මගේ හිතට මහ
බරක් වෙච්ච කතාවක් මගේ හිතේ කොනක කාලයක සිට තැන්පත් වෙලා තියෙනවා. විටින් විට ඒ
කතාව හිත කොනිත්තමින්, පහුරුගාමින් මට සිහි වුණු අවස්ථා බොහෝ තියෙනව. මම හිතා ගත්තා
ඒ කතාව කවද හරි, කොතන හරි ලියා තියන්න ඕන
කියලා. ඉතිහාසයට හරි එකතු වෙන්න . ඒ කතාව
කියන්න අද මට අවසර දෙන්න.
“හලෝ...
හලෝ, මම ඩොක්ටර් දයාරත්න“.
“ආ..
ඔව් ඩොක්ටර්. කතා කරන්න . මොනවද මේ දවස් වල කරන්නෙ?“
මට ඒ දුරකථන ඇමතුම ආවේ දෙදහස් පහ වසරෙ දවසක,
බදුල්ල මහ රෝහලේ සේවය කරපු විශේෂඥ වෛද්‍ය දයාරත්න මහතාගෙන්, අද ඔහු අම්පාර මහ
රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා. දුරකථන ඇමතුම අරගත් ඩොක්ටර් රටේ තොටේ වෙන දේවල්
කතා කරන්න ගත්තා. ඔහු සාමාන්‍යයෙන් කතාකරන
විට දුරකථනයෙන් වුනත් විනාඩි තිහක්, හතලිහක්
සමහර විට පැයක් වගේ කාලයක් බොහෝ වෙලාවට ගන්නවා. ගහ කොළ , සතා සීපාවා, ආදි විවිධ විෂයන් ගැන ඔහු කතා කරනවා. ඩොක්ටර් මගෙන් අහනවා,
“හම්බවෙන්න
බැරිද? මේ දවස් වල විවේකයක් නැද්ද? කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. පුළුවන් නම්
මුණගැහෙමු“.
“ඩොක්ටර්,
මේ දවස් වල වැඩ ටිකක් වැඩියි. රෑ වෙලා නම් පුළුවන් වෙයි“.
“රෑ වුනත් කමක් නෑ. කීයට හරි එන්න පුළුවන් නම්
හොඳයි. කවදද එන්නෙ“?
“ ම්..... එහෙම නම් හෙට රෑට හමු වෙමු. කල් දාන්න ඕනි නෑ .“?
මම යෝජනා කලා
“කොහෙදිද
හමුවෙන්නේ මම එන්න ද“?
ඩොක්ටර් ඇහුවා.
“ නෑ මම එන්නම් ඩොක්ටර්“.
මම කිව්වා.
ඒ අනුව අපි පසුදා රාත්‍රියේ හමු වෙන්න තීරණය කළා.
ඒ කියපු රාත්‍රියේ වැඩ ටික ඉවර කරලා රාත්‍රී නමයට විතර ඩොක්ටර් හමු වෙන්න යොදා
ගත්තා. බදුල්ලේ පුවක්ගොඩමුල්ල වෛද්‍ය නිල නිවාසෙට ගිහින් ඩොක්ටර්ගෙ කාමරේ සඳලුතලේ පුටු දෙකක් තියාගෙන
පාන්දර දෙක තුන වෙනකම් අපි කතා කළා. දිගාමඬුලු වනපෙත ගැන, මේ වනය පිළිබඳ ලියවුණු
පොතපත ගැන, මුස්ලිම් සංස්කෘතිය ගැන, ඔහු සංස්කරණය කරන අලුත් පරිසර සඟරාව ගැන,
ඇතුළු බොහෝ මාතෘකා ඔස්සේ ඔහුත් සමඟ බොහෝ දේ කතා කළා.
මා දුටු වෛද්‍යවරු
අතර ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා නෙවෙයි. ඔහු වෛද්‍යවරයෙක්
ලෙස හඳුන ගන්න පුළුවන් රෝහලේ දි විතරයි. පාරේ බසයේ සාමාන්‍ය මිනිසුන් සමග යන,
සාමාන්‍ය ලෙස අඳින පලඳින, වෛද්‍යවරයෙක් ලෙස මම ඔහුව හඳුනාගෙන සිටියා. ඔහු
කොළඹ කුලි නිවසක ඉන්න කාලයේ දි පවා මම
ඔහුව හොඳින් දැන සිටියා. ඔහු ගොඩක් පත පොත කියවන කෙනෙක්. ඒ වගේම පරිසරය ගැන විවිධ
විෂයන් පිළිබඳ පොත පත කියවන, පරිසරය ගැන සොයන, අධ්‍යයනය කරන හා විවිධ දේශපාලන
මාතෘකා කතා කරන කෙනෙක්. ඔහු මාත් සමඟ කතා කරන ගමන් ඇහුවා,
“මොනවද මේ දවස් වල විශේෂයෙන් කරන වැඩ“?
“ගම්බිම්වල
වැඩ කිහිපයක් මේ දවස්වල කරනවා. ඩොක්ටර්, මේ දවස් වල අපි සල්ලි ටිකක් හොයා ගෙන බදුල්ල
දිස්ත්‍රික්කයේ ලේඛකයන් ලියපු පොත් පත්
මිලට ගෙන ඔවුන්ගෙ අතින්ම මේ දිස්ත්‍රික්කයේ පුස්තකාලවලට දෙන්න ඕන කියලා වැඩ
පිළිවෙලක් හදලා තියෙනවා“.
“ආ..
ඒක හොඳ වැඩක් ඒ වැඩේ දැන් කොච්චර දුරට
ගිහින් ද?“
ඩොක්ටර් ඇහුවා.
“ඒ පොත් පත් මිලදි ගන්න වැඩේ භාර දුන්නෙ, ඌව පළාත් සභාවෙ
සංස්කෘතික අමාත්‍යංශයට. භාර දීලා මාස කිපයක් වෙනවා.”
“ආ..
පොත් ටික දැන් අමාත්‍යංශයෙන් අරගෙනද තියෙන්නේ?“
“නෑ
අමාත්‍යංශය කියනවා, ලේඛකයෝ පිළිබඳව විස්තරවත්, බදුල්ල දිස්ත්‍රික්කයෙ ලේඛකයන් ලියපු
පොත් ගැනවත් අමාත්‍යංශයෙ නෑ කියලා“.
“හහ්....
හහ්... හහ්... ඒකට මොකද කලේ“?
“ඩොක්ටර්
අපි හොයාගෙන ගියා අපේ පලාතේ ඉන්න පොත් පත් ලියපු අයව. අද වෙන කොට ලංකාවේ අග්‍රගන්‍ය
කෙටි කතා කරුවෙක් තමයි නිශ්ශංක විජේමාන්න කියන්නේ. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මම
නිශ්ශංක විජේමාන්න මහත්තයා මුනගැහුනා.
ඒ වගේම කවියට ප්‍රසිද්ධ ලේඛකයෙක් තමයි
කැටවල බුද්ධසිරි හාමුදුරුවො. මම උන්වහන්සෙත් උඩුවර පුරාණ විහාරෙදි මුණගැහුනා. ප්‍රසිද්ධ ගීත රචකයෙක් වගේම කවියෙක්
වුණු ‘තුමුනු නමුණුකුල ගිරි හිස උදුල සඳමඬල දුටුලෙද‘ කියන සිංදුව ලියපු සුදත්
ගාමිණි බණ්ඩාර මහත්තයත්
මුනගැහුණා. ඔවුන් හරහා බදුල්ල දිස්ත්‍රික්කයේ පොත්පත් ලියු ලේඛකයන් තව තවත් සොයා
ගත්තා“
“දැන් කොච්චර ලේඛකයන් හොයාගත්තද බදුල්ලෙන්“ ?
ඩොක්ටර් මගෙන්
ඇහුවා.
“ මම මේ
වෙන කොට ලේඛකයන් හැට දෙදෙනෙකුගේ තොරතුරු සොයා ගත්තා. අපි ඒවා සංස්කෘතික අමාත්‍යශංයට
භාර දුන්නා.
“දෙමළ මුස්ලිම් ලේඛකයන්
සොයා ගත්තෙ නැද්ද දිස්ත්‍රික්කයේ ඉන්න“ ?
ඩොක්ටර් මගෙන්
ඇහුවා
“එහෙම අය සොයා ගන්න බැරි වුණා. එහෙම කවුරුත් හමු
වුනේ නැ ඩොක්ටර්“.
“මම
දන්න හොඳ මනුස්සයෙක් ඉන්නවා දවසක් මම හමුවෙලා කතා කලා. ඒයා දෙමළ කෙනෙක්.
විදුහල්පතිවරයෙක් , ගුරු උපදේශකවරයෙක් .දැන් නම් විශ්‍රාම ගිහින් ඇති. ඔහු පොත්
පත් ලියපු කෙනෙක්“.
මම ඒ ගැන දැඩි
උවමනාවකින් ඔහු ගැන තව තවත් විමසුවා.
“කවුද
ඒ, කොහෙද ඉන්නෙ, මොනවද ලියල තියෙන්නෙ ඩොක්ටර්“?
“
මම වැඩි විස්තර දන්නෙ නෑ. පස්සර පැත්තෙ කෙනෙක්. සෞම්‍යයන් කියල මහත්තයෙක්. එයා සිංහල පොත් දෙමළ භාෂාවට පරිවර්තනය කළ කෙනෙක්.
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොත් දෙමළ බසට පරිවර්තනය කළ පළමු ලාංකිකයා ඔහු.
ටිකක් හොයල බලල හමුවෙන්නකො“.
මම ඒ යෝජනාව හොඳට හිතට ගත්තා . අන්න එතැන් සිට
මේ කියන සෞම්‍යයන් මහතා ගැන මම සොයන්න ගත්තා.
දින කීපයකට පසු මම දෙමළ හිතවතුන් කිහිප දෙනෙකු හමුවී ඔහු ගැන තොරතුරු සෙව්වා . තොරතුරු සොයාගන්න අපහසු වුණා.
මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් විමසා බැලුවා. එක් මාධ්‍යවේදියෙක් වුන හැරිසන්
අංකල් කිව්වා
“ඔව්
එහෙම මහත්තයෙක් හිටියා. එයා හිටියේ පස්සර පැල්ගහතැන්න කියන ගමේ. ඒ
පැත්තෙ ගියොත් සොයා ගන්න පුළුවන් “
ඔහු කිව්වා. මම දවසක් මේ සොම්‍යයන් මහතාව සොයාගෙන යන්න තීන්දු කළා. ඒ අනුව මා තව සහෝදරයෙකුත් සමග බයිසිකලයක නැගී
පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයට ගියා. ස්ථාන දෙක තුනකින් විමසන විට සෞම්‍යන් මහතාගේ
නිවස පිහිටා තිබෙන ඉසව්ව සොයා ගන්න පුළුවන් වුණා.
ඒ අනුව පස්සර පැල්ගහතැන්න අටේ කණුව කියන
ප්‍රදේශයේ බෝගහ හන්දිය කිට්ටුව පාර
අයිනෙම පුංචි ගේට්ටුවෙන් ඇතුළුවෙලා මම ගිහින් දොරට තට්ටු කළා. තුන් හතරපාරක් තට්ටු කරන විට සරමක් ඇඳගත්, උඩුකය නිරුවත්, කළු, මිටි මහත්මයෙක් දොර විවෘත කරලා හිනා වෙලා ඇහුවා,
“මහත්තයලා කවුද“?
මම
කිව්වා
“අර
පොත් ලියපු සෞම්‍යයන් මහත්තයා හොයාගන ආවා.“
හිනා
වෙලා ඔහු කියනවා,
“ආ...
එන්න එන්න ගේ ඇතුළට“.
“මේ සෞම්‍යයන් මහත්තයද“ ?
“ඔව්
මම තමයි සුන්දරම් සෞම්‍යයන් කියන්නෙ. වාඩි වෙන්න මහත්තුරු. කොහේ ඉඳලද ආවේ? මොකට
ආවේ? මොකටද මම ගැන සොයන්නෙ“?
ඔහු මගෙන්
ඇසුවා. මම හිනාවෙලා කතාවට එකතු කරගත් ඔහු
සමඟ සුහඳ පිළිසඳරක යෙදුනා. ඒ කතා බහෙන් බොහෝ
දේ දැන ගත්තා. ඒ දැන ගත්ත දේවල් පසුව සොයා බැලීමෙන් මා හොඳින් තවත් තහවුරු
කරගත්තා. අවසානයේ ඔහු සම්බන්ධයෙන් මගේ හිතේ යම් බර තැබීමක්, යම් ගරුත්වයක් පිළිසිඳ
ගත්තා. ඔහු නමේ අරුතෙන්ම බොහෝ සුන්දර මිනිසෙක්. ‘සුන්දරම් සෞම්‍යයන්‘ ඔහුගෙ නම. ඔහුගේ ජීවිත කතාව ලෝකේ කවුරුන් හෝ විසින් ගැඹුරු කතාවක් ලෙස ලිවිය
යුතුයි කියල මම හිතනවා. ඔහු බොහෝ දුරට හිතපු
මනුස්සයෙක්. නිහඬව සමාජයට මෙහෙවරක් කරන්න හිතපු පුද්ගලයෙක් කියලා ඔහුගේ කතාවෙන් මට ඒත්තු ගියා. ඔහුගේ තොරතුරු එක දවසකින් නෙමෙයි, අපි කිපවරක්ම ඔහු
මුන ගැහිලා දැනගත්තා. සෞම්‍යන් මහතා
විටින් විට කියපු කතාව කොතනින් ද මම පටන් ගන්නේ. ඒක බොහෝම ගැඹුරු කතාවක්. මම ඔහු මුනගැහෙන්න ගියේ ඔහු ලියු පොත් ටිකක්
මිලට අරන් ඔහු අතින්ම පලාතේ දරුවන්ගේ පුස්තකාලවලට
දීමේ ව්‍යාපෘතිය ගැන කතා කරන්න. නමුත්
ඊට වඩා වටිනා සංවේදී ගැඹුරු කතාවක් මට ඔහු සමඟ කතා කරන්න සිදු වුණා. අපි කීපවරක්ම මුන ගැහුනා. ඒ නිසා මට ඔහුගේ ජීවිත කතාවේ බොහෝ දේවල් අතපත
ගාන්න පුළුවන් වුණා. සුන්දරම් මහතා ගුරු වෘත්තියට
එනවා ඒ තරුණ කාලේම. බදුල්ල දිස්ත්‍රික්කයේ
පාසල් කිපයකම ඔහු සේවය කරනවා. ආන්න ඒ
කාලෙම අපේ රටේ ජාතිවාදි කලකෝලාහල
ඇති වෙනවා. බදුල්ල නගරයත් කළු දුමාරයෙන් පිරුණු කාලයක්. ඒ කාලේ මම පාසල් ශිෂ්‍යයෙක්.
නමුත් මම අහලා තියෙනවා, සිංහල
මිනිසුන් දෙමළ මිනිසුන්ගේ කඩවල්, ගෙවල් ගිනි තැබු
බවත්, ඇතැම් කඩවල් කොල්ලකෑ බවත්,
මිනිසුන් මරා දැමු බවත්. ඒක තමා සිංහල ජාතිවාදින්ගේ තත්වය. දෙමළ ජාතිවාදීනුත් සිංහල මිනිසුන්ට හිරිහැර කළා
කියලා අපි අහලා තියෙනවා. කොහොම වුනත් මේ දිස්ත්‍රික්කයේ 1983 දී වැඩිපුරම බැට කෑවේ අසරණ දෙමළ මිනිසුන්.
අසුතුනේ කළු ජුලිය. රටම ජාතිවාදී කලකෝලාහල වලින් අඳුරට ඇදල දැමූ මේ කලබලයෙන්
වැඩිපුරම බැට කෑවෙ දෙමළ මිනිස්සු. අද ලෝකය
ගත්තත් මේ ජාතිවාදය මහ ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන්නේ.
ලෝකය කෙතරම්
දියුණු යැයි කීවත් ජාතිවාදය, ආගම්වාදය, කළු
සුදු භේදය ලෝකයේ තැනින් තැන පවතිනවා. තාම
ලෝකෙට බැරිවුනා මේ පසුගාමී ලක්ෂණ ලෝකෙන් තුරන් කරන්න. ලෝකෙම මිනිස්සු මනුස්සයො
හැටියට සමගි කරන්න බැරිවුනා. අපේ රටේත් තවම මේ තත්ත්වය පවතිනවා. ජාතිවාදයට හොඳ
පිළිතුරක් හොයපු කෙනෙක් තමයි සුන්දරම් මහත්තයා.
සුන්දරම්
මහත්තයා ගුරු වෘත්තියට ඇවිත්, අසු තුනේ ඔහු රැකියාව කරන් ඉන්න කොට, ඔහුගේ පවුල මහ
ව්‍යසනයකට මුහුණ දුන්නා. මහ ඛේදවාචකයකට
මුහුන දුන්නා. ඒ මේ ජාතිවාදය නිසා. 1983
වෙනකොට සෞම්‍යයන් මහත්තයගේ මහ ගෙවල් තිබිලා තියෙන්නෙ බදුල්ලෙ, බදුළු ඔය අසබඩ, බස් ඩිපෝව ආසන්නයේ. සෞම්‍යයන් මහත්තයගේ තාත්තගේ නම ‘කුප්පමුත්තු සුන්දරම්‘. කුප්පමුත්තු මහත්තයට සහෝදරයන් දෙදෙනෙකු ඉඳලා
තියෙනවා ‘ සුන්දරම් ගනේෂන්, සුන්දරම්
රාජේෂ්වරම්‘ කියලා. සෞම්‍යයන් මහත්තයගෙ තාත්තාත් සහෝදරවරු දෙදෙනාත්
ඒ කාලේ ජීවෝනෝපාය ලෙස කරල තියෙන්නේ දර
සොයලා පොඩි ලොරියකින් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවලටත්, බේකරිවලටත් දර සපයපු එක. අසු තුනේ කලබල කාලේ දි
මේ සෞමන් මහත්තයගේ තාත්තාත් බාප්පලා දෙදෙනාත්
දර ලොරියෙන් අරගෙන යන වේලාවක මගකදී ඔවුන්ව අල්ලාගත් සිංහල ජාතිවාදීන් විසින් අමානුෂික
ලෙස කපා කොටා මරලා අර දර ලොරියටම දමා තෙල් දාලා ගිනි තියලා තිබුනා. මෙයින් භීතියට පත් සෞම්‍යයන් මහත්තය ඇතුළු මිනිසුන් තමන්ගෙ නිවාස
අතහැර තේ වතුවල හැංගිලා කෑමක් බීමක් නොමැතිව මර බියෙන් තැති ගෙන දවස් ගනන් හැංගිල
ඉඳල හිමින් සීරුවට පල්ලම් බැහැල මඩකලපුව
ප්‍රදේශයට ගිහින් තියෙනව. ඒ සුන්දරම් මහත්තයගේ කතාව.
|
Google image |
සිංහල ජාතිවාදයට ගොදුරු වෙලා පවුලක් විනාශ වෙච්ච මිනිස්සු. සුන්දරම්
මහත්තයගේ තාත්තා හා බාප්පලා මරලා ,ගෙවල් ගිනි තියලා, අළුදූලි බවට පත් කරල තියෙනවා.
සුන්දරම් මහත්තයගේ තාත්තගේ සහෝදරයන්ගෙ ගෙවල්ද ගිනිබත් කරලා අළු දූලි බවට පත් කරල
තියෙනවා. ඒ නිසා ඔවුන්ට මේ පලාත අතහැර යන්න සිදු වෙලා තියෙනවා. සුන්දරම් මහතා
ගිහින් තිබුනේ මඩකලපුව ප්‍රදේශයට. එහේ ඔහු
පාසල් ගණනාවක ඉගැන්විම් කරපු බව මට කිව්වා.
එරාවුර් සිංහල මහ විදුහලේ සිංහල ගුරුවරයා. ඒ වගේම
‘තියාවටුවාන්‘ විදුහලේත් ඔහු සේවය කරා. කල්කුඩා විදුහලේ ඔහු විදුහල්පති ලෙස
සේවය කල බවත් කිව්වා. එහෙම වැඩකරන අතරතුර
ඔහු කල්පනාකර තිබෙනවා, මේ රටේ මේ ජාතිවාදය නැති කරන්න මේ පාලකයන්ට තවම බැරිවුණා. ඇයි
මිනිස්සු කතාකරන භාෂාව අනුව බෙදිලා මරාගන්නේ. මේක නවත්තන්න ඕන. මේකට පිළිතුරක්
සොයන්න ඕන. ඒ පිළිතුරු සොයා ගිය ගමන දිනක් ඔහු මට අපුරූවට පැහැදිලි කළා. පැය එකහමාරක් දෙකක් විතර කතා කර කර ඉන්න ගමන්
ඔහු මගෙන් මෙහෙම ඇසුවා.
“දැන් ඔබතුමාට අපේ
දෙමළ මිනිසුන් ටිකක් ළඟින් දැනෙනවද? දෙමළ මිනිස්සුන්ගේ සංස්කෘතිය පිලිබඳ වැටහිමක්
තියෙනවද? දෙමළ මිනිසුන් තමන්ගේම මිනිසුන්
වගේ දැනෙනවද“?
සෞම්‍යයන්
මහත්තයා මගේ හිතට දැනෙන්න එහෙම ප්‍රශ්නයක් ඇසුවා.
“සෞම්‍යයන්
මහත්තයා, මට සිංහල , දෙමළ , මුස්ලිම් කියලා භේදයක් නැ. ඒ හැම දෙනාම මිනිසුන් කියලා මට දැනෙනවා“.
හහ්
හහ් හහ්.....
සෞම්‍යයන්
මහත්තයා හිනා වෙලා කියනවා,
“මම හිතනවා ඒ කිව්වට මහත්තයට සිංහල මිනිසුන්ගේ හැඟිම්
දැනිම් තේරෙන ප්‍රමාණයට දෙමළ මිනිසුන්ගෙ හැඟිම් දැනීම් තේරෙන්නෙ නෑ කියලා“.
මං ඇහුවා,
“
කොහොමද සෞම්‍යයන් මහත්තයා කොහොමද එහෙම කියන්නෙ“
ඔහු නැවත
මගෙන් වෙනත් ප්‍රශ්නයක් ඇසුවා.
“ඔබතුමාට සෝවියට් දේශෙ මිනිසුන්, දෙමළ මිනිසුන්ට
වඩා දැනෙනවා කියල මට හිතෙනවා“.
“කොහොමද
එහෙම කියන්නේ සෞම්‍යයන් මහත්තයා“.
“ඔබතුමා රුසියන් පොත පත කියවල ඇති. ඔබ ගෝර්කිගෙ අම්මා කියවලා ඇති, වනේ පන්නරය ලැබූ හැටිත් කියවලා ඇති, උණු හිමත් කියවලා ඇති, සැබෑ මිනිසෙකුගේ කතාවත් කියවලා ඇති. ලෙනින්ලා, පාවෙල්ලා , දුයිෂේන්ලා, ගෝර්කිලා, දොස්තොයිව්ස්කිලා ගැන ඔබතුමා රුසියන්
පොත පත කියවපු නිසා රුසියන් ජනතාවත්, ඒ පරිසරයත්, චිත්තරූපයක් ලෙස මැවිලා පේනව ඇති. ඔබ තුමා රුසියාවේ ගහ
කොළ ඇළ දොළ පරිසරය මිනිසුන්ගෙ ජීවන රටාව
ඔබ තුමාට හොඳින් දැනෙනව ඇති. ඒ නිසා රුසියාව ඔබට ළඟයි. ඔබ රුසියානුවන්ට බෙහෙවින්
ආදරෙයි. ඒත් මම හිතනවා දෙමළ මිනිසුන්,
මුස්ලිම් මිනිසුන් කන බොන විදිහ, ආගමික ඇදහිලි, ඔවුන්ගේ සංස්කෘතීන්, ඔවුන්ගේ පුරුදු, ඒ විදිහට ලං වෙලා සිංහල මිනිස්සුන්ට පේන්නෙ
නැතිව ඇති කියලා“.
මමත් ටිකක් ගැඹුරු කල්පනාවකට වැටුනා. සෞම්‍යයන් මහත්තයා කියන එක ඇත්ත. රුසියාව අපිට ළං කලේ පොත පත. මං රුසියාවට ගිහින්
නෑ. මං රුසියාවේ මිනිසුන් ඇසුරු කරලා නෑ. නමුත් මට රුසියාව ළඟයි. ඒ ළං කලේ පොත පත. කතාව ඇත්ත.
මට දෙමළ, ජනතාව මුස්ලිම් ජනතාව, ඒ
කියන දවස්වල දි ඒතරම් ලං වෙලා තිබුනෙ නැ.
“සෞම්‍යයන් මහත්තයා කොහොමද එතකොට සිංහල, දෙමල,
මුස්ලිම් ජනතාව අපි ලං කරන්නේ. “?
“මහත්තයෝ, මේ
ජාතිවාදි ප්‍රශ්නයට හේතුව මේක. සිංහල
මිනිහට දෙමළ මිනිහා ළං වෙලා නෑ. දෙමළ මිනිහට
සිංහල මිනිහ ළං වෙලා නැ. මුස්ළිම් මිනිහටත් එහෙම තමයි. මේ ළං නොවෙන්න හේතුව
දෙමළ සාහිත්‍ය සිංහලේට පරිවර්තනය, අනුවර්තනය වෙලා නෑ. ඒ නිසා
දෙමළ මිනිහගෙ හැඟිම් දැනිම් සිංහල
මිනිසුන්ට හොඳට දැනෙන්නෙ නැ. රුසියාව
ඔබතුමාලට දැනුනට අපේ දෙමල මිනිහා දැනෙන්නෙ නැ. ඒ වගේම සිංහල මිනිහ හිතන පතන විදිහ ඔවුන්ගේ
සංස්කෘතිය අපේ දෙමළ මිනිහට දැනෙන්නෙ නැ. මේ අපේ සහෝදරයො කියලා හිතෙන්නෙ නැ. අපේම
වුන් කියලා දැනෙන්නෙ නැ. ඒකට හේතුව මේ සිංහල පොත පත දෙමළට පරිවර්තනය වෙලා නෑ.
දෙමළට අනුවර්තනය වෙලා නැ. මහත්තයෝ මගෙ තාත්ත මැරුවත්, බාප්පල මැරුවත් මං කල්පනා කරා මේකේ වැරැද්ද මේ
මරපු මිනිසුන්ගෙ නෙමෙයි කියලා. මහත්තයා එදා අපේ තාත්තව කඩුවෙන් කපපු මිනිස්සුන්ට
දෙමල් මිනිහව හිත් වලින් ලං කරලා තිබ්බනං ඔය කඩුව උස්සන්නෙ නෑ මහත්තයා. මේක
යුද්දෙන් බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි . ඒ නිසා මම තීන්දු කලා සිංහල
පොත් අපේ මිනිසුන්ට කියවන්න දෙමළට පරිවර්තනය
කරන්න ඕන කියලා“.
සෞම්‍යයන් මහත්තයා ගැන වෙනම කියවීමක් අධ්‍යනය
කිරීමක් අවශ්‍ය වෙන්නෙ අන්න එතනදී. ලොකු ගැඹුරක් තියෙන ඒ අදහස මතුවීම වගේම ඒ අදහස්
ක්‍රියාවට නගන්න ගත්ත උත්සාහය හැම මිනිහටම ඇතිවෙන හැඟීමක්වත් උත්සාහයක්වත් නෙවෙයි.
ඔහු තාත්තල, බාප්පල මරපු උන්ට වෛර කලේ නෑ.
ඔහු මේ ප්‍රශ්ණය තේරුම් ගත්තෙ ප්‍රභාකරන් තේරුම් ගත්ත විදිහටවත්, රටේ බොහෝ අය
තේරුම් ගත්ත විදිහටවත් නෙවෙයි. ඒ තේරුම් ගැනීම විශිෂ්ඨයි කියලා මට හිතෙනවා.
මිනිස්සු මිනිස්සු ළං කරන්න, ඔහුගේ පළමු
පියවර වුනේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නවකතා කිපයක් දෙමළට පරිවර්තනය කිරීම. ඒ අනුව ඔහු විසින් මාර්ටින් වික්‍රමසිංහ පදනමට ලිපියක් යවනවා ඔබේ සිංහල නවකතා වන ‘විරාගයත් මඩොල් දූවත්‘
මට සිංහලට පරිවර්තනය කරන්න අවසර දෙන්න කියලා. වික්‍රමසිංහ
පදනමෙන් ඔහුට මේකට එවු පිළිතුරු ලිපිය සෞම්‍යයන් මහත්තයා එල්ලන් ආපු මල්ලෙන්
ඇදලා මට පෙන්නුවා. ඒ ලිපියේ වික්‍රමසිංහ
පදනමෙන් කියලා තිබුනා අපි ඔබට අපේ පොත් දෙමළට පරිවර්තනය කරන්න අවසර දෙනවා.
හැබැයි ඒ පරිවර්තන ප්‍රථමයෙන් අපට එවන්න. එම පරිවර්තන හරියට සිදුවී ඇති දැයි අපට අධ්‍යනය
කරන්න අවශ්‍යයි. ඒ අනුව සෞම්‍යයන් මහත්තයා ‘විරාගය , මඩොල්දූව ‘පරිවර්තනය කර වික්‍රමසිංහ
පදනමට යැව්වලු . වික්‍රමසිංහ පදනමෙන් මේක හොඳට දෙමළ දන්න හාමදුරු නමකට පෙන්නලා
අඩුපාඩු පෙන්නලා ආපසු එව්වලු. හෙළයේ මහ ගත්කතුවරයාගේ පොත් දෙමළට පරිවර්තනය කළ
පළමු පරිවර්තකයා තමයි අපේ සෞම්‍යයන් මහත්තයා.
|
Google Image |
මඩොල් දූව මේ
වෙන කොට විදෙස් භාෂා විසි තුනකට විතර පරිවර්තනය වෙලා තිබුනා. ඒත් දෙමල පරිවර්තනය වී
තිබුනේ නෑ. මේ කතාව මට කීවෙත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පුතා. ඔහු මට මුන ගැහෙන්න වුනෙත්, සුන්දරම් මහතාගේ පොත් සොයා ගන්න ඕන වුණ නිසා. සුන්දරම් මහතා
ලියපු මේ පොත් මිල දි අරන් පුස්තකාලවලට දෙන්න මට දැඩි ඕනකමක් ඇතිවුනා. නමුත් ඔහු ළඟ මේ පොත් තිබුනෙ නැ. මාර්ටින් වික්‍රමසිංහ පදනමෙන් තමයි මේ පොත් මුද්‍රණය
කරලා තිබුනෙ. අපි මේ කරන්න ගිය ව්‍යාපෘතිය
කරන කාලසීමාවේ දි වික්‍රමසිංහ මහතා ජීවතුන් අතර නෑ. මට දැන ගන්න ලැබුනා මාර්ටින්
වික්‍රමසිංහ මහත්තයගෙ පුතා පිටකෝට්ටෙ ප්‍රදේශයේ
මාර්ටින් වික්‍රමසිංහ පදනම පවත්වාගෙන යනව කියලා. අවස්ථා කිපයක් මම ගියා
වික්‍රමසිංහ මත්තයගෙ පුතා හමුවන්න. ඔහු කිව්වා
“එහෙම පොත් වගයක්
තාත්තා ඉන්න කාලේ පරිවර්තනය කලා තමයි. දැන් ඒවා සොයා ගන්න අමාරුයි. පරණ ගබඩාවක්
තියෙනවා. ඒකේ තියෙනව ද දන්නෙ නැ. ටෙලිපෝන් නම්බර් එක දිලා යන්න තිබුනොත් දැනුම් දෙන්නම්.“
මමත් ඔහුගේ දුරකථන අංකය ගත්තා. නමුත් ඔහුගෙන් මට
පිළිතුරක් නොලැබුන නිසා ඔහුට වට කිහිපයක් මම කතා කළා. දවසක් ඔහු මට කිව්වා
පරණ
පොත් ටිකක් තියෙනවා. හැබැයි විනාශ වෙලා. කාවෝ
කාලා. කැමති නම් අරන් යන්න.
මම ඒ වෙනුවෙන්
දවසක් කොළඹ ගියා. මම පොත් ටික අරන් ආවා. වික්‍රමසිංහ මහතාගේ පුතා පොත්වලට මුදල්
ගත්තෙ නැ. සෞමයන් මහත්තයා ලියපු පොත් මම බොහොම භක්තියෙන් බස් එකක දමා ගෙන බදුල්ලට
අරගෙන ආවා. සෞම්‍යයන් මහත්තයා සිංහල සාහිත්‍ය දෙමළට පරිවර්තනය කලේ මුදල් ලබා ගන්න
නොවෙයි. සිංහල මිනිසුන්ව දෙමළ මිනිසුන්ට ලං කරන්න. ඒ වගේ ම කුලසේන ෆොන්සේකා මහතා ලියපු
පාලම යට නවකතාව සෞම්‍යයන් මහතා දෙමළට පරිවර්තනය කරලා තිබ්බා. ඒ අනුව ගත්තම සුන්දරම්
සෞම්‍යයන් කියන්නේ සුන්දරම මිනිහෙක්. දිනක් ඔහු මා හමුවට ඇවිත් කිව්වා,
“මහත්තයෝ , මම දෙමළ
නවකතාවක් සිංහලට පරිවර්තනය කරගෙන යනවා. ඒත් මේක තවම අච්චු ගහගන්න නම් විදියක් හොයාගත්තෙ
නෑ“.
මේ කියන කාලයේ දි ඔහු විශ්‍රාමිකයි. ඔහුට ජීවත් වීමට සරිලන තරම් නිසි වැටුපක් තිබුනෙ
නෑ කියලා මම දන්නවා. ඔහු බොහොම සරල මිනිසෙක් . ඔහු අඳින පළඳින විදිහට ජීවත්වෙන විදිහට ඔහුට පොත මුද්‍රණයට මුදල් නැති
බව මට තේරුනා.
“මොකක් ද සෞම්‍යයන් මහත්තයා ඒ පොත“?
“දෙමළ
මිනිස්සු, විශේෂයෙන් වතු කරයේ දෙමළ මිනිස්සු ඉංදියාවේ ඉඳන් ලංකාවට ආපු හැටි.
ඉංදියාවෙ මහ ඉඩෝරෙකට අසුවෙලා ජිවත් වෙන්න අපහසු කාලවකවානුවක ඉංග්‍රීසින් මීට වඩා හොඳ
ජීවිතයක් ගත කරන්න පුළුවන් ලංකාවේ සැප සම්පත් තියෙනව කියලා නැව් පුරෝලා ගෙනැවිත්
මන්නාරමෙන් බස්සපු කතාවක් මහත්තයො. අතරමඟදි මිනිසුන් මැරුනු හැටි මේ සිතල
කඳුමුදුන් වල ජීවත් වුන විදිහ, නිසි කෑමක් බීමක් නොලැබුන ආකාරය, ඉන්න හිටින්න
ගෙයක් දොරක් නැතිව මිනිස්සු මැරුන හැටි, දෙමළ ගෑනු දරුවො දූෂණයට, අතවරයට ලක්වුණු හැටි, සූරා කෑමට ලක්වුනු හැටි
ලියවුන බොහොම වටින, සත්‍ය කරුණු තියෙන පොතක් තියෙනවා මහත්තයො දෙමළ භාෂාවෙන්. ඒක විශිෂ්ඨ කෘතියක්“ .
“කවුද
ඒක ලියලා තියෙන්නෙ“?
“ ඒක ලියල තියෙන්නෙ කෝකිලන් සුප්පයිය කියලා නෝන
කෙනෙක්.
“කෝ ඒ නෝනා“ ?
මම ඇහුවා.
“එයා
දැන් ඇමරිකාවේ. හැබැයි එයා බදුල්ලෙ හිටපු කෙනෙක්. එයා දැන් එහේ මහාචාර්යයවරියක්.
මම එතුමියගෙන් අවසර ගත්තා මේක සිංහලට පරිවර්තනය කරන්න. මේ තියෙන්නෙ එතුමිය මට අවසර
දීපු ලිපිය. මේ පොතට මම නම තියනවා හරිත මිරිඟුව කියලා“
සෞම්‍යයන්
මහත්තයා කිව්වා.
“ඈ..
සෞම්‍යයන් මහත්තයා. ඔබතුමා මේ තනියම කරපු වටිනා වැඩේ සංස්කෘතික ඇමතිතුමාට, අධ්‍යාපන
ඇමතිතුමාට එහෙම කිව්වෙ නැද්ද?. ඔය ඉහල නිලධාරීන් එහෙම මේ ගැන දැනුවත් කළේ නැද්ද? “?
“
වැඩක් නෑ මහත්තයෝ, මම මේ පොත් වි.ජ.මු. ඇමතිතුමාට පෙන්නුවා. ප්‍රේමදාස මහත්තයා ආපු
වෙලාවක ඔහුට මේ පොත්පත් ගිහින් ලියුමකුත් එක්ක බාරදුන්නා. ඒත් වැඩක් වුනෙ නෑ
මහත්තයා. එයාලා මේක තේරුම් ගත්තෙ නෑ මහත්තයා“.
“මම
සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි. සෞම්‍යයන් මහත්තයා ඔය පොත ඉවර කරන්න. මම උදව් කරන්න
පුළුවන් අය සොයා ගන්නම්. ඔය පොත ලියලා ඉවර
කරන්න. මම උදව් කරන්න පුලුවන් අය හොයාගමු. ඔය පොත අපි එළි දක්වමු“.
මම ඔහුට ධෛර්ය
දුන්නා. ඒත් දැනට වසර කීපයකට කලින් ඔහු
මිය ගියා. තවමත් ඒ පොත මුද්‍රණය කෙරුනෙ නෑ.
ඔහු මිය ගිය බව දවසක් මගේ මිතුරෙක් මට දැන්වුවා. දන්වපු දවස අවසන්
කටයුතු සිදුවන දවස. රටට වටිනා සේවයක් කලත් රටෙන් ඇගයීමකට ලක් නොවුනු මිනිසාට
ගෞරවයක් දැක් විය යුතුයි කියලා කල්පනා කරපු මම තිබුනු වැඩ පැත්තකට දාලා, බයිසිකලයක
නැගිලා පස්සර පැල්ගහ තැන්නට ගියා අවසාන
ගෞරව දක්වන්න ඔහුගේ මරණෙට රටේ ලොකු සාහිත්‍යධරයන් හෝ මැති ඇමතිලා ඇවිත් හිටියෙ නෑ. ඔහුට ජීවිතේට නොබෙල්ම තෑග්ග හම්බ වුනෙත් නෑ, ස්වර්ණ පුස්තක සම්මානය හම්බු වුනෙත් නෑ. යකඩ පතුරුවලින් හරි, ප්ලාස්ටික් හෝ ලී පතුරු වලින් හරි හදපු සම්මාන හරි කරපු වැඩේට මූල්‍ය ත්‍යාග හරි බලාපොරොත්තුවෙන් සෞම්‍යයන් මහත්තයා පොත් ලිව්වෙ නෑ. ඔහු බලාපොරොත්තු වුනේ සමාජ වටිනාකමක්. ඔහුට සමාජයෙන් ඊට සමාජ වටිනාකම් පෙරලා සමාජයෙන් ලැබිය යුතුයැයි මම විශ්වාස කරනවා. ඉතා චාම් සහ සරල විදිහට කෙරුනා. සෞම්‍යයන් මහතාට පුතුන් තුන්දෙනෙක් ඉන්නවා.
ඒත් ඒ අය සෞම්‍ය්‍යන් මහත්තයත් අපිත් අතර තිබුණු මේ ඇසුර දැන හිටියේ නැ. මම ඔවුන්ව
ඒ ගැන දැනුවත් කලා කළා.
සෞම්‍යයන්
මහත්තයාගෙ එක් පුතෙක් තමයි දැන් හාලිඇල විද්‍යා විදුහලේ ගුරුවරයෙක් ලෙස සේවය කරන
සෞම්‍යයන් මදනරමනන් මහතා. දෙවැනි පුතා සෞම්‍යයන් රැජිනකාන්ත්, වත්තල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරනවලු. බාල
පුතා සෞම්‍යයන් ප්‍රදීපන් මහතා. දැන් ඔහු මඩකලපුවේ ඕටමාවඩි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දන්ත වෛද්‍යවරයා ලෙස
සේවය කරනවලු. මම පසු ගිය දිනක ඔහුට කතා කළා. තාත්තාගේ පොත මුද්‍රණය කරමු නේද කියලා
ඇහුවා. කියන්න සතුටුයි. ඒ පොතේ අඩුපාඩු
බලලා මේ කාර්යය කළ යුතුයි කියන හැඟිමෙන් රුහුණු සරසවියේ කථිකාචාර්යවරයකුට පොත බාර
දීපු බව ඔහු මට පැවසුවා.
“කොහොමද පොත මුද්‍රණය කරන්නේ “.
මම ඇහුවා
“ඒක
තවම හිතුවෙ නැ. ලක්ෂ හතරක් පහක් යයි. වියදම දරා ගන්න අමාරුයි. පොත් සමාගමකට ගනියිද
දන්නෙත් නෑ. ඒ ගැනත් හොයලා බලන්න ඕන. තාත්තටත් මේක බැරි වුණා. අපටත් ටිකක් අමාරුයි“.
සෞම්‍යයන්
සුන්දරම් මහතා වටිනා සුන්දර ශ්‍රේෂ්ඨ මිනිසෙක්.
ඒ මහතාගේ වටිනාකම සමාජයට දෙන්න ඕන කොහොමද කියලා මම ඒ දවස්වලත් කල්පනා කළා. ඒක
සෞම්‍යයන් මහතාට කරන ගෞරවයක් වගේම සමාජයට ලොකු ඉගැන්වීමක් ඒකෙන් කරන්න පුලුවන්. ඉරිදා
ලංකා පත්තරේ වැඩ කරන ලේඛකයෙක් වුණ ප්‍රියදර්ශන දයාරත්න මහත්තයට මම කතා කළා. සෞම්‍යයන්
මහත්තය ගැන කිව්වා. ඔහු කියපු පලමු පැයේදීම සෞම්‍යයන් මහතාගේ වටිනාකම තේරුම්
ගත්තා. ඒ අනුව ඔහු වට දෙකකදීම සුන්දරම්
මහත්තය ගැන පත්තරේ ලිව්වා. ලිපිය ලියන්න ඔහු කොළඹ ඉඳන් බදුල්ලට ආවා. පස්සර දක්වාම ගියා. ඒ වගේම ලක්බිම
පත්තරේ පද්මිනි මාතරගේ කියන ලේඛිකාව මට කොළඹදි
දවසක් මුන ගැහුනු වෙලාවේදි මගෙන් ඇහුවෙ මොනවද බදුල්ලෙ විස්තර කියලා? මම
සුන්දරම් මහත්තය ගැන කිව්වා. ඇයත් පළමු පැහැදිලි කිරීමෙන්ම සුන්දරම් මහත්තය ගැන
අඳුනගත්තා. ඒ අනුව සුන්දරම් මහත්තය ගැන ඉරිදා ලක්බිමෙත් හොඳ ලිපියක් පලවුණා. රටට
ලෝකෙට, ජාතිවාදයට එරෙහිව මතවාදය පතුරවන්න උත්සාහ කළ සෞම්‍යයන් මහත්තය ගැන
තව බොහෝ දේ ලියන්න තිබුනත් මගෙ හිතේ
තිබුණ බර සැහැල්ලු කර ගන්න මේ අකුරු
ඇමුණුම කළ බව කාරුණිකව දන්වමි.