අඩවියේ හිතවතුන්

Wednesday, June 1, 2016

හැම තණකොළ පඳුරක් යටම කිරි ලීටර් දෙකක් නිදන්ගත වී ඇත.


මධ්‍යම කඳුකරයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ වාසය කරන මම මේ කඳුබිම්ද, ඇළ දොලවල් බොහොමයකද, පහස මගේ දෙපතුලට දැනෙන්න ඇවිදලා තියෙනවා. 
හපුතලේ, පුනාගල කන්ද, දඹේතැන්න කන්ද, හාලිඇළ ආසනයේ, ස්ප්‍රීන්වැලි කොටසේ මේමලේ හා පුදුමලේ ලයින් පේලි අස්සේ මම ඇවිදලා තියෙනවා. ඒ කියන්නෙ නමුණුකුල පාමුල පස්සර ආසනයේ මඩොල්සිම, රෝබේරිය කඳුබිම් ඉතා මනස්කාන්ත දසුන් මවමින් තිබෙන මේ හැම තැනකම ඇවිද්දම මට තේරුනා ඒවාගේ ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිත එතරම් මනස්කාන්ත නොවන බව. 
ඒ වගේම නුවරඑළිය ආසන්නයේ, ඌවපරණගම ආසනයේ ඈත කොනේ ලකීලෑන්ඩ් වත්ත, ගම්පහ වත්ත. මේ වතුවල වාසය කරන සහෝදර දමිල ජනතාව මම හමුවෙලා තියෙනවා. ඔවුන්ගෙ ජීවිත වලට මම බොහෝ කිට්ටුවෙලා ඇසුරු කරලා තියෙනවා. 
මීට වසර දෙසීයකට පෙරාතුව ලංකාවේ මේ මහ පොළවට ශ්‍රමය වගුරුවන්න ආපු ඒ දෙමළ මිනිස්සු. ඒ කාලේ සුද්දට රන් කහවනු සොයල දෙන්න මේ ඇත්තන්ගෙ ශ්‍රමය, දහඩිය, කඳුළු මේ කඳුවල දියකර හැරියා. ඒ මිනිස්සු අදත්, සුද්දො නැතත් මහ ධන කුවේර වතු සමාගම්වලට මිල මුදල් සොයා දෙන්න තමන්ගේ දහඩිය කඳුළු විතරක් නෙමෙයි තමන්ගෙ ජීවිතත් දිය කර හැරල තියෙනවා. 
පසුගිය දවස්වල ඔය හපුතලේ ආසනේ කන්දක් නාය ගියා. ඒ කියන්නේ 2014 අවුරුද්දෙ මීරියබැද්ද. ඒ නාය ගිය කන්දට යටවෙලා වතුකරේ ජනතාව හතලිහකට ආසන්නව මියදුනා, සිය ගානක් අනාත වුණා. දැන් වසර දෙකකට ආසන්නව ගෙවී තිබෙනවා. තවම ඔවුන්ට නිවාසයක් හදල දෙන්න බැරිවුණා. ඔවුන් තවමත් අනාථ කඳවුරුවල ජීවත් වෙනව. මේ නාය යන්නෙ කඳු නෙවෙයි. මේ නාය යන්නෙ අපේ රටේ මිනිසුන්ගේ ජීවිත. මේ තත්වය සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් නෑ. අපේ රටේ බොහොම දෙනෙකුට තවමත් උරුම වෙලා තියෙන්නෙ මේ වගේ ඉරණමක් තමයි.


මේ කතාව මට කියන්න මතක් වුනේ මීට අවුරුදු දෙක තුනකට පෙර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීම්ක් තිබුණා. ඒකට අපේ රටේ ඉහළ වගකිවයුතු දේශපාලන නායකයන්ද, නිලධාරීන්ද ගණනාවක් ආවා. ඒ රැස්වීම තිබුනේ ඌව පලාතේ සෞඛ්‍ය තත්වය ගැන කතා කරන්න. එතනට ආපු ප්‍රධාන දේශකයෙක් කිව්වා ලංකාවේ ගර්භනී මාතාවන්ගෙන් 42% ක් රක්ත හීනතාවයෙන් පෙලෙනවා කියලා. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 29%ක් මන්ද පෝෂණයෙන් පෙලෙනවා කියලා. ඒ දරුවන්ගෙන් 15% ක් දැඩි මන්ද පෝෂණයෙන් පෙලෙනව කිව්වා. මේ වැඩිහරියක් රක්තහීනතාවයෙන් හා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් ඉන්නෙ වතුකරයේ කියලා ඔහුගේ කතාවේදි කිව්වා.


මේ පුර්විකාව මම කිව්වෙ මේ හා බැඳුනු කතාවක් ඔබ සැමට කියන්න මම කල්පනා කරපු නිසා. මේ සියළු දේ මා අත්දුටු සත්‍ය කරුණු. මීට වසර කිහිපයකට පෙර මගේ මතකයේ හැටියට දෙදහස් හය වසරේ මට පැවරුණා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසනයේ ජනතාව දැනුවත් කිරිමේ  රැස්වීම් වටයකට යන්න. මට එදා පැවරුනේ නිල්දණ්ඩාහින්න කියන ප්‍රදේශයේ රැස්වීම් ගණනාවක් පවත්වන්න. උදේ ඉදන් රැස්වීම් පවත්වලා හවස් වෙනකොට මට රැස්විමකට යන්න සිදු වුණා ප්‍රධාන පාරෙන් ඇතුලේ තියෙන දුෂ්කර යැයි කියන ගම්මානයකට. මන්දාරම් වැටිලා, මීදුම් බාලා, සිහින් හිරි පොදක් වැටෙන වේලාවේ බයිසිකලේක නැගලා මාත්, එහේ සංවිධානේ සහෝදරයෙකුත් ඒ ගම්මානෙට යන්න පිටත් වුනා. නිල්දණ්ඩාහින්නේ උඩමාදුර කියන ගම්මානයට තමයි අපිට පළමුව යන්න පැවරුනේ. එතනිනුත් ඇතුලට තව යන්න තිබුනා. බයිසිකලේ යන්න බැරි කොටසේ වීරක්කොඩි අයියත් එක්ක පයින් කෙටි පාරක් දිගේ අපි කන්ද නඟින්න පටන් ගත්තා. වැස්ස නිසා බොහෝ කඳු සේදිලා ගිහින් තිබුණේ. පෑදිච්ච ගල් අතරින්, ගස් මුල් අතරින් අපි පැන ගෙන යන්න පටන් ගත්තා. තිබුණු එකම කුඩේ මට ඉහලන් යන්න සිද්ද වුණා. වීරක්කොඩි අයියා ඉටි කොළ පඩංගුවක් හිසේ ඉඳන් පහළට ඔතාගෙන මට ඉස්සරහින් යන්න පටන් ගත්තා.


රැස්විම පටන් ගන්න සෙනඟ එන්න පරක්කු වෙන නිසා රැස්වීම් භූමිය පසු කරලා අපි ටික දුරක් ගිහින් කඳු ගැට්ට නැඟලා පුංචි පැල්කොටේකට ඇතුල් වුණා. ඒ පැත්තේ මිනිස්සු දුගී දුප්පත්කමින් හොඳටම බැටකන මිනිස්සු. ඒ ගෙදරට වෙලා වීරක්කොඩි අයියයි මමයි ඒ ගෙදර ඇත්තොයි කතාකරකර ඉන්න කොට කන්ද පහළින් සද්දයක් ඇහෙනවා.


“වීරක්කොඩියෝ......., වීරක්කොඩියෝ...... උඹලගේ අර රැස්විමේ කතා කරන මහත්තය ඔතනට ආවයි? ඔතනට ආවා කියල ගම්මු කියනවා. ඉන්නවද බං ඒ මහත්තයා?“


කන්ද පහලින් කෙනෙකු සද්ද නඟා කතා කරනවා ඇහුනා. වීරක්කොඩි අයිය පැල්කොටෙන් එලියට ඇවිත්


“ලොකු බණ්ඩෙ මාමේ කන්ද නැඟලා වරෙං මහත්තය ඇවිල්ල ඉන්නෙ. මොකෝ බං උඹලැහැට මහත්තය හම්බ වෙන්න හිතුනේ?“


“රැස්වීමට මිනිස්සු එන්න තව වෙලාවක් යයි. අපේ මිනිස්සු වැඩ ඉවරපහවෙලානේ බං රැස්වීමට එන්නෙ. ඒකට තව පැයක් හමාරක් යන නිසා ඔය මහතැන් එක්ක මට ටිකක් කතාබහ කරන්න තියෙනවා. මං ආවට කමක් නැද්ද බං?“


“වරෙන් වරෙන් මාමෙ කතාකර කර ඉන්න පුළුවන්.“


වීරක්කොඩි අයියා කිව්වා. මමත් එබිකම් කරලා බැලුවා කව්ද මේ එන්නෙ කියලා. හැරමිටි ගහගෙන වයසක උන්දැ කෙනෙක් කමීස කඩමාල්ලකුත් ඇඳගෙන සාළුවකුත් කරට දාගෙන හිරිපොද වැස්සෙ කන්ද නැඟගෙන ඇවිත් පිල්කොටේට ගොඩවුණා. උන්දැ සෑහෙන්න තෙමිලා හිටියේ. මමං දිහා ගැඹුරු බැල්මකින් බලපු උන්දෑ


“හ්ම්... මේකද බන් ආපු මහත්තය අපේ ගමේ අයට කතා කොරන්ට?“


උන්දැ බුලත්විට කාලා දුඹුරු පැහැවුනු දත් ටික විදහාපාමින් හිනා වෙලා වීරක්කොඩි අයියගෙන් ඇහුවා. වීරක්කොඩි අයියා පිළිතුරු දෙන්නට පෙරාතුව මම


“ඔව් මුත්තේ මාමලගේ ගමේ කතා කරන්න ආවේ මම තමයි“


මම කිව්වා.


“වාඩි වෙයං මාමා“


කියලා ගෙදර අයිති අයියා උන්දැට ආරාධනා කලා. එහෙම කියපු ඔහු මුත්තතට වාඩි වෙන්න කොලොම්බුවක් ළං කරා. ඒ වෙනකොට මම හිටියෙ පුටුවක වාඩි වෙලා. උන්දැ කොලොම්බුවෙ වාඩිවෙන්න කලින් මම කිව්වා


“පිළට යං. පිලේ තියෙන  කොට්ට පිළේ අපි වාඩිවෙමු.”


මම ආරාධනා කලා. මාත් උන්දැත් එක්ක වාඩි වුණා.වීරක්කොඩි අයියත් මුත්තා ලඟින්ම වාඩි වුණා.


“අදනම් මහත්තයෝ මිනිස්සු එන කොට ටිකක් පමා වෙයි දැන් මේ හිරි පොද වැස්ස නිසා  මිනිස්සු හේන්වල ඉඳලා එන්නත් එපැයි. හැබැයි ගමේ ටිකක් අද නම් එක්කහු වෙයි. නේද වීරක්කොඩියෝ.....?“


මුත්තා වීරක්කොඩි අයියා කතාවට පළමුව පටලවාගන්න ප්‍රශ්ණයක් යොමුකලා.


“සමන්ත සහෝදරයා, මේ ඉන්නේ ලොකුබණ්ඩේ මාමා.“


වීරක්කොඩි අයියා මට ඔහු හඳුන්වා දුන්නා. වීරක්කොඩි සහෝදරයා කිව්වෙ මාමා කියලා. මම ඔහුගේ වයසට අනුව හිතලා ලොකු බණ්ඩේ මුත්තා කියලා කතා කළා.


“මහත්තයෝ මහත්තයනේ අද අපේ ගමේ කතා කොරන්න ආවේ. මහත්තයගෙන් මං මේ අහන්න ආවේ, මහත්තයලා වගේ වුන් අපේ ගමට ඇවිල්ලා කොච්චර නම් කතා කරලා තියෙනවද? ඡන්ද කාලෙට. අද මහත්තයට කියන්න ඕනි මහත්තයගේ කතාවෙ දි අපේ මේ ගම්බිම් වැඩිදියුණු කරන්නෙ කොහොමද කියලා? අපේ ගම්මුන්ට සෑහෙන්න ප්‍රශ්න තියෙනව. මහත්තයා, මුන්ට හරියට කන්ට බොන්ට නෑ, යන්න එන්න පාර තොටක් නෑ. බොන්න වතුර ඉතින් වැහි කාලෙට තිබුණට පායන කාලෙට ඇත්තෙත් නෑනේ. අපේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවක් කියලා මොකක්වත් ඇත්තෙත් නෑ. හේන් කුඹුරු කොටලම දැං කාලේ ජීවත් වෙන්නත් බෑ බං. ඒ හින්දා මහත්තයගෙ කතාවෙදි අද කියන්ට ඕනෑ අපේ ගම උඹලගේ කාලෙදි වැඩිදියුණු කරන්නේ කියලා.“


ලොකුබණ්ඩා මුත්තා උන්දා තම ගම ප්‍රදේශය වෙනුවෙන් බැරූරුම් ප්‍රශ්ණයක් යොමුකලා. එහෙම අහපු උන්දැ කතාව අතහැරියේ නෑ. උන්දැ මගෙන් අහනවා,


“හොඳයි මහත්තයො, මහත්තයා දැනුම් තේරුම් ඇති කෙනෙක් නොවැ. දැන් මහත්තය කියන්ටකො බලන්න අපේ මේ ගම මේ උඩමාඳුර, මේ නිල්දණ්ඩාහින්න, මේ වලපනේ පැත්තෙ අපේවුන්ගේ අතට මිල මුදලක් එන්න මේ පළාත දියුණු කොරන්ට මහත්තයලට මොකක්ද තියෙන වැඩපිළිවෙල? මහත්තයලා ඒ වෙනුවෙන් මොකක්ද කොරන්නෙ?“


මුන්දැට උත්තර දෙන්නෙ කොහොමද කියලා මං මුන්දැගෙ කතාව අතරතුර හිත හිතා හිටියෙ. කෙනෙකුට උත්තර දෙන්න පෙර ඔහු හිතන මතන විදිහ, එහුට තේරෙන බසින් පැහැදිලි කරන විදිහ, අපට තේරුනේ නැති වුනොත් ලොකු අවුලක් වෙන බව මම දැනං හිටියා.


“ලොකුබණ්ඩා මුත්තෙ, මුත්තට කියන්න පුළුවන් ද මේ පැතිවල ආර්ථිකේ වැඩි දියුණු කොරන්න මොනවද කරන්න පුළුවන්ය කියලා.“


මම උන්දෑ හිතනමතන විදිහ තේරුම් ගැනීමේ අරමුණින් උන්දැගෙන්ම ප්‍රශ්ණයක් ඇහුවා. ඒ වගේම උන්දෑ එන විදිහෙන්ම මට තේරුණා හිතේ සැලැස්මක් තියාගෙන තමයි මේ මගෙන් ප්‍රශ්ණයක් අහන්නේ කියලා. ඒ ගමන ලොකුබණ්ඩෙ මුත්තා මට කියනවා,


“පුතේ, උඹ කියපන් බලන්න අර ඈත පේන අපේ හෑගස්උල්ල කන්ද, ඔය කන්දෙ මොනවද උඹට පේන්න තියෙන්නේ?”


මම උන්දෑ පෙන්නපු කන්ද දිහාවට දෑස් යොමුකලා. ඈතින් කන්දක් පේනවා. ඒ කන්ද තනිකරම කොළපැහැ ගැන්විලා. මහගස්වලින් නෙවෙයි. මානා පඳුරු වැවිලා වගේ තමයි පේන්නෙ. ඒ අතරේ උන්දැ මට අනික් පැත්තට අත දික්කරලා අහනවා,


“ඈ මහත්තයා උඹ දන්නව ද අර ඈත පේන කන්ද, ඕකට කියන්නෙ යහලගමුව කන්ද කියලා. ඒ කන්දෙ මොනවද තියෙන්නෙ?”


“ලොකු බණ්ඩේ මුත්තෙ, ඒ කන්දෙ තියෙන්නෙත් අර කන්දෙ තියෙන ඒවමනේ. දෙකේම තියෙන්නෙ මට පේන විදිහට නම් මානං.”


මම කිව්වා    


“හහ් හහ් හහ් හහ්.........”


 උන්දෑ හිනාවෙන්න පටං ගත්තා


“තණකොළ තමයි. මානා තමයි. උඹ දන්වද ඔය මානා වල වටිනාකම?” 


“මුත්තම කියන්නකො.?”


මම ඔහුටම අවස්ථාව දුන්නා


“මහත්තයො ඔය තණකොළ හරි වටිනවා. ඔය හැම මානා පඳුරක් යටම  එක අවුරුද්දකට කිරි ලීටර දෙකක් තියෙනවා.”


 එතකොටම මේ ගෙදර අයිතිකාර අයියා අහනවා,


“ඈ බං ලොකුබණ්ඩා මාමා තණකොළ ගස් යට කොහෙන්ද බං කිරි?”


“හහ් හහ් හහ් හහ්............”


“තණකොළ ගස්යට  කොහෙන් ද බං කිරි? තණකොළ කන්ට ඕන. කෑවම තමයි කිරි එරෙන්නෙ“.


ලොකුබණ්ඩා මුත්තා අපූරුවට උත්තර බැන්දා


“කාට ද බං මාමේ කිරි එරෙන්නේ?”


ඒ ප්‍රශ්නෙත් ඇහුවේ ගෙදරම අයිතිකාරයාම තමයි. 


“හහ් හහ් හහ් හහ්............”


“ඒකවත් තේරෙන්නෙ නැද්ද බං? තණකොළ කවන්න ඕන හරක්ටනේ. වැස්සියන්ටනේ. එතකොටනෙ බං කිරි එරෙන්නේ.” 


ලොකුබණ්ඩා මුත්තා කිව්වා,




“මේ අපේ ගම් වැඩිදියුණු කරන්න මහත්තයෝ අමුතුවෙන් දේවල් ඕන නෑ. අපේ ගමේ උන්ට හොඳ කිරි හරක් ටිකක් ගෙනල්ල දෙන්ට. කිරි හරක් විතරක් ගෙනත් දීලා හරියන්නෑ. උන්ගේ තණ බුරුල්ලෙන් වැක්කෙරෙන කිරි ටික මිල මුදලට ගන්නට වැඩ පිළිවෙලකුත් හදන්ට. එතකොට අපේ ගම්වල ඉන්න උන්ට අත මිටට හොඳට මුදල් එනවා. මේ නිකන් තියෙන තණකොළ ඔය පායන කාලෙට කරකුට්ටන් උනාට පස්සෙ ගමේ කොල්ලො ගිනි තියනව. ගිනි ලාලා උන් සතුටු වෙනවා. සමහර උන් ගිනි ලාලා බැඳි අඹලා සත්තු දඩයම් කොරගන්නවා. ගිනි ලාලා මාසයක් එකහමාරක් යනකොට ලා තණකොළ වලිං ඔය කඳු වැහෙනවා. ඒ හින්දා මහත්තයො මේ ගම් හදන්න අමුතුවෙන් දේවල් ඕන නෑ. මේ ගම්වලම තියෙනවා ඕන තරම් සම්පත්. තණකොළ හරක්ට කැව්වනම්, ඒ හරක්ගෙන් කිරි ටික හොඳට ආවනම්, ඒ කිරි ටික විකුණ ගත්තානම්, මේ ගම් වැඩිදියුණු කරන්ට පුළුවන්. ඕව මහත්තයල කියන්ට......”


උන්දැ කියපු කතාව අහල මට බොහෝ දේවල් සිහියට ආවා.   අපේ සැළසුම්වල තිබෙන කාරනා උන්දැගෙ අත්දැකීම් හා දැනීම් හැටියට කිව්වේ. අපේ රටේ කිරි කර්මාන්තය අද මෙහෙම තිබුණට අතීතයේ මීට වඩා හොඳට තිබුණා. මාව මගේ ළමාවියේ අත්දැකීම්වලට ඇදිලා ගියා. මං පුංචි කාලේහයේ හතේ පංතිවල  ඉගෙන ගන්න කොට, අපේ මාමාගේ පාපැදියෙන්, මං පොල්ල යටින් කකුල දාලා බයිසිකලේ පදින කාලේ මට වගකීමක් පැවරුනා. ඒ අපේ මාමලාගේ ගෙදරට  ඒ කිව්වෙ චාලට් ටීචර්ලගෙ ගෙදර බෝඩිම් වෙලා හිටපු ඉස්කෝලේ මහත්වරුන්ට උදේට බොන්ට එළකිරි ගේන එක. හැමදාම උදේ මාමාගෙ බයිසිකලේ මට දෙනවා එළකිරි ගෙන්ට . ඉතින් කිලෝමීටර තුනක් විතර බයිසිකලේ පැදගෙන යන්න ඕනි එළකිරි ගේන්න. හෑපොලට. හෑපොල මනතුංග මුදලාලි කියලා මුදලාලි කෙනෙක් හිටියා. එහේ තමයි එළකිරි තිබුනෙ. සුමනා අක්කා එළකිරි දොවලා , බෝතල් දෙකකට දාලා, හොඳට ගෝනි නුලකින් බැඳලා බයිසිකලේ  හැඬල් එකේ එල්ලලා දෙනවා. බෝතල් දෙක ටින්ටින් ගාලා වැදිලා පුපුරලා යන්න පුළුවන් නිසා රෙදි පාන්කඩයක් මැදින් එල්ලනවා. මං බයිසිකලේ ගිහින් හැමදාම නැන්දලාගේ ගෙදරට කිරි බෝතල් දෙකක් ගෙනිහින් දුන්නා. ඒ කාලේ මට තිබුනේ බයිසිකලය පදින ආසාව විතරයි. අතීතයේ අපේ රටේ හැම ගෙදරකම වාගේ  වස්සෙක් වැස්සියෙක් හිටියා. වස්සාගෙන් කුඹුරේ වැඩ ගත්තා. වැස්සිගෙන් කිරි ටික ගත්තා. ඒක නිසා මන්ද පෝෂණය, රක්තහීනතාවය  තුරන් කරගන්න ක්‍රම බොහෝ ගැමියන්ට තිබුණා. ඒත් කාලයක් යන කොට අපේ ගම්වලට විටිං විට නියං ආවා. ඒ කාලෙට අපේ අම්මලා


“පුතේ මං යනවා සහනාධාරෙ කොටන්ට. ගෙදරට වෙලා හිටපල්ලා“.


එහෙම කියලා අම්මා සහනාධාරෙ කොටන්න ගියා. අම්ම විතරක් නෙමෙයි ගමේ ගෑණු පිරිමි ගොඩක් අය සහනාධාර වැඩට ගියා. කන්න බොන්න හිඟවුණාම ඔය සහනාධාර කෙටිල්ල ඒ කාලේ තිබුණා. රජය මගින් සහනාධාර දෙන්න පෙර ජනතාවගෙන් වැඩ ගත්තා. පාරවල්, ඇළවේලි, කපන කොටන එක, සුද්ද කිරීම මිනිස්සුන්ට පැවරුණා. ඉතින් එහෙම සහනාධාර වැඩට ගියහම සීනි ටිකක්, කරෝල ටිකක්, හාල් ටිකක් හම්බ වුණා. ඊට පස්සේ ඔය කිරි ටින්, ලොකු ඇන්කර් ටින් අපේ ගෙවල්වලට සහානාධාර ක්‍රමයට ආවා. ක්‍රම ක්‍රමයෙන් අපේ මිනිස්සු කිරිපිටිවලට හුරු වුණා. ගෙදර කිරි වැස්සි නැති වුණා. ඔවුන්  කිරිපිටි වලට හුරු වුණා. ඉතිහාසය පරික්ෂා කරලා බැලුවම අපේ රටට අරක්කු හුරු කරේ, දුම්වැටි හුරු කරේ එහෙම තමයි. සල්ලි අයකරන්නේ නැතුව නිකන් බොන්න දුන්නා, රහ බලන්න දුන්නා, ඒවා මිනිස්සු තමන්ට ලැබෙන ආධාර ලෙස සැලකුවා. ඒවා දුන්නේ ආදරේට කියලා හිතුවා. පස්සෙ ඒවට මිනිස්සු හුරු වුණා. ගෙදර හිටපු කිරි හරකා නැතිවුනා. කඩේට කිරි ටින් එක, කිරි පැකට් එක, එන්න පටන් ගත්තා. ඒවා අපි සල්ලි දීලා ගේන්නත් පුරුදු වුනා. ඒ විතරක් නෙවෙයි දැං සමහර ගම්මු වැස්සිගෙන් ලැබෙන කිරිටික විකුණලා ලැබෙන මුදලින් කඩෙං කිරි පැකට් ගෙනැල්ලා බොන තරමට වැඩේ දුරදිග ගිහිල්ලා. අපේ කිරි කර්මාන්තය කිරි සංස්කෘතිය ආන්න ඒ විදිහට නැතිවෙලා ගියා. එහෙම රටක් මේක. ඇත්තම ගත්තොත් අපේ රට සංවර්ධනය කරන්න ලොකුබණ්ඩා මුත්තා කිව්වා වගෙ කිරි කර්මාන්තය ඒ කියන්නේ පශු සම්පත් කර්මාන්තය සෑහෙන්න දියුණු කරන්න පුළුවන්. අද වනවිට රටට අවශ්‍ය කිරි ප්‍රමාණය සීයට අසූ පහක් අපි පිටරටින් ගෙන්න ගන්නවා. ඉතින් එහෙම බලනකොට අපේ රටේ වැඩිහිටි පරම්පරාවේ බොහෝ අයට හොඳට යමක් තේරෙනවා. ලොකු බණ්ඩා මුත්තා කියන කතා වලින් හොඳ මෝරච්ච මිනිහෙක් බව මට තේරුණා. ඒ අදහස් අපේ රට ගොඩනගන්න එකතුකර නොගන්න එක අපරාධයක් කියලයි අපිට හිතෙන්නෙ. ඒ එක පැත්තක කතාවක්.


ලෝකය ගත්තම අපේ රට කිරි නිශ්පාදනයට හොඳම රටක්. මොකද ලෝකයේ කිරි නිෂ්පාදනය ගත්තම ඒකට නම ගිය රටවල් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වගේ රටවල්. හැබැයි ඒ රටවල අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසේම කිරි දොවන්නෙ නෑ. සීතල කාලෙට, හිම වැටෙන කාලයට කිරි ගැනිල්ල නතර කරනවා. සමහර රටවල අවුරුද්දෙ මාස හයයි කිරි කර්මාන්තේ කරන්නෙ. අනික් කාලයේ දි කිරි දොවන්නෙ නෑ. දේශගුණ තත්වය ඒකට සුදුසු නෑ. නමුත් ලංකාව ගත්තම එහෙම නෙමෙයි. කිරි කර්මාන්තයට දවස් තුන්සිය හැටපහම සුදුසුයි. ඒ නිසා අපේ ගම්බිම්වල බොහෝම සරුසාර විදිහට මේ කිරි කර්මාන්තේ තිබුනා. අතීතයේ අපේ රටට පෙර දිග ධන්‍යාගාරය කිව්වා. වැව් තිස්දාහක් තිබුනා කියනවා. අපේ මේ ඌවේ එහා පැත්තේ වෙල් ලක්ෂයක් තිබුනා කියනවා. ඒව සේරම මේ වැව් අමුනු වලින් අස්වද්දපු කුඹුරු. ඔක්කොම අස්වද්දන්න දැන් වගේ ටැක්ටර් තිබුනේ නෑ. භූතයා තිබුනෙ නෑ. සුනාමි තිබුනෙ නෑ. ඒ කාලේ ගොවිතැනට භාවිතා කරපු එකම මැෂින් එක තමයි එළ හරකා, මී හරකා. අපේ ගමේ හිටපු උක්කු බණ්ඩෙ මාමා එක දවසක් දෙයියන්නෙ වෙල බෝ ගහ යට කමතේදී මගෙන් අහපු ප්‍රශ්ණයක් මට මතක් වෙනවා,


“උඹ දන්නවද හරකාගෙ වටිනාකමයි ට්‍රැක්ටරයේ වටිනාකමයි?”


මං හයේ හතේ වගේ ඉන්න කාලෙ තමා උන්දැ එහෙම ඇහුවේ. මං ඒකට උත්තර දුන්නා.


“හරකට වැඩිය වේගෙන් ට්‍රැක්ටරය  යනව. ඒ නිසා ගොවිතැනට වටින්නේ ට්‍රැක්ටරේ”


උක්කු බණ්ඩා මාමා  බක බක ගාලා මගෙන් නැවත අහනවා,


“ඒ වුනාට පුතේ උඹ කියන ට්‍රැක්ටරයට පුළුවනෑ ගොම පස් දාන්න, උන්ට ගොම දාන්න බැහැනෙ? එහෙම උනොත් උඹලෑ ගෙවල්වලයි, අපේ ගෙවල්වලයි, මාස දෙකෙන් තුනෙං බිම දාන්නෙ මොනවද බං?”


 මම කිව්වා “එකත් ඇත්ත තමයි “ 


ආයෙත් මාමා අහනවා.


“උඹ කියන ට්‍රැක්ටරයට පුළුවන්ද බං කිරි දෙන්න, උඹ කිරි දොවනවද ට්‍රැක්ටරයෙන්? එත් බං අපේ එළවැස්සි කිරි දෙනවනෙ ඇති පදමට.”


 “එකත් ඇත්ත තමයි මාමේ”


මම කිව්වා.


ගවයා කියන්නෙ සම්පතක්. ඒ හන්දා කිරි විතරක් නෙමේ. අද කිරිවලට වඩා ගොමත් වටිනවා. ලෝකය අද කාබනික කෘෂිකර්මාන්තයට දෙන තැන වැඩියි. කාබනික කෘෂිකර්මාන්තයක් අපේ රටේ ඉතිහාසයේ තිබුනා. ඒ හින්ද කිරිවලට ගොඩක් දේ කරන්න පුළුවන්. කිරි විතරක් නෙමේ මී කිරි, එළඟි තෙල් ආදි බොහෝ දේ අපේ රටේ කිරි කර්මාන්තයත් එක්ක බැඳි පවතිනවා. අපේ ගම්වල කිරි හරක් තුන්හතර දෙනෙක් හැම ගෙදරකම වගේ හිටියා. වස්සා කුඹුරු වැඩටත්, වැස්සි කිරි දොවන්නත් ගත්තා. ඉතින් ගව ගාලකුත් තිබුනා. අපේ ගම්මාන ගත්තම ගම්බාරෙල හිටියා. ගම්බාරෙල කිව්වම හරක් සීය, දෙසීය, තුන්සීයක් අයිති මිනිස්සු. ඒ කාලේ ඒ අය ගම්වල හිටපු ප්‍රධානියො වගේ. සෑහෙන්න වත්කම් තිබුනා. ඉතින් ගම්බාරෙලාට මහ ගව පට්ටි තිබුණා. අක්කර බාගේ හමාරෙ පට්ටි. උදේට හරක් ටික ලන්දට, කන්දට දාලා තණකොළ ටික කවාගෙන, වතුර ටික  පොවාගෙන පට්ටියට ගේනවා. ලංකාවේ වසර පුරාම හොඳ දේශගුණයක් තියෙනවා. කිරි කර්මාන්තය හොඳින් කරන්න පුළුවන්. නමුත් අපේ රටේ පාලකයො ඒවා තේරුම් අරන් නෑ කියලා අපට පේනවා. කිරි  කර්මාන්තයත්  අනෙක් හැම කර්මාන්තයක් වගේම බිඳවැටිලා තියෙන්නේ. මේ කාරණා මම මුත්තාටත් එතන ඉන්න අනිත් අයටත් පැහැදිලි කලා.


 හරි උඹල කියන විදිහට උඹලත් මගේ අදහස පිළිගන්නවා නොවැ, දැන් මොකද කියන්නෙ මගේ යෝජනාවට ? අපේ ගම් හදන්න බැරිද,  මේ තණකොළ හරක්ට කවලා කිරි හරක් කර්මාන්තේ දියුණු කරල?”


 ලොකු බණ්ඩා මුත්තා දෑස් දල්වාගෙන අවසන් කඩයිම් ප්‍රශ්ණය මට යොමුකළා.


“ලොකු බණ්ඩෙ මුත්තේ, මුත්තා කියන කාරණාව හරි. මේ ගම විතරක් නෙමේ මේ රටම දියුණු කරන්න පුළුවන් මේ කර්මාන්තේ දියුණු කරොත්. ලෝකෙ හතර දිග්බාගෙ ගිහිල්ලා ලෝක බැංකුවෙං අර බැංකුවෙං මේ බැංකුවෙං, චීනෙං, ඇමරිකාවෙං හිඟා කාගෙන ණය දොවාගෙන එන්න ඕන නෑ. තණකොළ ටිකක් හරක්ට කවලා කිරි දොවා ගත්තොත් රටට කිරි උතුරන්න පාර කපාගන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණයක් තියෙනවා.”


“දියුණු කොරන්න පුළුවන් නම් ඇයි බන් දියුණු නොකරන්නෙ“?


“මුත්තෙ, ප්‍රශ්නෙ මේකනේ හරක්ට ‍දෙන්න තරම් තණකොළ මේ රටේ ඉතුරු වෙන්නෙ නෑනේ.”


“ඒ කිව්වේ පුතේ මේ කඳුබිම්වල, තලාවල තියෙන තණකොළ මේ කරුමාන්තෙට මදිද බං?”


“ලොකු බණ්ඩා මුත්තේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර හරක්ටයි, පළාත් සභාවල ඉන්න සමහර හරක්ටයි තව තැන්වල ඉන්න හරක්ටයි කන්න දුන්නම  හරක්ට කන්න තණකොළ ඉතුරු වෙන්නෙ නෑ. එතකොට කොහොමද මේ රටේ කිරි කර්මාන්තය දියුණු කරන්නෙ?“


“හහ් හහ් හහ් හහ්.......................”


උන්දැ බුලත්විට කාපු දත්ටික් විලිස්සලා හිනා වෙලා මට කියනවා


“උඹ කියන කතාවත් හරි තමයි බං. මේ රටේ ගොඩක් අය මේවා කන නිසා හරක්ට කන්න දෙන්න තණකොළයක් ඉතුරු වෙන්නෙ නෑ. කවදා මේවා තේරුම් ගනීද මන්දා..... එහෙම නං උඹ රැස්වීමට වරෙන්. වැස්ස තුරල් කරා. දැන් ගම්මුත් එන වෙලාව හරි. මං හෙමිහිට බහින්නම් . උඹ නම් ඇඟේ පතේ හයිය තියෙන එකා. ඉක්මනින් අඩිය තියන නිසා ඉක්මනට බැහැල එයි. මට රැස්වීම තියෙන තැනට සෑහෙන වෙලාවක් යනවා බං යන්න. ඒ නිසා  මං යනවා...., වීරක්කොඩියෝ..., මහත්තයත් එක්ක උඹ වරෙන්” 



මුත්තා යන්න ගියා.   

91 comments:

  1. කිරි කර්මාන්තේ වැටුණේ දේශපාලකයෝ තණකොළ කන්න ගත්ත එකෙන් තමයි.. කිරි කර්මාන්තේ විතරක් නොවෙයි ලංකාවම වැටුන එකත් එක්ක..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි

      Delete
    2. තන කොළ විතරක් නොවේ කන්න පුළුවන් හැම දෙයක්ම කාලා කටු තමා ජනතාවට දෙන්නේ.

      Delete
    3. බත් කෑ යුතු උන්ට තණ කොළ කන්ට දීම වරදකි. තණ කොළ කෑ යුතු උන්ට ඒ නිදහස ලබානොදීමද වරදකි. ඔබ කීවා හරි. රටම අගාධයකට ගමන් කරමින් තිබේ. තේරෙන සැම එය වැළක්වීමට හා රට නිවරදී තැනකට ගැනීමට වෙහෙස විය යුතුය. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  2. බහු ජාතික සමාගම් සහ ඩුවොපොලි ගැනුම්කරුවන් නිසා, ඕස්ටේ‍ර්ලියාවේ කිරි ගොවියන් දිවි නසා ගන්නා තත්වයට පැමිණ ඇත!

    http://tenplay.com.au/channel-ten/the-project/extra/season-7/milked-dry

    ReplyDelete
    Replies
    1. To access Tenplay, you must reside within Australia.

      Delete
    2. ඒ වීඩියෝව යුටියුබ් එකේ නෑ.
      මේ වාර්තාව කියවන්න.

      Delete
    3. මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකත් කියවලා බලන්න. කිරි සහ කැකිරි.කිරි සහ කැකිරි.

      Delete
  3. පළමු කිරි ගොවි ගම්මානය පටන් ගත්තේ අපේ ගමෙන්.ලංකාව පුරාම පෝස්ටර් අලවලා තිබුනා .කොළඹදී පොස්ටර් එකේ ගමේ නම දැක්කම පොඩි ආඩම්බරයකුත් ඇති වුනා .ඒ වෙනුවෙන්ම එදා නිවාඩුවක් දාලා ගමට ගියා.පටන් ගත්තා විතරයි .අද වෙනකොට කිරි ගවයෙක් පේන්න වත් නැ.අපි වාගේ බත් කන හරක් ටිකක් විතරයි දැන් ඉන්නේ ..

    හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්
    මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්

    වැඩේ අමාරුත් නැතේ
    තෑගි ටිකත් අපි අතේ
    රත්තරනින් එවන්නේ
    හිරු දෙවියොයි කියන්නේ

    සාදු සාදු කියල්ලා
    ප්‍රීති ඝෝෂ කරල්ලා
    හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
    කන්ද උඩින් වරෙල්ලා
    හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
    කන්ද යටින් වරෙල්ලා
    හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
    හරක් හොරා හොයල්ලා
    ලෝකෙ වටේ ගොහිල්ලා
    හරක් හොරා හොයල්ලා
    හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
    හරක් හොරා හොයල්ලා....

    වනන්තරේ සොයාපියෝ
    ගල් අරඹේ සොයාපියෝ
    මරු කතරේ සොයාපියෝ
    මිනිස් වාසෙ සොයාපියෝ
    කඳු මුදුනේ ගං ඉවුරේ
    වනන්තරේ සොයාපියෝ
    හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
    අපිට දෙවියො බලාපියෝ....

    රන් අඹරණ පැළඳගත්ත
    මහ පොළොවේ රන් වපුරන
    අපිට දෙවියො බලාපියෝ
    හරක් හොරා හොයාගන්න
    සියලු දෙවියො පිහිටවෙයෝ....

    නා‍ට්‍ය‍ය‍ - බෙ‍ර‍ හ‍ඬ‍

    ReplyDelete
    Replies
    1. 1. පළමු කිරි ගොවි ගම්මානය පටන් ගත්තේ අපේ ගමෙන්.
      2. ඒ වෙනුවෙන්ම එදා නිවාඩුවක් දාලා ගමට ගියා.

      පැහැදිලියි!

      ;-)

      Delete
    2. @SA, ඇයි? කිරිබොන්න අවශ්‍ය නැති කෙනෙක්ද?

      Delete
    3. //1. පළමු කිරි ගොවි ගම්මානය පටන් ගත්තේ අපේ ගමෙන්.
      2. ඒ වෙනුවෙන්ම එදා නිවාඩුවක් දාලා ගමට ගියා.//
      ගමේ හොඳ වැඩක් කෙරෙනවට කැමති ගමට රටට ආදරේ මිනිස්සුනේ එහෙම යන්නේ...

      Delete
    4. 2004 සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා වුනේ අනුර දිසානායක සහෝදරයා. ඔහුට පශු සම්පත් විෂයත් භාර වුණා. ඔහුට අමාත්‍යංශය කරන්න වුණේ මාස 14 වගේ සුළු කාලයක්. ඔහු භාර ගන්නකොට මිල්කෝ අායතනය රු. මිලියන 180 වක පමණ ණය වෙලා හිටියේ. නමුත් ඔහු අමාත්‍යංශය නැවත භාර දීලා එනකොට තිබුණු ණය ඔක්කොම ගෙවලා රුපියල් මිලියන 500ක් ඉතිරි කරලා අාපු බව ඊයේ දිනයේදි (02) මට දුරකථනයෙන් කතා කරපු නුවර ඉන්න පශු වෛද්‍ය වරයෙක් වන සේනාධීර සහෝදරයා මතක් කරලා දුන්නා. අනුර දිසානායක සහෝදරයා අමාත්‍යවරයාව ඉන්නකොට සැලැස්මක් හැදුවා අවුරුදු 01ක් අවසන් වන විට රටේ කිරි අවශ්‍යතාවයෙන් 20%ක් රටේම නිපදවා ගන්නත් එය අවුරුදු 5ක් වන විට 50% දක්වා ගෙන එන්නත්. ඒ අනුව තමයි "දැයේ කිරි සුවඳ කිරි ගොවි ගම්මාන 500 ව්‍යාපෘතිය" නමින් කිරි ගොවියන් සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එහි පළමු ගම්මානය වැලිමඩ දික්කාපිටියෙන් ආරම්භ කළේ. කිරි ගම්මාන ව්‍යාපෘතියත් සමඟ රටේ ආහාර අවශ්‍යතාවයත්, රටේ රැකි රක්ෂා ප්‍රශ්නයට සැලකිය යුතු පිළිතුරකුත් ලබාගන්න බලාපොරොත්තු උනා. අනුර සහෝදරයා අමාත්‍යංශයෙන් ඉවත්වීමත් සමඟ එම වැඩ පිළිවෙළ අත්හැර දැම්මා. ඔය අත්හැර දැමීම් වලට බහුජාතික සමාගම් කෝටි ප්‍රකෝටි ගණනින් අත් හැර දැමීමට උදව් කරන අයට ගෙවන බව දන්වන්න ඕන. කවදා හෝ නැවත රට කිරි වලින් සශ්‍රීක කරන්න ඕන. එදාටත් ඔබ ශක්තිය රැගෙන එන්න. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  4. මට මතකයි අපි පොඩි කාලෙ අපේ ගෙදර හරක් 17ක් විතර හිටියා. එක දවසක් මං ගෙදර ඉන්න කාලේ. පොඩි හරක් පැටියෙක් හොරකං කරගෙන ගිහින් මරාගෙන කාල තිබුනා. ඊට පස්සේ තාත්තා මුලු හරක් පට්ටියම වෙන මාමා කෙනෙකුට දීල තිබුනා. ඒ කාලේ හැමදාම උදේට කිරි බොනවා. දැන්නම් වැරදිලාවත් කිරිපිටි බොන්නේ නෑ. හැබැයි එලකිරි කොහෙදි හම්බුනත් බොනවා.

    අපේ සම්පත් විනාස කරලා දැන් හරක් වගේ තණකොල කකා ඉන්නවා. හරක් කන්න නැතුව පොලිතින් කකා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  5. කිරි විතරක් නෙවෙයි.. ගොඩක් දේශීය දේවලට උනේ මේක තමයි.. ඉස්සෙල්ල නිකම් දීලා පුරුදු කරගන්නවා.. ඊට පස්සේ ඒක නතර කරලා ඒවට මිලක් නියම කරනවා..

    ReplyDelete
    Replies
    1. හොද දේ පුරුදු කිරීම ඉතා අපහසුය. නරක දේ ඉතා වේගයෙන් බෝ වෙනවා. හොද මිනිසුන්ගේ වගකීම තමයි නරකට එරෙහිව අරගල කර පරාද කිරීම. හොද දේ බෝ කිරීමට දායක වීමත්.අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  6. ගම් දියුණු කරන්න ඕන කොහොමද කියල ඔය සීත කාමර වල ඉඳල ප්ලෑන් හදන කට්ටියට වඩා ගමේ ඉන්න වැඩැහිටියන්ට දැනුම තියෙනව.
    ලංකාව එළකිරි වලින් ස්වයං පෝෂිත උනොත් තනකොළ කන කට්ටියට එන කොමිස් එකට මොකද වෙන්නෙ. DCD, මෙලමයින් නෙමෙයි ග්‍රැමෙක්සෝන් තිබුණත් ඔය යසට පිටිකිරි ටික ලංකාවට එන්නෙ ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. ජන සහභාගිත්වයෙන් රටක් සංවර්ධනය වෙන්න ඕන. ඔවුන්ගේ අදහස් විතරක් නෙවෙයි දහදිය මුසු රටට භක්තිමත් ශ්‍රමයත් දායක කරගන්න ඕන. එතකොට අපේකම දැනෙනවා. එහෙම උපදින අස්වැන්නට බෝ දේ කරන්න පුළුවන්. මොනා වුනත් එකක් අපි තේරුම් ගන්න ඕන. පෙර කියපු ශක්තිය අපේ මිනිසුන්ගේ යටවෙලා තියනවා. ඒක මතුකරගන්න ක්‍රමයක් පෑදුන දාට රටට වටින මුතු මැණික් ලැබුනා හා සමාන වෙනවා. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  7. මල මසුරන් ලියවිල්ල සහෝ... උඹ ඇතුලේ ඉන්න සුන්දර මනුස්සයා අපූරුවට අකුරු වල ඉන්නවා... මම මේක කියෙව්වේ උඹ කතා කරන විදියට.. එතකොට තවත් රහයි... එතකොට අර රෑ ඉර මැදියම පොරෝග්‍රෑම් එක වගේ ලස්සනයි...

    හැබයි පුතෝ උඹලයි නාමල් කියන එකා නේද අමුඩ ගහපු ගොයියොත් අරගෙන රට පුරාම යන්නේ කාබනික එපාය රසායනික එකම දියන් කියලා....

    හරක් උන්නට වැස්සියෝ නැති නිසා අර කඳු දෙක එහෙමම ඇති තාමත්...

    ReplyDelete
    Replies
    1. කාබනික ගොවිතැනට එකපාර යන්න බැහැ.එකට සුදුසු පසුබිම හදාගන්නෝනි.රසායනික පොහොරින් මත් වෙච්ච මේ පොළොවෙ සූර් අරින්න කාලයක් යනවා.එත් එතකල් ගොවියට ගොවිකම අත්තරින්න බෑ.දෙන පොහොරෙත් නැතිකරල දාන්නෙ පොලොවට ආදරේට නෙවෙයිනෙ ආණ්ඩුව.

      Delete
    2. //මම මේක කියෙව්වේ උඹ කතා කරන විදියට.. එතකොට තවත් රහයි// +++++++++++++++++++++++++++

      Delete
    3. රෑ ඉර මැදියම නොව රෑ ඉර පාන ලෙස වෙනස් විය යුතුය...

      Delete
    4. මාතේ මම බැලුවා අලුත් වැඩ සටහන් පටන් අරන් කියලා.මට මතක් වෙන්නේ උඹ බන්දුල නානාට රෑ ඉර පාන ගැන කියපු වචන ටික ....

      Delete
    5. රෑ ඉර පාන මම ඇබ්බැහි වෙලා අහපු කාලයක් තිබ්බා මාතේ..
      බන්දුල නානයක්කාරවසම් ඉංජෙක්, බැංකුව ජොබක් කරන ගමන් නිවේදනය කරපු සාහිත්‍ය රස, ගීත රස මවන මනුස්සයෙක්.

      ඒ සිංහල, බංදු කතා කරන විදිහ, මේ ලියැවිල්ල, සහ සන්නාගේ අම්මා පොතේ ලියැවිල්ල. එකම ආරක කියල මගෙ හිත කියනව බං.

      උබෙ කමෙන්ට් එක දැකල නැවතුනේ. මේ පෝස්ට් එක ගැන කමෙන්ට් එක පහලින් දාන්නම් ;)

      පලි - සිංහල බ්ලොග්වලට මෙහෙම පුද්ගලයෙක් හැරුණු එක, බැලුව එක සතුටුයි බං. අවංකවම !

      Delete
    6. @ සිංදු ඇනෝ...

      මට සතුටු බන්දුලට ඒක මතක තියෙන එක ගැන.... ගිය සැරේ නෙළුම් යාය සම්මාන වෙලාවේ ඒ බව කිව්වා...

      Delete
    7. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.ඔබට ගැළුවක් වූ තැන නිරාකරණය කරගැනීමට නාමල් කරුණාරත්න සහෝදරයාට පහත සම්බන්ධතාවය ඔස්සේ ගොස් සවන් දෙන්න.
      https://www.youtube.com/watch?v=9ryNjTmN3w4

      Delete
  8. මාර්කටින් ජිමික් හා/හෝ කුමණ්ත්‍රන පමණක් නෙමෙයි එලකිරි සීතලයි සෙම් සහිතයි කියන ආච්චිලගෙ ගොඩවෙදකම් කතාවත් ප්‍රශ්ණයක්. කොයිතරම් වෙදකම හා විද්‍යාව ප්‍රගුණකරල තියනවද කියනවනම් ආනයන කල පිටිකිරි එක් එක් ජාතිවල සෙම් සහිත බවේ වෙනස්කමුත් කියනවා අපේ අය !

    ReplyDelete
    Replies
    1. ඇන්කර් සෙමට අගුණයි....ලක්ස්ප්‍රේ පෙමට අගුණයි....

      පිස්සු කුරුවල්..හොද්ද කරවල් කිව්වලු.

      Delete
    2. පාලකයන්ට ගුණයිනම් ජනතාවට අගුණයි. ජනතාවට ගුණයිනම් පාලකයන්ට අගුණයි. අද තියන ක්‍රමය ඒකයි. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  9. එකෙම්ම වටිනා කතාවක්..

    //හැබයි පුතෝ උඹලයි නාමල් කියන එකා නේද අමුඩ ගහපු ගොයියොත් අරගෙන රට පුරාම යන්නේ කාබනික එපාය රසායනික එකම දියන් කියලා.//

    මෙන්න මේ දේ ගැන කරන්න දෙයක් නැතුව ඇති ඒත් හරි වැරැද්ද හෘද සාක්ෂි දන්නවා ඇතිනේ..

    ReplyDelete
    Replies
    1. එල කතාව.තවත් ගොඩක් දේවල් තියෙනවා කියනවා නම්.විවේචන ඉවසන්න පුළුවන් කියලා හිතනවා.

      Delete
    2. Maathalan - Priyantha Hewage ට දුන්න උත්තරය උඩින් සටහන් වෙලා තියනවා.එතනින් පිළිතුරක් සොයා ගන්න. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  10. ඔබගේ මුවින්ම මේ කතාව මින්පෙර අසා ඇතිනිසා ඒ තාලෙටම කියෙව්වා.රට ගැන ශෝකය මිශ්‍රිත කලකිරීමෙන් එදා දැනුනු ඇඟ හිරිවට්ටපු වේදනාව අදත් දැනුන.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  11. මෑත කාලේදී මිනිස්සු හුරු වෙලා හිටියා දියර කිරි පානයට හැඳි වල හදලා තිබුණු NLDB කඩ නිසා.. ආයේ ඒ වගේ එව්වා අළු ගසා දාල එනවනම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්තනය හොදයි. මේ පවතින ක්‍රමය මිනිසුන්ගේ සුභ සිහිනවලට කුළුගෙඩියෙන් පහර දීලා. පාලකයන්ගේ මන්දිර තනන බව තේරුම් ගනිමු. අපි කවුරුත් අළු ගසාදාල නැගිටලා එමු. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  12. ඇත්තටම කිරි විකිණීමේ ඉක්මන් ක්‍රමයක් (පාන්දර හය වෙනකොට විකුණලා ඉවර වෙන) තියෙනවනං මුළු බදුල්ල දිස්ත්‍රික්කෙම තියෙන කිරි ටික බදුල්ල, බණ්ඩාරවෙල, මහියංගන ටවුං තුනටම සුරුස් ගාලා දෙන්න පුළුවන. මදි වෙන්නත් පුළුවන. මේකට පොඩි සමිතියක් පිහිටවලා ගත්තනං හරි. ඔය වගේ කිරි ගම්මානයකිං පාන්දර පහ විතර වෙනකොට කිරි එකතු කරගෙන ඇලමේනියං කිරි බාජනවල දාගෙන බදුල්ල ටවුමට ගේන්න පොඩි මහින්ද්‍රා ලොරියක් හොඳටම ඇති. එතනිං එහාට බෙදා හැරීම බයිසිකල් තියෙන අයට පාට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න පුලුවං. පාං බෙදනව වගේ තමයි. මට හිතෙන විදිහට ඒ තරම් ලොකු වියදමක් යන්නෙ නෑ මේ වගේ වැඩක් පටං ගන්න. අද උදේ වරුවෙ ගේන කිරි වලට හෙට උදේට සල්ලි දුන්නම හරිනෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ බණ්ඩාරවෙල මධ්‍යස්ථානය වුණානම් සෑහෙන්න රට පුරා යවන්න පුළුවන්.

      Delete
    2. යෝජනාව ඉතා අගෙයි. බහු ජාතික සමාගම් වලට බිලිවුණු දේශපාලනයක් තියනතාක් ඔවට රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වෙන්න එපා.රජයෙන් අනුග්‍රහයක් දුන්නත් පොඩි කාලයක් ඇතුලත වට්ටලා මේවා අපිට කරන්න බැරි බව ඔවුන් ජනතාවට ඒත්තු ගන්වන්න උත්සහ කරනවා. කිරි කිරි රස උනත් බොහෝ ජනතාව මේ පාලන ක්‍රමය තිත්ත රස බවත් මෙය වසක් බවත් හොද හැටිම තේරුම් ගෙන නෑ. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
    3. අපේ ගමේ පොඩියට පටන් ගත් කිරිගොවි වැඩ පිළිවෙලක් (2007-2008) තවම ඇදී ඇදී යනවා . තවමත් හරක් 7-8 දෙනෙක් ඉන්නවා මන් හිතන්නේ ඔය නිව් සිලන්ඩ් වර්ගයේ... ඒ වැඩේ කල හැටි අලුත් බ්ලොග් පොස්ට් එකකින් දෙන්නම්...

      Delete
  13. ශ්‍රන්ගයාගේ මේ ක්‍රමේට මමත් කැමතියි . කිරි අය්යලා කිරිමල්ලිලා කිරි මාමලා බදුල්ලේ හැමතැනම ඉඳියි එහෙම වුනානම් ...

    ReplyDelete
  14. අපි කොහොමත් ලග තියෙන සම්පත්වලින් ප්‍රයෝජන ගන්නවාට වඩා දුර තියෙන දේවල් දිහා බල බලනේ ඉන්නේ.ඔය පක්‍ෂයේ අයත් "පශු සම්පත්"භාරව හිටියා නේ කාලයක්.පසුගිය කාලයේ නවසිලන්ත අගමැතිවරයා ලංකාවට ආවේත් මේ කිරි සම්බන්ධ කටයුත්තු වෙනුවෙන් බව කියනවා.

    ReplyDelete
    Replies
    1. 2004 සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා වුනේ අනුර දිසානායක සහෝදරයා. ඔහුට පශු සම්පත් විෂයත් භාර වුණා. ඔහුට අමාත්‍යංශය කරන්න වුණේ මාස 14 වගේ සුළු කාලයක්. ඔහු භාර ගන්නකොට මිල්කෝ අායතනය රු. මිලියන 180 වක පමණ ණය වෙලා හිටියේ. නමුත් ඔහු අමාත්‍යංශය නැවත භාර දීලා එනකොට තිබුණු ණය ඔක්කොම ගෙවලා රුපියල් මිලියන 500ක් ඉතිරි කරලා අාපු බව ඊයේ දිනයේදි (02) මට දුරකථනයෙන් කතා කරපු නුවර ඉන්න පශු වෛද්‍ය වරයෙක් වන සේනාධීර සහෝදරයා මතක් කරලා දුන්නා. අනුර දිසානායක සහෝදරයා අමාත්‍යවරයාව ඉන්නකොට සැලැස්මක් හැදුවා අවුරුදු 01ක් අවසන් වන විට රටේ කිරි අවශ්‍යතාවයෙන් 20%ක් රටේම නිපදවා ගන්නත් එය අවුරුදු 5ක් වන විට 50% දක්වා ගෙන එන්නත්. ඒ අනුව තමයි "දැයේ කිරි සුවඳ කිරි ගොවි ගම්මාන 500 ව්‍යාපෘතිය" නමින් කිරි ගොවියන් සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එහි පළමු ගම්මානය වැලිමඩ දික්කාපිටියෙන් ආරම්භ කළේ. කිරි ගම්මාන ව්‍යාපෘතියත් සමඟ රටේ ආහාර අවශ්‍යතාවයත්, රටේ රැකි රක්ෂා ප්‍රශ්නයට සැලකිය යුතු පිළිතුරකුත් ලබාගන්න බලාපොරොත්තු උනා. අනුර සහෝදරයා අමාත්‍යංශයෙන් ඉවත්වීමත් සමඟ එම වැඩ පිළිවෙළ අත්හැර දැම්මා. ඔය අත්හැර දැමීම් වලට බහුජාතික සමාගම් කෝටි ප්‍රකෝටි ගණනින් අත් හැර දැමීමට උදව් කරන අයට ගෙවන බව දන්වන්න ඕන. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  15. සමන්ත
    ගව පාලනය ලකාවේ අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි අපේ සමාජයේ තියන හරකුන් මසට මරන එකට ඇති අකමැත්ත හෝ විරෝධය.මේක සරලව කිව්වොත් මෙහෙම යි.ලොකු හරක් පට්ටියක් ඉන්න කෙනෙක් ගම්මු.කිරි ගන්න වැස්සියෝ හැර වස්සෝ ඉන්නවනම් උන්ට මොකද කරන්නේ.ඉස්සර නම් කරත්තවල බැන්දා,කුඹුරු වැඩට ගත්තා.දැන් ඒ මොකවත් කරන්න බෑ. වැස්සියෝ වුනත් වයසට ගියහම කිරි වැරුවහම මොකද කරන්නේ.උන්ව මැරෙනකම් බලාගන්න වෙනවා අපේ මේ තියන බුද්ධාගම එක්ක බැඳුන සන්ස්කෘතිය නිසා.එතකොට ඒ කිරි ගොවියට වියදම වැඩි වෙලා ලාබයක් නැතුව යනවා.
    මෙහෙම බලමු අපි.කිරිගොවියෙක් ලඟ ඉන්නවා ප්‍රිශියන් එලදෙන්නු ටිකක්.උන්ට වැස්සි පැටව් ලැබුනොත් හොඳයි.වහු පැටව් ලැබුනොත් මොකද කරන්න පුලුවන්.උන්ව කරත්ත්වලටවත් කුඹුරු වැඩටවත් ගන්න බෑ.කරන්න පුලුවන් එකම දේ ලොකු වුනහම මසට විකුනන එක නේද?

    මෙන්න ඕස්ට්‍රේලියන් කිරි ගොවියා කරන දේ.හරක් හදන්නේ කිරි ගන්න නම් ලැබෙන වැස්සි පැටව් තියාගන්නවා.වසු පැටව් පැය විසිහතරක් යන්න කලින් මරනවා.පැටියා ලැබිලා මාස කීපයක් යනකොට මව් එලදෙන කෘතිමව ආයි ගැබ් ගන්නනව. මේ වගෙ හත් අට පාරක් පැටව් ලැබුනට පස්සේ ඒ එලදෙන වයස නිසා එයාවත් මරන්න වෙනවා. අර වහු පැටව් ලොකුවෙලා මසට මරන්නෙ නැතුව පැයවිසි හතරල් යන්න කලින් මරන්නේ ඇයි කියලා හිතෙනව නේද? මසට හදන හරකුන්ගෙයි කිරට හදන හරකුන්ගෙයි මෙටබොලිකල් ස්ට්‍රක්චර් වෙනස් නිසා මස් රස නැතිලු.
    අපේ සංස්කෘතියට අනුව හරක් මරන එක පව් නමුත් අනිත් සත්තු මරන්න පුලුවන්.මේ ආකල්පය ඔයාගේවත් මහේවත් ජීවිත කාල තුල වෙනස් වෙයි කියල හිතන්න බෑ.පහුගිය දවස්වල ලොක්කා කියල තිබුනෙ ඉම්පෝටඩ් හරක් මස් වලට ටැක්ස් අඩු කරනවය කියල හරක් මරන එක අඩු කරන්න.

    ReplyDelete
    Replies
    1. හරක් මැරිල්ල සම්බන්ධව තියෙන සංස්කෘතික, ගතානුගතික හා අන්ධ ආගමික භක්තිය නිසා ඔය ප්‍රශ්නේ එතන හිරවෙලා. කිරි වැස්සිගෙන් ලැබෙන කිරි ටිකෙන් යැපෙන කිරි ගොවියා, අර පිරිමි සතුන් නඩත්තුවේදි ආපහු පරන තැනටම වැටෙනවා. නවීන තාක්ශනය යොදාගෙන අවම හිංසනයෙන් මසට සතුන් මැරීමේ slaughterhouseහෝ abbattoir ලෝකයේ ඕනෑම රටක තියෙනවා. කොහෙද හරක් මස් කියපු ගමන් හරක් ටික කුලප්පු වෙනවනේ.

      Delete
    2. අරුණ මහත්තයා. ඔය හැටි කඳු ගනං තණකොළ තියෙනවනං ආයි මොකටද වයසක සත්තුයි, පිරිමි සත්තුයි මරන්නෙ. උනුත් එයිං තණකොළ ටිකක් කාලා මැරෙනකං ජීවත් වෙන්නෙ නැතැයි. දැං ඔය තණමල්විල පැත්තෙත් මහ කැලේ මැද්දෙ හරක් තුං හාරසීය දාගෙන ගාල් හදල කිරි ගන්න වැඩේ කරනවනෙ. එතනත් කෙරෙන්නෙ සත්තු කැලෙං තණකොල කනවා. කිරි දෙන සතා කිරි දෙනවා. තණකොළත් ඕනැ තරං තියෙනවනං, එව්වට වියදමක් යන්නෙත් නැත්තං වයසක සත්තුයි, පිරිමි සත්තුයි ටිකත් කාල බීල මැරෙණකං සංතෝසෙං ඉන්නෙ නැතැයි නේද? හැබැයි ඉක්මණට සල්ලි හොයන්න ඕනි අයට නං අර වැඩකට නැති සත්තු ටික මරාගෙන මස් විකුණලා වැඩිපුර ගානක් හොයාගන්න පුලුවන්.

      කුමාර මහත්තයා /අපේ සංස්කෘතියට අනුව හරක් මරන එක පව් නමුත් අනිත් සත්තු මරන්න පුලුවන්./ මෙන්න මේක අපේ රටේ හොර උපාසක හැත්තගෙ ධර්මෙ. මට නං සිංක් එකට වැටිල ඉන්න කූඹියත්, වගා ලිඳට වැටිල ඉන්න අලියත් දෙන්නම එකයි. කාගෙත් පරාණෙ. කවුරුත් අකමැතියි තමුංගෙ පරාණෙ දාල තියෙන කූඩුව දාල යන්න. ඒ හංදා අපි කිරි ව්‍යාපාරය ගැන විතරක් කතා කරමු. පර්චස් දහයක් ලක්ස පනහක් වෙන බදුලුපිටියෙත් හරක් පනහක් හැටක් ජීවත් වෙනවනං, ඌව පලාතෙ ඈත බැදිවල හරක් තුංහාර දහකට ජීවත් වෙන්න පුලුවන්.

      Delete
    3. සුරංග ඒක තමයි මම කියන්නේ අපේ සංස්කෘතික සහ ආගමික හේතු නිසා මේක එකතැන හිරවෙනවා කියලා. මම කිව්වේ ගෙදර වත්ත උලාකන හරක් ගැන නෙමේ. කර්මාන්තයක් විදිහට. මස් නිශ්පාදනය කියන්නේ කර්මාන්තයක්.

      Delete
    4. ඔබ කියන කාරණය හරි. රට තියෙන්නේ ඒවගේ තැනක තමයි. ඒත් අධෛර්යමත් වන්න එපා. අපි ඉදිරිගාමිව සිතමු. රට හොද තැනකට ගෙන්න පුළුවන්. ඉන්දියා මේකට හොද උදාහරණයක්.අමූල් නමින් සමූපකාර ක්‍රමයක් බිහි කරලා කුඩා කිරි ගොවීන් ශක්තිමත් කරලා ලෝකයේ වැඩිම කිරි නිෂ්පාදකයා බවට අද වෙනකොට ගෙනල්ලා තිබෙනවා. ඉන්දියානුවන් පිටිකිරි භාවිතයට හුරු නෑ. ඔවුන් දියර කිරි භාවිතයට ඉතා ලොල් අය. 1977 පස්සේ අපේ රටට වැඩි වැඩියෙන් පිටිකිරි එන්න පටන් ගත්තා. අපේ මිනිස්සු බොන මේ පිට රටින් එන පිටිකිරි 3 වන ශ්‍රේණියේ ගුණාත්මක තත්ත්වයෙන් අඩු කිරි. අපි රු.300.00 ට වගේ මිළදි ගන්න කිරිපිටි පැකට් එකේ පළමු ශ්‍රේණියේ කිරිපිටි පැකට් එකක් රු. 1500.00 ක් විතර වෙනවා.
      ඉන්දියාවේ කිරි කර්මාන්තය බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ සංවර්ධනය කළ ආකාරය කියවෙන මනරම් සිනමා පටයක් තිබෙනවා. manthan කියලා. ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ඒකට කැප කිරීම් කරන්න ඕන. ඒ සඳහා මෙය හොද සිනමා පටයක්.(කිරි ගොවින්ගෙන් රුපියල රුපියල එකතු කරලා තමයි සිනමා පටය හදලා තියෙන්නේ)
      අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
    5. //පර්චස් දහයක් ලක්ස පනහක් වෙන බදුලුපිටියෙත් හරක් පනහක් හැටක් ජීවත් වෙනවනං, ඌව පලාතෙ ඈත බැදිවල හරක් තුංහාර දහකට ජීවත් වෙන්න පුලුවන්.// හරියට හරි සුරංග.. ඒ වගේම මේ රටවල හරක් මස් පිණිසම හදන එකත් සාර්ථකව කරනවා. අරුණ කියන්නා වගේ අපේ ආගමික හේතු නිසා ඒ වගේ වැඩ හිරවෙනවා. කිරි කර්මාන්තෙ ගැන පමණක් කියන නිසා අනෙක් කොටස වැඩිපුර නොකියන්න හිතුවා.. අපේ ගමේ හරක් ව්‍යාපාරයක් කල හැටි ලියනවා එකේදී කියන්නම් මේ සංස්කෘතික සහ ගතානුගතික සිරිත් නිසා අපි පස්සට යන හැටි

      Delete
  16. ඉතාම වැදගත් පොස්ටුවක්. ඔබට ජය.

    අපේ රට වගේ නොවේ ඉන්දියාවේ. හොඳ කිරි භාවිතයක් තියෙනවා. හැම පළාතකම කිරි නිෂ්පාදනය වෙන බවක් පෙනෙනවා. පිටි කිරි නැතුවාම නොවේ. ඉන්දියාව කිරි නිෂ්පාදනය කලමනා කරන ආකාරයත් අතීතයේදී සුද්දන් ට කිරි පිටි වලට ඔවුන්ව ග්‍රහණය කරගන්න බැරි වීමට හේතුත් (සමහර විට ආගමික හේතුන්) අපි අධ්යනය කල යුතුය.

    ReplyDelete
    Replies
    1. අපිට කිරි නිෂ්පාදනය ගැන කියද්දි මතකයට එන්නෙ නවසීලන්තෙ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වුණාට ලෝකෙ කිරි නිෂ්පාදනයේදී ඉහලින්ම ඉන්නෙ ඉන්දියාව. නමුත් ඒක කෙරෙන්නෙ සුළු පරිමාණ කර්මාන්තයක් විදිහට. ඉස්සර අපේ රටේ බොහොමයක් ගෙවල් වල වැස්සියෙක් දෙන්නෙක් හිටියා වගේ ඉන්දියාව පකිස්තානය වගේ රටවල් කිරි නිෂ්පාදනයේ ඉහළින් ඉන්නෙ ලොකු ගව පට්ටි නඩත්තු කරලා නෙවෙයි. නමුත් ඔවුන්ගෙ ජනගහණයයි, පරිභෝජනයයි වැඩි නිසා නවසීලන්තය වගේ රටවල වගේ අතිරික්තයක් නෑ.

      Delete
    2. kumarata මම දක්වපු අදහස මීට උඩින් තියනවා. එය කියවන ලෙස කාරුණිකව ඉල්ලනවා. අදහස් දැක්වූ ඔබලාට බෙහෙවින් ස්තූතියි.

      Delete
  17. බදුල්ල පැත්ත කොහොමත් සුන්දරයි. කියවන කොට දැනටත් මැවිලා පේනවා. මගේ බ්ලොගයේ එක ලිපියක මම කෑම ගැන කතා කරලා තියනවා. මේ ලිපිය
    https://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post_5.html
    ලන්ඩන් වල කිරි බොන්න බැරි වෙලා ඉන්දියාවේදී පුළුවන් වුණා. ඉන්දියාවේ කිරි නිෂ්පාදනය මුළුමනින්ම වගේ තණකොළ කන් ගවයන් ගෙන් ලැබෙන කිරි වලින් සැපයෙන්නේ. ඒක හුඟක් නිරෝගියි. යුරෝපයේ කිරි රසායනික ලෙස වෙනස් වෙලා තියෙන්නේ. අදහස ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. මම දන්නා විධිහට කිරි එළදෙනුන් නවසීලන්තයෙන් ගෙනල්ල බෙදා දෙන ප්‍රොජෙක්ට් එකක් කවුද ඊයේ පෙරේදා පටන් ගන්න හැදුව රත්නපුරේ . මොනවා වුනාද මන්දා .

    ReplyDelete
  18. යුරෝපයේ ඉතා නැවුම් දියර කිරි තිබියදීත්, ආසියානු කඩේකට ගිහින් කිරිපිටිම හොයන සමහරක් ලාංකිකයෝ මම දන්නවා. ඒ තරමටම ඇබ්බැහි වෙලා. මේ පුරුද්ද වෙනත් දකුනු ආසියානුවන්ට නැහැ. අපි තරුන කාලයේ නම් හන්දියක් හන්දියක් ගානේ මිල්ක්බෝඩ්, කිරි මංඩල සිල්ලර කිරිකඩ තිබුනා. කිරි බෝතලයක් බොනවා මිසක් ඉස්සර කෝක් බොතලය ඉස්සර වුනේ නැහැ.

    ඇස් ඇරවන ලිපියක්. බොරුවට නිදිනම් කරන්න දෙයක් නැහැ. ඔබේ ලිවීමේ ශෛලිය තුල කියවන්නා යමක් තේරුම් ගැනීමට යොමුවන සම්භාවිතාවය වැඩියි. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි. මේ පාලකයන්ගේ කඩ වහන්න ඕන. ජනතාවගේ කඩ අරින්න ඕන. එවිට රටට කිරි උතුරාවි. කාරිය පහසුම නෑ. ඒත් එන්න. මේ මහගිරිදඹේ නගින්න. මස්ථකයට පැමිණි විට හිත සැනසේවි. ඒ තෘප්තිය කාටත් සිත් සනහාලන තෘප්තියක් වන බව සිකුරුයි.

      Delete
  19. රට ගොඩනන්න ප්‍රොජෙක්ට් හැදීම, ඒවාට ආධාර සොයා යාම. කොන්තරාත්තු වලින් කොමිස් ගැනීම, ආධාර දුන්න අය ණය අ/පොලී ගැනීම. ජනතාව විරුද්ද පක්ෂ විසින් පෙන්නා දුන්න පලවිපාක ගැන කතා කිරීම, උද්ඝෝෂණ කිරීම, වෙනත් පිරිසක් බලයට පත් කර ගැනීම. මේක දුෂ්ට චක්‍රයක් වෙමින් නැවත මුල සිට ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete
    Replies
    1. දුෂ්ට චක්‍රයක් වන්නේ මේ ක්‍රමයයි. මේ ක්‍රමය තුළ ඇඹරෙන්නේ අහිංසක ජනතාවයි. ජනතාව ඉන් මුදවා ගැනීමට දැනුමක් තේරුමක් ඇති කාගෙත් වගකීමයි. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  20. සිද්ධාලේප වෙදමහත්තයා ද කොහේදෝ මැතිවරණ පොරොන්දුවක් විදිහට දුන්නා නේද හැම ගෙදරකටම කිරි හරකෙක් දෙනවා කියලා...?

    ඇත්තටම අපි හිනා වුණා.
    මේ ලිපිය දැකලා, මම මටම හිනා වුණා.

    එයාට කරන්න බැරි වුණත්, දිනන්න බැරි වුණත් ටිකක් දුර හිතලා දීපු පොරොන්දුවක් වෙන්ටෑ !!

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිය හොඳ නැද්ද එයැයි අර පොඩි සිද්ධාලේප කුප්පිය ඇඟිල්ලක් දාන්න පුලුවන් සයිස් එකටවත් හදල එවන්න පොරොන්දු උනානං.

      Delete
    2. හෙහ් හේ..
      ප්‍රසා ගැබිනි වාට්ටුවේ ඇඳවල් වල “සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක්“ කියල ගහපු එකම මදිද??

      Delete
    3. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  21. ඔය ට්‍රැකටර් කතාව සේනානායක ගොයියත් කිව්වයි කියල අහලා තියෙනවා.

    ට්‍රැක්ටරේට තට්ටුවක් දාල ඇහුවලු “දැන් මේකගෙ බුරුල්ල තියෙන්නෙ කොහේ ද...? එතකොට ගෙම දාන්නෙ කොතනින්ද..?“

    හරියට කරන්න පුළුවන් නම් කිරි කර්මාන්තයෙන් ලංකාව ලෝකයේ පොහොසත්ම රටක් කරන්න බැරි කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  22. යකඩෝ ලංකාව තරම් දුප්පත්ද ?.. ....මේකාගේ බොරු....

    ReplyDelete
  23. ඉහත කුමාර ඉදිරිපත් කරලා තියෙන තර්කයේ තමයි මමත් ඉන්නේ. කිරි පිණිස ඇතිකරන එළදෙනුන් දීමෙන් සියල්ල විසඳෙනවා කියලා උපකල්පනය කරන්න අමාරුයි. එතැනදී ඔවුන් නඩත්තුවට අවශ්‍ය වටපිටාව සැකසිලා නැත්තම් පවතින්නේ නැහැ. සමහර වෙලාවට එකපාරටම මුත්තා කියන කතාව සැබෑවක් වගේ පෙනුනත් ඇත්ත තත්වයේදී දෙනුන් දිගුකාලීනව පවත්වාගැනීමට දැනට තිබෙන තත්වයන් උපකාර කරන්නේ නැහැ.

    පළාත ගැන නොහිතුවොත්, අපි හිතමු පොල්ගස් නගින කෙනෙක් ගැන. ඇත්තටම බැලුවම ඉල්ලුමට සරිලන පොල්කඩන්නන් නැතිකම තියෙද්දිත් පොල් කඩන කෙනාගේ ළමයෙක් ඒ රැකියාව තෝරාගන්න තියෙන පෙළඹවීම අවමයි. ඉතින් නිවසේ ඉන්නා එළදෙන මගින් ආදායමක් ලබන්නට අකමැති කෙනෙක් ගාමන්ට් තෝරාගන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. එවිට දරපු පිරිවැය විතරක් නෙවෙයි, කාලයත් වතුරේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ සමහර කරුණු වලට මම එකඟයි. හරක් බලන කොල්ලා, පොල් කඩන කොල්ලා එහෙම කියනවාට තරුණ පරම් පරාව කැමති නෑ. කොටින්ම අපි කැමතිත් නෑ. පශු සම්පත් කර්මාන්තයේ නියලෙන්නන්ට වෘත්තිය වටිනා කමක් දෙන්න ඕන. ඔවුන්ගේ රැකියාවන් වලට අභිමානයක් හදන්න ඕන. ඔවුන්ට වෘත්තිය පුහුණුවක් සුදුසු කමක් දෙන්න ඕන. ඔවුන්ගේ රැකියාවට නවීනත්වය, තාක්ෂණය, විද්‍යාව මුසු කරන්න ඕන. අපේ රටේ දේශිය බටු හරකා දිනකට කිරි ලීටර් 2,3 යි දෙන්නේ ඒත් ජර්සි, ප්‍රීසියන්, අයේෂයර්, සහීවාර්, සුගන්ධි වාගේ දෙමුහුන් කරපු වැඩි දියනු කරපු කිරි හරක් දිනකට කිරි ලීටර් 30ක් 40ක් දිනකට දෙනවා. අපි හිතනවා නම් කරන්න බැරි දෙයක් නෑ. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  24. “දියුණු කොරන්න පුළුවන් නම් ඇයි බන් දියුණු නොකරන්නෙ“?//
    මෙන්න මේක තමා අපි හැමෝටම අහන්න තියන ප්‍රශ්නෙ.

    මාතලන් ගොයියගෙ ඔත්තුවක් පිට ආවෙ. දේශපාලනය කරන අයට මේ තරම් රහට ලියන්න පුලුවන් කියල මම නම් හිතුවෙ නෑ.සතුටුයි හැබෑම සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  25. රසායනික පෝරම ලාබෙට ඉල්ලලා නාමල් ගොවියොත් එක්ක ඇවිත් පාර්ලිමේන්තුව වට කරන දවසකුත් තියෙනවලු නේද.

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.ඔබට ගැළුවක් වූ තැන නිරාකරණය කරගැනීමට නාමල් කරුණාරත්න සහෝදරයාට පහත සම්බන්ධතාවය ඔස්සේ ගොස් සවන් දෙන්න.
      https://www.youtube.com/watch?v=9ryNjTmN3w4

      Delete
  26. අනිත් අයගේ අදහස් නොබලාම මම ලියන්නේ. ඒවාට වෙලාවක් ගත්තොත් මගේ හිතට එන දේවල් වල්මත් වෙනවා. මම නිල්දන්ඩාහින්නට ගියා දෙවතාවක් මාසයක් ඇතුලත්, මගේ මිතුරෙකුගේ මවගේ සහ පියාගේ අවමගුලට. මේ කියන දුෂ්කරතාවය මම දැක්කා. ඒ වගේම සුන්දරත්වයත් මම දැක්කා. ඊට පස්සේ මහජන බැංකුවේ සේවකයෙක් විදියට මේ පළාත් හැම එකකම අස්සක් මුල්ලක් නෑර රවුම් ගහන්න මට ලැබුණා. ඒ අවස්ථාව නිසා අද මේ සටහන හොඳින් රස විඳින්න මට පුළුවන් වුණා. තවමත් කියවලා ඉවර නෑ. මතක් වෙන විදියට ටයිප් කරමින් කියවනවා.
    මේ කිරිගොවීන්ගේ කතාව දැක්කම මගේ සිහියට එන්නේ "වියලි තණකොළ සහ පෝස්ටර් කිරට හරවන ඉන්දියන් ගොවියෝ" වගේ මාතෘකාවක් ඔස්සේ ලියපු සටහනක්. අපිට ඉන්දියාවෙන් ඉගෙන ගන්නවානම් ඔන්න පාඩම්. හැබැයි අතේ දුරින් ඉඳන්. අපේ මිනිස්සුන්ට රට කියන දේ මහ ලොකු වුණ නිසා තමයි මේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුණේ. රට දෙල් හැරෙන්න රට කියලා නම් දැම්ම අනිත් හැම දෙයක්ම ලොකු ඒ වගේම ආටෝපේ තියෙන දේවල් නිසා, අපේ රටේ මිනිස්සුන්ගේ චින්තනය මේ රට කියන වචනේ තියෙනවා. මට අද උදේ මතක් වුණේ, කාලයක් තිබ්බා අපි ෆ්‍රයිඩ් රයිස් කන එක නම්බුයි වගේ කරගෙන ගිය. නමුත් ඒ කන්දෙම පල්ලමට දැන් අපි ඇවිත් රයිස් ඇන්ඩ් කරි කන එක නම්බුව බවට පත් වුණා. පිටිකිරිත් ඒ වගේ පල්ලම් බස්සගන්න ඕනේ. දකුණේ පලවෙනි ගම වෙච්ච බෙන්තර මගේ ගම. අපේ ගමෙත් පොඩි කාලේ කිරි හරකුන් හිටියා. ඒකෙන් ඔබ කියන කථාව සනාථ වෙනවා.

    මම ඊට පස්සේ ගියා ඌව පරණගමටත්. ඒ ගිහිං නතර වුණේ ගුරු ජෝදුවකගේ ගෙදරක. ඒ අය වතුර බොහොම අරපරිස්සමෙන් පාවිච්චි කරන්නේ. උල්පත් හිඳිලා ගිහිං. අපිට කිව්වා මුහුණ විතරක් හෝදගන්න වතුර ගන්න කියලා. අපි නාන්න වෙනම තැනකට ගියා. ඒ ඊට ටිකක් පල්ලෙහා තියෙන හන්දියෙන් දකුණට හැරිලා. ඒකත් පුංචි කානුවක් වගේ තැනක්. ඉස්සර ඒ වත්ත දිගේ දියපාරක් එහෙමත් තිබිලා තියෙනවා. මම එහෙ ඉන්නකොට උදේට බැංකුව ඉස්සරහපිට තියෙන කඩෙන් කන ගමන් වේලිලා ඉරිතලලා ගිය, වලට වෙන්න තියෙන තණකොළ නැති පිට්ටනියක ව්‍යායාම් කරනවා බලාගෙන හිටියා. ඒ දර්ශණය හීං සතුටක් එක්ක සංවේගයක් ඇති කළා. හේතුව අදටත් මොකක්ද කියන්න දන්නේ නෑ. මම ඒ ග්‍රවුන්ඩ් එකේම උදේ ව්‍යයයාමට දිවුවා. ඒ පොලව මේ දරුවන්ට හයිය වැඩියි කියලයි මට හිතුණේ. අපි ඉතාම ආසාවෙන් තරබාරු කොල්ලෙක් හරි-හරියට මේ ව්‍යායාම වැඩේ කරනවා බලන් කෑම ගිල දැම්මා. ඒ කොලුපැටියා එතැනට නොගැලපෙන බව හොඳටම පැහැදිලි වුණා.

    ඉන් පස්සේ කන්දකැටියට ගියා. ඒ ගම්පියසත් මගේ හිතෙන් අමතක කරන්න බෑ. මහවැලි සංවර්ධනයත් එක්ක කාලගුණය වෙනස් වූ බව ගැමියන්ගේ අදහස. ඒක හොඳ පැත්තට වුණ නිසා හොඳයි. නමුත් ඒ එක්කම වෙනත් ප්‍රදේශ වේලිලා ඉරිතලලා තියෙනවා. එතැනින් උඩට හාලිඇලට යන පාර හරිම සුන්දරයි. ඒ වගේම දුෂ්කරයි. මේ දෙකම අපි දැක්කා. ඉඩ ලැබෙන විදියට මේ මතකයන් සටහන් කරන්නම්.

    ඒ මතකයන් ඇවිස්සුවාට ස්තුතියි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අර ගුරු ජෝඩුව ඉදිරියෙන් වයෝවෘද්ධ කියන වචනය එන්න ඕනේ.

      Delete
    2. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
    3. සුදිකත් අපේ පලාත්වල කරක් ගහලා එහෙනම්...

      Delete
  27. අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

    ReplyDelete
  28. දුයිෂෙන් ගේ ලියවිලි කියවන්නට ඉතාමත් ප්‍රියයි. ඒවායේ වටිනා ගතයුත්තක් තිබෙන බවයි පෙනෙන්නේ.

    පසුගියදා එක නිර්නාමික අදහස් දක්වන්නෙක් අභියෝගාත්මකව කියා තිබුනා බ්ලොග් යනු "ලිඛිත කයිවාරු" බව. දුයිෂෙන්ලා වැනි හරවත් සංවාද ගොඩනගන්නන් බ්ලොග් යනු "ලිඛිත කයිවාරු" යන අදහසින් බොහෝ එපිටට ගෙනයන බවයි පෙනෙන්නේ. විවිධ ක්ෂේස්ත්රවල නිපුණයන් ඒ ඒ ක්ෂේස්ත්‍ර වලින් පණිවුඩයක් දිය හැකි යමක් ලියා තැබීම බොහෝ වටිනා බවයි මගේ අදහස.

    කියවා අපට යමක් ඉගෙනගතහැකි හැකි ලියවිලි ලිවීම ගැන දුයිෂෙන් ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඉලක්කය වෙත ගමන් කරමි. එහි සැමට වටිනා ඵලවැල තිබෙන බව මා දනිමි. ඔබ දුන් ශක්තියටත් දැක්වූ අදහසටත් බෙහෙවින් ස්තූතියි.

      Delete
  29. මේ දුයිෂෙන් මේ වගේ පාර්ලිමේන්තුවේ කතා කරපු කෙනෙක් බව අමතක කරන්න එපා.. https://www.youtube.com/watch?v=wpRCFL7UGm0

    ReplyDelete
    Replies
    1. සමන්ත මල්ලී ගේ හොඳම ගෝලයා කවිඳු අයියා ද කියා දැන් සිතේ.

      පැයකටත් වඩා දිග වීඩියෝගත කතාවේ විනාඩි දහයක් විතර නැරඹුවා. මුල් රාමු කිහිපයේ පේනවා ඒ දවස්වල සමන්තලා ගේ ප්‍රචාරක ලේකම් වීරවංශවත්!

      සමන්ත පාර්ලිමේන්තු ඇඳුමෙන් සැරසී සිටිනවා දුටු මට සිහි වුනේ ටෙලි නාට්‍යයක ආ ගුරුවරයෙකු ගේ චරිතයක්.

      Delete
    2. //සමන්ත පාර්ලිමේන්තු ඇඳුමෙන් සැරසී සිටිනවා දුටු මට සිහි වුනේ ටෙලි නාට්‍යයක ආ ගුරුවරයෙකු ගේ චරිතයක්.// ඒ වගේ ගතියක් පෙනෙනවා නේද? //සමන්ත මල්ලී ගේ හොඳම ගෝලයා කවිඳු අයියා ද කියා දැන් සිතේ.// රසිකට ඕනෑ දෙයක් හිතා ගැනීමේ අයිතිය තිබෙනවා . මම කලින් තැනක කිව්වා වගේ මම සමන්ත හැබැහින් දැකලා නෑ.. ( මුහුණට මුහුණ හමු වී නැහැ )

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //පැයකටත් වඩා දිග වීඩියෝගත කතාවේ විනාඩි දහයක් විතර නැරඹුවා. මුල් රාමු කිහිපයේ පේනවා ඒ දවස්වල සමන්තලා ගේ ප්‍රචාරක ලේකම් වීරවංශවත්!//

      මම ලොකුබණ්ඩා මුත්තාට කිව්වේ............

      “ලොකු බණ්ඩා මුත්තේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර හරක්ටයි, පළාත් සභාවල ඉන්න සමහර හරක්ටයි තව තැන්වල ඉන්න හරක්ටයි කන්න දුන්නම හරක්ට කන්න තණකොළ ඉතුරු වෙන්නෙ නෑ."

      එවිට ලොකුබණ්ඩා මුත්තා උත්තර දුන්නේ..........

      “උඹ කියන කතාවත් හරි තමයි බං. මේ රටේ ගොඩක් අය මේවා කන නිසා හරක්ට කන්න දෙන්න තණකොළයක් ඉතුරු වෙන්නෙ නෑ. කවදා මේවා තේරුම් ගනීද මන්දා.........."

      ඔබේ සිහිනයට මං බාධා නොකරමි. ගෝලයෙක්ද නොවෙමි. ගෝලයන්ද නොතනමි. ගෝලයන්ද නොපතමි.කාගේ හෝ ගෝලයෙක් වී, කාගේ හෝ අවශ්‍යතාවයකට කටයුතු නොකරන්නේ නම් සතුටුවෙමි. ස්තූතියි

      Delete
  30. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/4219-2016-06-05-22-51-59

    ReplyDelete
  31. රචනය හරිම අගෙයි.... රසවත් වගේ ම හරවත්..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  32. නියම පෝස්ට් එක.

    ඔබ තුමා කරුනු කාරනා සහෙන්න හොයාගෙන ජීවිත අත්දැකීම් එහෙමත් එකතු කරගෙන ලියලා තියෙන්නේ.

    ටිකක් හොයලා කියන්න එක කිරි වැස්සියෙක් ගේ ගාන කීයක් විතර වෙයිද කියලා.
    යාලුවෝ ටිකකුත් එකතු කරගෙන මාස තුනකට සැරයක් එක කිරි වැස්සියෙක් එක පවුලකට අරන් දෙන්න වගේ වැඩපිලිවෙලක් කතා කරගන්න පුලුවන්.

    හැබැයි අවුරුද්දකර සරයක් වත් ඒ පවුලේ අයගේ විස්තරයි අපි අරන් දුන්නි වැස්සිගේ තත්වේ යි වාර්තා කරන්නත් වැඩපිලිවෙලක් ඒ එක්කම තියෙන්න ඕන.

    රිප්ලයි කොමෙන්ට් එකක් දාන්න වැඩේ කරන්න ඇහැකි එකක් නම් මම මන්ජුල සමරසේකර මල්ලී ගෙන් ඔබතුමාගේ ඊමේල් ඉල්ල ගන්නම්

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසටත් යෝජනාවටත් බෙහෙවින් ස්තූතියි. දුප්පත් කමින් පෙලෙන, ඒ වගේම වැඩේට ගැලපෙන, ධෛර්ය සම්පන්න පවුල් කිහිපයක් මතකයට එනවා. ඒ අයට උදව් කරමු. මම ඒ පවුල් අදුන්වා දෙන්නම්. samanthaviddyarathna@gmail.com

      Delete