කරන කැපවීම අගය කරනව.

    ReplyDelete
  17. ඔය ගීතය පටිගතකරගන්න යන ඇස්තමේන්තුව කියද කියල කියන්න පුලුවනිද? විදේශගත අපි උත්සහයක් කරලා බලන්නම් මුදල හොයල දෙන්න

    ReplyDelete
  18. 19/07/2016 ....මම ඊයේ නදීක ගුරුගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සහභාගිවූ රුපවාහිනි වැඩ සටහනක් බැලුවා.. ඒකෙ නදීක ගීත ගායනා කරන හැටි දැක්කම හිතුනා එයාටම මේ ගීතය කියන්න පුළුවන් නේද කියලා .. සමන්ත පෙරේරා, අමරසිරි පීරිස් වගේ අයත් හොඳයි. https://www.youtube.com/watch?v=xhC7SOpvY3c මෙන්න ලින්ක් එක

    ReplyDelete
  19. නදීකගෙන් නම් සල්ලි නැතුව සිංදු කියවන්න බැරිවෙයි.නලින්ද ජයතිස්සගේ සිංදු කියන්න යන්න කීයක් ගත්තද දන්නෑ..

    2012-13 කාලේ හිටපු රජයේ නිල නිවාසේ ලයිට් බිලයි වතුර බිලයි ගෙවන්නේ නැතුව ස්ථාන මාරුව ලැබුනාම ගිය හින්දා.. ලයිට් වතුර කැපුවා ..ඊලඟට ඒ ගෙදරට එන රජයේ සේවකයා එක්කෝ ඒ බිල ගෙවන්න ඕන.නැත්තන් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් අමාත්‍යාංශේ ඒ බිල ගෙවන්න ඕනේ..
    එහෙව් මනුස්සයා නිකන්ම සිංදුවේ වැඩේ කරලා දෙයි කියලා සමන්ත හිතන් ඉන්නවා නම් ඒවා හඳේ..

    ReplyDelete
  20. කඳු වල ව්‍යාපෘති කරන එක භයානකයි වගේම කඳු වල ඉන්න මිනිස්සුත් ටික ටික හෝ පහළට අරගෙන ඉස්සර වගේ කඳුකරයේ කොටසක් හෝ ජල පෝෂක කලාප වශයෙන් තියෙන්න අරින්න පුළුවන්නම් තමයි වඩාම හොඳ...
    ව්‍යාපෘති නතර කලත් මිනිස්සු පහළට ගෙන ඒම පහසු නැහැ...

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ලොකු පුතේ ඔබ ඔය කියන වැඩේ කරන්න ලොකු ජාතික වැඩ පිළිවෙලකට යන්න ඕන.. එකට අපි රට පිලිබදව හොද දැක්මක් තියෙන දේශපාලන නායකත්වයකින් යුත් කණඩායමක් රටේ නායකත්වයට පත් කරන්න ඕන. අපි දැන් රට බාරදීලා තියෙන්නේ බල්ලෝ මරල හරි සල්ලි හොයන මංකොල්ල කාර හොර තක්කඩි මුදලාලිලා ටිකකට උන්ට මේ කදු කරයේ මිලක් මිසක අගයක් නැහැ.
    අපි කදුකරය ගැන කතා කරමු
    කදුකරය බෙර ගන්න නම් පළමුව සියලු සංවර්ධන ව්‍යපෘති නතරකර ඒවායේ නිවැරදි පාරසරික බලපෑම් වාර්තාවක් රටේ ප්‍රගතිශීලි පරිසරය හා භූ ගෝලය පිළිබද බුධ්ධිමතුන්ගෙන් සැදුම් ලත් කමිටුවකින් සකස් කොට ඇගයීමට ලක් කලයුතුයි ඒ අනුව එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක තීරණය කල යුතුයි...
    දෙවනුව හෝ ඒ සමගම දල බෑවුම් වල සියලු කෘෂිකාර්මික හා ඉදිකිරීම් නවතා දැමිය යුතුයි.. ඒ සමගම ඒ ක්‍රියා මාර්ගයත් සමග ජීවිකාව හා වාසස්ථාන අහිමි වන ජනතාවට ඔවුන්ගේද අදහස් සැලකිල්ලට ගෙන ඔවුන් පෙර සිටියට වඩා උසස් ජිවන තත්වයක් ලබා දීමට වැඩ පිළිවෙලක් ගෙන ආයුතුයි..
    ඊළගට අනිත් වගාකරන බිම්වල පස සංරක්ෂණය කිරීමට හා දැනට වගා කොට හා අත්හරින ලද දල බැවුම් වල නැවත වනවගාකිරීමේ වැඩපිළිවෙලක් ඉහත කි ආකාරයේ බුද්දීමතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක නිර්දේශ මත ක්‍රියාත්මක කල යුතුයි..
    මෙවැනි දැක්මක් තිබ්බ පළමු දේශ පාලන නායකයෙක් උනේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාට ඔහු 1970 ගණන් වල දැන් ඇතිවන පාරිසරික උවදුරු ගැන එදා දැක්මක් ඇතිව ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති වලට ඇතුල් කළා මධ්‍යම කදුකරය සංරක්ෂණය කරන ආකාරය.. ඔහුගේ මග යන නුතන පරපුරේ අයෙක් තමා සමන්ත විද්‍යාරත්න මහතා ... ඉතින් ඔබට මධ්‍යම කදුකරය සුරකින්න ඕන නම් ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන එන්න උදවු කල යුතුමයි.. නැතිව මධ්‍යම කදුකරය ඇතුළු මුළු රටම සුරැකිය නොහැක ..

    ReplyDelete
    Replies
    1. ma priya mithra...oba pakshaya wenuwen minusun wenuwen karana kappa kereema mata nam hitha gannawath ba.

      Delete
  23. chamara weerasinghe wage kenek set kara gaththoth meka kara ganna puluwan wagema sinduwath janathawa atharata yanawa ..eyath kamathi wewi me wage sinduwak karanna... danna kenek innaw nam contact number ekak danna chamarage

    ReplyDelete