අඩවියේ හිතවතුන්

Tuesday, June 21, 2016

වර්තමානයේ දුප්පත්කමේ කිරුළ ලද සශ්‍රීකත්වයෙන් බැබැළුන ඓතිහාසික ඌව




“තදින් එන සුළං හඬ සලකා හූවේ
පෙදෙන් නම යෙදුණු බව පවසමි ඌවේ“


ජන කවියා පැවැසු පරිදි ඌවට නම් ලැබුණේ කඳු මුදුන් සිට සිසාරා හූ හඞ නඟමින් එන සුළං හඬ හේතුවෙන්, ඌව යන නම සැදුණු බවකි. එසේම උල්පත් බහුලව පැවැති පළාතක් බැවින් ඌල් නමින්ද පසුව කටවහරින් ගොස් ඌව නමට නාමකරණය ලද බව ද, පැවැසේ. මේ ආකාරයට ඌව නමින් නම ලැබීමට තවත් ඉතිහාස කතාන්දර ගණනාවක්ම පවති.




මහවැලි මහ නදියෙන් පෝෂණය වන්නාවු ද, පිදුරුතලාගල, නමුණුකුල, මඩොල්සිම කඳුවැටියෙන් ද, හපුතලේ කඳු මුදුන්වලින් ද ඇරඹෙන වළවේ ගඟ, මැණීක් ගඟ, ඌමා ඔය, කිරිඳි ඔය, බඳුලු ඔය, ලොග්ගල් ඔය, හෑපොළ ඔය, ගලඔය, මාතැටිල් ඔය, කුඹුක්කන් ඔය, උල්හිටිය ඔය, මාඳුරුඔය, ඇතුළු මහා ගංඟා, ඔයවල් වලින් සුසැදි සශ්‍රීක වු ඌව පළාත රටේ ඓතිහාසික වැදගත් තැනක් හිමි කරගත් පළාතකි.


මහවැලි නදි නිම්නයේ සඟවා ඇති ප්‍රාග් ඓතිහාසික යුගයට දිවෙන ඉතිහාසය ද එලෙසම රාවණා ඇල්ල ගිරි ශිඛර අතර ද සිරව ඇති ඉතිහාසයක් ඇති බවද පැවසිය යුතුය. ඌවේ මනරම් බව සොබාදහමෙන් සිතුවම් කළ රටේ උසම දියඇල්ල වු බඹරකන්ද ද, කාගෙත් නෙත් සිත් වසඟ කරන දියළුම, දුංහිඳ, රාවණා ඇල්ල, පීස්ස ඇල්ල බෝඹුරුඇල්ල ආදි දිය ඇලි ද, ඒවා නිර්මාණයට දායකවූ ප්‍රතාපවත් පෞරුෂයකින් නැඟි සිටි නමුණුකුල, මඩොල්සිම, හපුතලේ කඳු ද සොබාදහම ඌවට උරුම කරදුන් අමිලවූ මනරම් දයාද විය.


බුදුරාජාණන් වහන්සේගේ පහස ලැබූ මේ රටේ පළමු බිම්කඩ මහියංගනය විය. එසේම මුතියංගණය, කිරිවෙහෙර ලොව බෞද්ධ ජනයාටම පුජනීය ස්ථාන බවට පත්විය. එසේම ආසියාතික සමාජ රටාවකට ඉතිහාසයෙන් උරුමකම් කියු අපේ රටේ වැසියන් බෞද්ධාගමින් පෝෂණය විය. ඒ අනුව ඌව දනව්ව පුරා ඓතිහාසිකව වැදගත් කමින් යුක්ත බෞද්ධ වෙහෙර විහාර රාශියක් ඉදිවුණි. ඒවාද ඌව බැබැළු ආභරණ විය.



දුටුගැමුණු  රජ දවස රට එක්සේසත් කිරිමේ මහා සටනක් දියත්වු බව ඉතිහාසයේ සඳහන් වේ. එම සටනට ඌව වෙල්ලස්සෙන් මිල කල නොහැකි දායකත්වයක් ලබාගත් බවටද ඉතිහාසය සාක්ෂි දරයි. යුද්ධයක් කිරිමට ප්‍රථමව ඊට රට සුදානම් කළ යුතුය. රටේ ආර්ථිකය ඊට අනුරුප ලෙස ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා කෘෂි කර්මාන්තය නඟා සිටුවා ආහාර අතින් ස්වයංපෝෂිත බවක් ගොඩනඟා ගත යුතුය. ඒ සඳහා මනා සැලසුම් සහගතව සුදානම් විය යුතුය. දුටුගැමුණු  රජතුමාගේ සහෝදරයා වු සද්ධාතිස්ස කුමරුට එම වගකිම පැවැරු බවත් ඒ අනුව වෙල්යායවල් ලක්ෂයක්, වෙල්ලස්සට, ඌවට උරුම වු බවත් ඉතිහාසය පවසයි. ඌව යනු මහා ධාන්‍යාගාරයක් බවට පත්වු වෙල්යායවල් ලක්ෂයක්ද, වැව් අමුණු ලක්ෂයක් ඉක්මවු ප්‍රමාණයක් ද, මනා ස්වයං පෝෂිත භාවයෙන් යුත් ගෙවතුවලින් ජනාවාස වූ බිමක්ද, මේ සශ්‍රීකත්වය හේතුවෙන් කායික හා මානසික ශක්තියෙන් හෙබි ජනතාවක්ද උරුම වු සුවිශේෂී බිමක්ද බවට ඌව පත්විය. 



1815 මාර්තු 02 වන දින මුළු ශ්‍රී ලංකාද්වීපයම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විමත් සමඟ ස්වදේශික ලාංකික ජනයා මහත් මානසික පීඩාවකට, ආර්ථික කඩාවැටීමකට, සංස්කෘතික විනාශයකට ගොඳුරු වන්නට විය. මෙම ආර්ථික සමාජ බිඳවැටීම හමුවේ අධිරාජ්යවාදී බලපැමෙන් රට මුදවා ගැනිමට, මව් බිමට නිදහස ලබා ගැනිමට එඩිතරභාවයකින් නැඟීසිටීමට නම්, ආර්ථික, මානසික ශක්තිය අවැසි විය.  එම තත්වයන් සැපිරී තිබු ඌව දනව්ව එහිදි පෙරමුණු කාර්යයන් ඉටු කළ බව අප කවුරුත් දන්නා ඉතිහාසයේ දැක්වේ. ඉංග්‍රීසීන් විසින් හඳුන්වන ඌව වෙල්ලස්ස කැරැල්ල, සැබෑ ලෙසම ජාතික නිදහස් සටනක් විය. එය ඌවේ ජනයාගේ නායකත්වයෙන් හා දායකත්වයෙන් ඇරඹිණි. 1815-1818 කාලය තුල ඉංග්‍රීසීන්ට රට අත්හැර යාමට තරම් ප්‍රබල බලපෑමක් එල්ල කළ, ඔවුන් කළකිරීමකට ලක්කළ, මෙම සටන ස්වදේශිකයන්ගේ තනතුරු, තානාන්තර, තුටු පඬුරු හමුවේ පාවාදිමේ හා, බිඳවැටිම් හමුවේ ජාතික නිදහස් සටන අඩපණ විය. සටනින් පසු තුන් අවුරුදු කාලයක් ඉංග්‍රීසීන් විසින් දියත් කළ යුධ නීතිය හේතුවෙන් ඌව දනව්ව මහත් විනාශයකට ගොදුරුවිය.  වැව් අමුණු විනාශ කරණ ලදී. කෙත් වතු ද, ඵල දරන ගස් ද කපා බිම හෙළිය. හරකාබාන මරා දැමිණි, වෙහෙර විහාර බිමට සමතලා කරන ලදි. ඌව ජන ශුන්‍ය ප්‍රදේශයක් බවට පත් කිරිමේ හා රටේ ආර්ථික කොඳුනාරටිය බිඳ දැමීමේ මෙහෙයුමක් දියත් විය. ඌවේ අභිමානය, සශ්‍රීකත්වය, සුනුවිසුණු කර දමා අදට වසර 200 කට ආසන්න වී ඇත.


2015 වසරේ මුදල් අමාත්‍යංශයේ වාර්තා පවසන පරිදි ලංකාවේ පළාත් නමය අතුරින් දරිද්‍රතාවය වැඩිම පළාත එනම් දුප්පතුන් වැඩිම පළාත ඌවය. ඌව දුප්පත් වුවාද? දුප්පත් කළාද? සැබැවින්ම ඌව පළාත බලහත්කාරයෙන් දුප්පත් කළ පළාතකි. 1948 නිදහසින් පසු පාලකයින්, බලධාරින් ඌව වෙල්ලස්සට සාධාරණයක් ඉටු කළේ නම් 2015 වන විටත් දුප්පත්කමේ අංක එක ලබමින් ඌව දුප්පත්කමේ කිරුළ හොබවන්නේ නැත. ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තේරීමේදි වසර ගණනාවක්ම පසුගිය කාලයේ වැඩිම දුප්පතුන් සිටිතැයි වාර්තාවූ එනම් දුප්පත්කමේ අංක එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සියඹලාණ්ඩුව විය. 1815-1818 පැවැති අධිරාජ්යේ විරෝධී සටනේදී “සිය බලයෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව ආණ්ඩුවක් සැදී ප්‍රදේශය”  පසුව සියඹලාණ්ඩුව නමින් විරුදාවලිය ලදී. එම ප්‍රදේශය ලංකාවේ දුප්පතුන් වැඩිම ප්‍රදේශය වුවේ කෙසේද? එසේම ලංකාවේ දෙවනුව දුප්පතුන් වැඩීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය රිදිමාලියද්ද ද, තෙවනුව මීගහකිවුල ද, සිව්වෙනුව, කන්දකැටිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශය ද වේ. මේ සියලු කොට්ඨාශ ඌවට උරුම විය. සශ්‍රීකත්වයේ හා ස්වයංපෝෂිත භාවයෙන් අංක එකට තිබූ පළාතක් දුප්පත්කමින් පළමු තැනට පත්වු මෑත ඉතිහාසය එබඳුය. ලෝකයේ යුධ අපරාධ හොයන යුගයක, දඩුවම් දෙන යුගයක, වන්දි ගෙවන යුගයක, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහමුලින්ම යටත් කරගෙන කළ මහත් විනාශය, කළ මහා කොල්ලයට අප රටටද සැබෑ ලෙසම වන්දි ගෙවිය යුතුය. සාධාරණය ඉටු කළ යුතුය.



එබැවින් ඌවේ අභිමානවත් ඉතිහාසය නැවත ලිවිය යුතුය. නැවත කියවිය යුතුය. ඒ අනුව ඉදිරි ලිපි  තුලින් ඌව වෙල්ලස්සේ  ඉතිහාසය නැවත සටහන් කරමු. එහි පළමු දිගහැරුම මෙලෙස නිමා කරමු.


මා විසින් "කර්ම" සඟරාවට ලියූ ලිපියකි

Saturday, June 11, 2016

සුන්දර වූ සුන්දරම් සෞම්‍යයන්

මගේ හිතට මහ බරක් වෙච්ච කතාවක් මගේ හිතේ කොනක කාලයක සිට තැන්පත් වෙලා තියෙනවා. විටින් විට ඒ කතාව හිත කොනිත්තමින්, පහුරුගාමින් මට සිහි වුණු අවස්ථා බොහෝ තියෙනව. මම හිතා ගත්තා ඒ කතාව කවද  හරි, කොතන හරි ලියා තියන්න ඕන කියලා.  ඉතිහාසයට හරි එකතු වෙන්න . ඒ කතාව කියන්න අද මට අවසර දෙන්න.  

“හලෝ... හලෝ, මම ඩොක්ටර් දයාරත්න“.  

“ආ.. ඔව් ඩොක්ටර්. කතා කරන්න . මොනවද මේ දවස් වල කරන්නෙ?“

 මට ඒ දුරකථන ඇමතුම ආවේ දෙදහස් පහ වසරෙ දවසක, බදුල්ල මහ රෝහලේ සේවය කරපු විශේෂඥ වෛද්‍ය දයාරත්න මහතාගෙන්, අද ඔහු අම්පාර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා.  දුරකථන ඇමතුම අරගත් ඩොක්ටර් රටේ තොටේ වෙන දේවල් කතා කරන්න ගත්තා.  ඔහු සාමාන්‍යයෙන් කතාකරන විට දුරකථනයෙන් වුනත් විනාඩි තිහක්, හතලිහක්  සමහර විට පැයක් වගේ කාලයක් බොහෝ වෙලාවට ගන්නවා. ගහ කොළ , සතා සීපාවා,  ආදි විවිධ විෂයන් ගැන ඔහු කතා කරනවා.  ඩොක්ටර් මගෙන් අහනවා,   

“හම්බවෙන්න බැරිද? මේ දවස් වල විවේකයක් නැද්ද? කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. පුළුවන් නම් මුණගැහෙමු“.  

“ඩොක්ටර්, මේ දවස් වල වැඩ ටිකක් වැඩියි. රෑ වෙලා නම් පුළුවන් වෙයි“.

 “රෑ වුනත් කමක් නෑ. කීයට හරි එන්න පුළුවන් නම් හොඳයි. කවදද එන්නෙ“? 

 “ ම්..... එහෙම නම් හෙට රෑට හමු වෙමු.   කල් දාන්න ඕනි නෑ .“?

මම යෝජනා කලා

“කොහෙදිද හමුවෙන්නේ මම එන්න ද“?

 ඩොක්ටර් ඇහුවා.

 “ නෑ මම එන්නම් ඩොක්ටර්“.  

මම කිව්වා.

 ඒ අනුව අපි පසුදා රාත්‍රියේ හමු වෙන්න තීරණය කළා. ඒ කියපු රාත්‍රියේ වැඩ ටික ඉවර කරලා රාත්‍රී නමයට විතර ඩොක්ටර් හමු වෙන්න යොදා ගත්තා.  බදුල්ලේ පුවක්ගොඩමුල්ල  වෛද්‍ය නිල නිවාසෙට ගිහින්  ඩොක්ටර්ගෙ කාමරේ සඳලුතලේ පුටු දෙකක් තියාගෙන පාන්දර දෙක තුන වෙනකම් අපි කතා කළා. දිගාමඬුලු වනපෙත ගැන, මේ වනය පිළිබඳ ලියවුණු පොතපත ගැන, මුස්ලිම් සංස්කෘතිය ගැන, ඔහු සංස්කරණය කරන අලුත් පරිසර සඟරාව ගැන, ඇතුළු බොහෝ මාතෘකා ඔස්සේ ඔහුත් සමඟ බොහෝ දේ කතා කළා.  

මා දුටු වෛද්‍යවරු අතර  ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ ඔහු විශේෂඥ  වෛද්‍යවරයෙක් නිසා නෙවෙයි. ඔහු වෛද්‍යවරයෙක් ලෙස හඳුන ගන්න පුළුවන් රෝහලේ දි විතරයි. පාරේ බසයේ සාමාන්‍ය මිනිසුන් සමග යන, සාමාන්‍ය ලෙස අඳින පලඳින, වෛද්‍යවරයෙක් ලෙස මම ඔහුව හඳුනාගෙන සිටියා. ඔහු කොළඹ  කුලි නිවසක ඉන්න කාලයේ දි පවා මම ඔහුව හොඳින් දැන සිටියා. ඔහු ගොඩක් පත පොත කියවන කෙනෙක්. ඒ වගේම පරිසරය ගැන විවිධ විෂයන් පිළිබඳ පොත පත කියවන, පරිසරය ගැන සොයන, අධ්‍යයනය කරන හා විවිධ දේශපාලන මාතෘකා කතා කරන කෙනෙක්. ඔහු මාත් සමඟ කතා කරන ගමන් ඇහුවා,

 “මොනවද මේ දවස් වල විශේෂයෙන් කරන වැඩ“?

“ගම්බිම්වල වැඩ කිහිපයක් මේ දවස්වල කරනවා. ඩොක්ටර්, මේ දවස් වල අපි සල්ලි ටිකක් හොයා ගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ලේඛකයන් ලියපු පොත් පත්  මිලට ගෙන ඔවුන්ගෙ අතින්ම මේ දිස්ත්‍රික්කයේ පුස්තකාලවලට දෙන්න ඕන කියලා වැඩ පිළිවෙලක් හදලා තියෙනවා“. 

“ආ.. ඒක හොඳ වැඩක් ඒ වැඩේ  දැන් කොච්චර දුරට ගිහින් ද?“

 ඩොක්ටර් ඇහුවා.

 “ඒ පොත් පත්  මිලදි ගන්න වැඩේ භාර දුන්නෙ, ඌව පළාත් සභාවෙ සංස්කෘතික අමාත්‍යංශයට. භාර දීලා මාස කිපයක් වෙනවා.


“ආ.. පොත් ටික දැන් අමාත්‍යංශයෙන් අරගෙනද තියෙන්නේ?“


“නෑ අමාත්‍යංශය කියනවා, ලේඛකයෝ පිළිබඳව විස්තරවත්, බදුල්ල දිස්ත්‍රික්කයෙ ලේඛකයන් ලියපු පොත් ගැනවත් අමාත්‍යංශයෙ නෑ කියලා“.   


“හහ්.... හහ්... හහ්... ඒකට මොකද කලේ“?    


“ඩොක්ටර් අපි හොයාගෙන ගියා අපේ පලාතේ ඉන්න පොත් පත් ලියපු අයව. අද වෙන කොට ලංකාවේ අග්‍රගන්‍ය කෙටි කතා කරුවෙක් තමයි නිශ්ශංක විජේමාන්න කියන්නේ. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මම නිශ්ශංක  විජේමාන්න මහත්තයා මුනගැහුනා. ඒ  වගේම කවියට ප්‍රසිද්ධ ලේඛකයෙක් තමයි කැටවල බුද්ධසිරි හාමුදුරුවො. මම උන්වහන්සෙත් උඩුවර පුරාණ විහාරෙදි  මුණගැහුනා. ප්‍රසිද්ධ ගීත රචකයෙක් වගේම කවියෙක් වුණු ‘තුමුනු නමුණුකුල ගිරි හිස උදුල සඳමඬල දුටුලෙද‘ කියන සිංදුව ලියපු සුදත් ගාමිණි බණ්ඩාර මහත්තයත් මුනගැහුණා. ඔවුන් හරහා බදුල්ල දිස්ත්‍රික්කයේ පොත්පත් ලියු ලේඛකයන් තව තවත් සොයා ගත්තා“ 


 “දැන් කොච්චර ලේඛකයන් හොයාගත්තද බදුල්ලෙන්“ ?  


ඩොක්ටර් මගෙන් ඇහුවා.


 “ මම  මේ වෙන කොට ලේඛකයන් හැට දෙදෙනෙකුගේ තොරතුරු සොයා ගත්තා. අපි ඒවා සංස්කෘතික අමාත්‍යශංයට භාර දුන්නා.


 “දෙමළ මුස්ලිම් ලේඛකයන් සොයා ගත්තෙ නැද්ද දිස්ත්‍රික්කයේ ඉන්න“ ?


ඩොක්ටර් මගෙන් ඇහුවා


 “එහෙම අය සොයා ගන්න බැරි වුණා. එහෙම කවුරුත් හමු වුනේ නැ ඩොක්ටර්“.

  
“මම දන්න හොඳ මනුස්සයෙක් ඉන්නවා දවසක් මම හමුවෙලා කතා කලා. ඒයා දෙමළ කෙනෙක්. විදුහල්පතිවරයෙක් , ගුරු උපදේශකවරයෙක් .දැන් නම් විශ්‍රාම ගිහින් ඇති. ඔහු පොත් පත් ලියපු කෙනෙක්“.


මම ඒ ගැන දැඩි උවමනාවකින් ඔහු ගැන තව තවත් විමසුවා.
   

“කවුද ඒ, කොහෙද ඉන්නෙ, මොනවද ලියල තියෙන්නෙ ඩොක්ටර්“?


“ මම වැඩි විස්තර දන්නෙ නෑ. පස්සර පැත්තෙ කෙනෙක්. සෞම්‍යයන් කියල මහත්තයෙක්.  එයා සිංහල පොත් දෙමළ භාෂාවට පරිවර්තනය කළ කෙනෙක්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොත් දෙමළ බසට පරිවර්තනය කළ පළමු ලාංකිකයා ඔහු. ටිකක් හොයල බලල හමුවෙන්නකො“.


  මම ඒ යෝජනාව හොඳට හිතට ගත්තා . අන්න එතැන් සිට මේ කියන සෞම්‍යයන් මහතා ගැන මම සොයන්න ගත්තා.  දින කීපයකට පසු මම දෙමළ හිතවතුන් කිහිප දෙනෙකු හමුවී ඔහු ගැන  තොරතුරු සෙව්වා . තොරතුරු සොයාගන්න අපහසු වුණා. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් විමසා බැලුවා. එක් මාධ්‍යවේදියෙක් වුන හැරිසන් අංකල් කිව්වා


ඔව් එහෙම මහත්තයෙක් හිටියා. එයා හිටියේ පස්සර පැල්ගහතැන්න කියන   ගමේ.  ඒ පැත්තෙ ගියොත් සොයා ගන්න පුළුවන් “


ඔහු කිව්වා.  මම දවසක් මේ සොම්‍යයන් මහතාව සොයාගෙන යන්න  තීන්දු කළා.  ඒ අනුව මා තව සහෝදරයෙකුත් සමග බයිසිකලයක නැගී පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයට ගියා.   ස්ථාන දෙක තුනකින් විමසන විට සෞම්‍යන් මහතාගේ නිවස පිහිටා තිබෙන ඉසව්ව සොයා ගන්න පුළුවන් වුණා.  ඒ අනුව පස්සර පැල්ගහතැන්න අටේ කණුව   කියන   ප්‍රදේශයේ බෝගහ හන්දිය කිට්ටුව     පාර අයිනෙම පුංචි ගේට්ටුවෙන් ඇතුළුවෙලා මම ගිහින් දොරට තට්ටු කළා.  තුන් හතරපාරක් තට්ටු කරන විට  සරමක් ඇඳගත්, උඩුකය නිරුවත්, කළු, මිටි  මහත්මයෙක් දොර විවෘත කරලා හිනා වෙලා ඇහුවා,


 “මහත්තයලා කවුද“?


  මම කිව්වා 


“අර පොත් ලියපු සෞම්‍යයන් මහත්තයා හොයාගන ආවා.“


  හිනා වෙලා ඔහු කියනවා,


“ආ... එන්න එන්න ගේ ඇතුළට“.


 “මේ සෞම්‍යයන් මහත්තයද“ ?


“ඔව් මම තමයි සුන්දරම් සෞම්‍යයන් කියන්නෙ. වාඩි වෙන්න මහත්තුරු. කොහේ ඉඳලද ආවේ? මොකට ආවේ? මොකටද මම ගැන සොයන්නෙ“? 


ඔහු මගෙන් ඇසුවා.  මම හිනාවෙලා කතාවට එකතු කරගත් ඔහු සමඟ සුහඳ පිළිසඳරක යෙදුනා.  ඒ කතා බහෙන් බොහෝ දේ දැන ගත්තා. ඒ දැන ගත්ත දේවල් පසුව සොයා බැලීමෙන් මා හොඳින් තවත් තහවුරු කරගත්තා. අවසානයේ ඔහු සම්බන්ධයෙන් මගේ හිතේ යම් බර තැබීමක්, යම් ගරුත්වයක් පිළිසිඳ ගත්තා. ඔහු නමේ අරුතෙන්ම බොහෝ සුන්දර මිනිසෙක්.  ‘සුන්දරම් සෞම්‍යයන්‘  ඔහුගෙ නම.  ඔහුගේ ජීවිත කතාව ලෝකේ  කවුරුන් හෝ විසින් ගැඹුරු කතාවක් ලෙස ලිවිය යුතුයි කියල මම හිතනවා. ඔහු බොහෝ දුරට හිතපු  මනුස්සයෙක්. නිහඬව සමාජයට මෙහෙවරක් කරන්න හිතපු පුද්ගලයෙක්  කියලා ඔහුගේ කතාවෙන් මට ඒත්තු ගියා.  ඔහුගේ තොරතුරු එක දවසකින් නෙමෙයි, අපි කිපවරක්ම ඔහු මුන ගැහිලා දැනගත්තා.  සෞම්‍යන් මහතා විටින් විට කියපු කතාව කොතනින් ද මම පටන් ගන්නේ.  ඒක බොහෝම ගැඹුරු කතාවක්.  මම ඔහු මුනගැහෙන්න ගියේ ඔහු ලියු පොත් ටිකක් මිලට අරන් ඔහු අතින්ම පලාතේ දරුවන්ගේ පුස්තකාලවලට  දීමේ ව්‍යාපෘතිය ගැන කතා කරන්න.  නමුත් ඊට වඩා වටිනා සංවේදී ගැඹුරු කතාවක් මට ඔහු සමඟ කතා කරන්න සිදු වුණා.  අපි කීපවරක්ම මුන ගැහුනා.  ඒ නිසා මට ඔහුගේ ජීවිත කතාවේ බොහෝ දේවල් අතපත ගාන්න පුළුවන් වුණා.  සුන්දරම් මහතා ගුරු වෘත්තියට එනවා  ඒ තරුණ කාලේම. බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිපයකම ඔහු සේවය කරනවා.  ආන්න ඒ කාලෙම අපේ    රටේ ජාතිවාදි   කලකෝලාහල  ඇති   වෙනවා.  බදුල්ල නගරයත් කළු දුමාරයෙන් පිරුණු කාලයක්.  ඒ කාලේ මම පාසල්  ශිෂ්‍යයෙක්.  නමුත් මම අහලා තියෙනවා,  සිංහල මිනිසුන් දෙමළ මිනිසුන්ගේ කඩවල්, ගෙවල් ගිනි තැබු  බවත්,   ඇතැම් කඩවල් කොල්ලකෑ බවත්, මිනිසුන් මරා දැමු බවත්.   ඒක තමා සිංහල ජාතිවාදින්ගේ   තත්වය.  දෙමළ ජාතිවාදීනුත් සිංහල මිනිසුන්ට හිරිහැර කළා කියලා අපි අහලා තියෙනවා. කොහොම වුනත් මේ දිස්ත්‍රික්කයේ  1983 දී වැඩිපුරම බැට කෑවේ අසරණ දෙමළ මිනිසුන්. අසුතුනේ කළු ජුලිය. රටම ජාතිවාදී කලකෝලාහල වලින් අඳුරට ඇදල දැමූ මේ කලබලයෙන් වැඩිපුරම  බැට කෑවෙ දෙමළ මිනිස්සු. අද ලෝකය ගත්තත් මේ ජාතිවාදය මහ ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන්නේ.  


ලෝකය කෙතරම් දියුණු යැයි කීවත්  ජාතිවාදය, ආගම්වාදය, කළු සුදු භේදය  ලෝකයේ තැනින් තැන පවතිනවා. තාම ලෝකෙට බැරිවුනා මේ පසුගාමී ලක්ෂණ ලෝකෙන් තුරන් කරන්න. ලෝකෙම මිනිස්සු මනුස්සයො හැටියට සමගි කරන්න බැරිවුනා. අපේ රටේත් තවම මේ තත්ත්වය පවතිනවා. ජාතිවාදයට හොඳ පිළිතුරක් හොයපු කෙනෙක් තමයි සුන්දරම් මහත්තයා.



සුන්දරම් මහත්තයා ගුරු වෘත්තියට ඇවිත්, අසු තුනේ ඔහු රැකියාව කරන් ඉන්න කොට, ඔහුගේ පවුල මහ ව්‍යසනයකට මුහුණ දුන්නා.  මහ ඛේදවාචකයකට මුහුන දුන්නා.  ඒ මේ ජාතිවාදය නිසා. 1983 වෙනකොට සෞම්‍යයන් මහත්තයගේ මහ ගෙවල් තිබිලා තියෙන්නෙ  බදුල්ලෙ, බදුළු ඔය අසබඩ,  බස් ඩිපෝව ආසන්නයේ.  සෞම්‍යයන් මහත්තයගේ තාත්තගේ නම  ‘කුප්පමුත්තු සුන්දරම්‘.  කුප්පමුත්තු මහත්තයට සහෝදරයන් දෙදෙනෙකු ඉඳලා තියෙනවා  ‘ සුන්දරම් ගනේෂන්, සුන්දරම් රාජේෂ්වරම්‘  කියලා.  සෞම්‍යයන් මහත්තයගෙ තාත්තාත් සහෝදරවරු දෙදෙනාත් ඒ කාලේ ජීවෝනෝපාය ලෙස කරල තියෙන්නේ   දර සොයලා පොඩි ලොරියකින් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවලටත්,  බේකරිවලටත් දර සපයපු එක. අසු තුනේ කලබල කාලේ දි මේ සෞමන් මහත්තයගේ  තාත්තාත් බාප්පලා දෙදෙනාත් දර ලොරියෙන් අරගෙන යන වේලාවක මගකදී ඔවුන්ව අල්ලාගත් සිංහල ජාතිවාදීන් විසින් අමානුෂික ලෙස කපා කොටා මරලා අර දර ලොරියටම දමා තෙල් දාලා ගිනි තියලා තිබුනා.  මෙයින් භීතියට පත්  සෞම්‍යයන් මහත්තය ඇතුළු මිනිසුන් තමන්ගෙ නිවාස අතහැර තේ වතුවල හැංගිලා කෑමක් බීමක් නොමැතිව මර බියෙන් තැති ගෙන දවස් ගනන් හැංගිල ඉඳල හිමින් සීරුවට පල්ලම් බැහැල  මඩකලපුව ප්‍රදේශයට ගිහින් තියෙනව. ඒ සුන්දරම් මහත්තයගේ කතාව.
 
Google image

සිංහල  ජාතිවාදයට ගොදුරු වෙලා  පවුලක් විනාශ වෙච්ච මිනිස්සු. සුන්දරම් මහත්තයගේ තාත්තා හා බාප්පලා මරලා ,ගෙවල් ගිනි තියලා, අළුදූලි බවට පත් කරල තියෙනවා. සුන්දරම් මහත්තයගේ තාත්තගේ සහෝදරයන්ගෙ ගෙවල්ද ගිනිබත් කරලා අළු දූලි බවට පත් කරල තියෙනවා. ඒ නිසා ඔවුන්ට මේ පලාත අතහැර යන්න සිදු වෙලා තියෙනවා. සුන්දරම් මහතා ගිහින් තිබුනේ මඩකලපුව ප්‍රදේශයට.  එහේ ඔහු පාසල් ගණනාවක  ඉගැන්විම් කරපු බව මට කිව්වා. එරාවුර් සිංහල මහ විදුහලේ සිංහල ගුරුවරයා. ඒ වගේම  ‘තියාවටුවාන්‘ විදුහලේත් ඔහු සේවය කරා. කල්කුඩා විදුහලේ ඔහු විදුහල්පති ලෙස සේවය කල බවත් කිව්වා.  එහෙම වැඩකරන අතරතුර ඔහු කල්පනාකර තිබෙනවා, මේ රටේ මේ ජාතිවාදය නැති කරන්න මේ පාලකයන්ට තවම බැරිවුණා. ඇයි මිනිස්සු කතාකරන භාෂාව අනුව බෙදිලා මරාගන්නේ. මේක නවත්තන්න ඕන. මේකට පිළිතුරක් සොයන්න ඕන.  ඒ පිළිතුරු සොයා  ගිය ගමන දිනක් ඔහු මට අපුරූවට පැහැදිලි කළා.  පැය එකහමාරක් දෙකක් විතර කතා කර කර ඉන්න ගමන් ඔහු මගෙන් මෙහෙම ඇසුවා.


 “දැන් ඔබතුමාට අපේ දෙමළ මිනිසුන් ටිකක් ළඟින් දැනෙනවද? දෙමළ මිනිස්සුන්ගේ සංස්කෘතිය පිලිබඳ වැටහිමක් තියෙනවද? දෙමළ මිනිසුන් තමන්ගේම මිනිසුන්  වගේ දැනෙනවද“?


සෞම්‍යයන් මහත්තයා මගේ හිතට දැනෙන්න එහෙම ප්‍රශ්නයක් ඇසුවා.  


“සෞම්‍යයන් මහත්තයා, මට සිංහල , දෙමළ , මුස්ලිම් කියලා භේදයක් නැ.  ඒ හැම දෙනාම මිනිසුන් කියලා මට දැනෙනවා“.   


හහ් හහ් හහ්.....


සෞම්‍යයන් මහත්තයා හිනා වෙලා කියනවා,


 “මම හිතනවා ඒ කිව්වට මහත්තයට සිංහල මිනිසුන්ගේ හැඟිම් දැනිම් තේරෙන ප්‍රමාණයට දෙමළ මිනිසුන්ගෙ හැඟිම් දැනීම්  තේරෙන්නෙ නෑ කියලා“.

 මං ඇහුවා,

“ කොහොමද සෞම්‍යයන් මහත්තයා කොහොමද එහෙම කියන්නෙ“

ඔහු නැවත මගෙන් වෙනත් ප්‍රශ්නයක් ඇසුවා.


 “ඔබතුමාට සෝවියට් දේශෙ මිනිසුන්, දෙමළ මිනිසුන්ට වඩා දැනෙනවා කියල මට හිතෙනවා“.

“කොහොමද එහෙම  කියන්නේ සෞම්‍යයන් මහත්තයා“.

 “ඔබතුමා රුසියන් පොත පත කියවල ඇති.  ඔබ ගෝර්කිගෙ අම්මා කියවලා ඇති, වනේ පන්නරය ලැබූ හැටිත් කියවලා ඇති, උණු හිමත් කියවලා ඇති, සැබෑ මිනිසෙකුගේ කතාවත් කියවලා ඇති. ලෙනින්ලා, පාවෙල්ලා ,  දුයිෂේන්ලා, ගෝර්කිලා, දොස්තොයිව්ස්කිලා ගැන  ඔබතුමා රුසියන්  පොත පත කියවපු නිසා රුසියන් ජනතාවත්, ඒ පරිසරයත්,  චිත්තරූපයක් ලෙස මැවිලා පේනව ඇති. ඔබ තුමා  රුසියාවේ ගහ කොළ  ඇළ දොළ පරිසරය මිනිසුන්ගෙ ජීවන රටාව ඔබ තුමාට හොඳින් දැනෙනව ඇති. ඒ නිසා රුසියාව ඔබට ළඟයි. ඔබ රුසියානුවන්ට බෙහෙවින් ආදරෙයි. ඒත් මම හිතනවා දෙමළ මිනිසුන්,  මුස්ලිම් මිනිසුන් කන බොන විදිහ, ආගමික ඇදහිලි, ඔවුන්ගේ සංස්කෘතීන්,  ඔවුන්ගේ පුරුදු,  ඒ විදිහට ලං වෙලා සිංහල මිනිස්සුන්ට පේන්නෙ නැතිව ඇති කියලා“.

 මමත් ටිකක් ගැඹුරු කල්පනාවකට වැටුනා.  සෞම්‍යයන් මහත්තයා කියන එක ඇත්ත.  රුසියාව අපිට ළං කලේ පොත පත. මං රුසියාවට ගිහින් නෑ. මං රුසියාවේ මිනිසුන් ඇසුරු කරලා නෑ. නමුත් මට රුසියාව ළඟයි.  ඒ ළං කලේ පොත පත.  කතාව ඇත්ත.  මට දෙමළ, ජනතාව මුස්ලිම් ජනතාව,  ඒ කියන දවස්වල  දි   ඒතරම් ලං වෙලා තිබුනෙ නැ.  


 “සෞම්‍යයන් මහත්තයා කොහොමද එතකොට සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව අපි ලං කරන්නේ. “?


 “මහත්තයෝ, මේ ජාතිවාදි ප්‍රශ්නයට හේතුව මේක.  සිංහල මිනිහට දෙමළ මිනිහා ළං වෙලා නෑ. දෙමළ මිනිහට  සිංහල මිනිහ ළං වෙලා නැ. මුස්ළිම් මිනිහටත් එහෙම තමයි. මේ ළං නොවෙන්න හේතුව දෙමළ සාහිත්‍ය   සිංහලේට පරිවර්තනය, අනුවර්තනය වෙලා නෑ. ඒ නිසා දෙමළ මිනිහගෙ හැඟිම් දැනිම්  සිංහල මිනිසුන්ට  හොඳට දැනෙන්නෙ නැ. රුසියාව ඔබතුමාලට දැනුනට අපේ දෙමල මිනිහා දැනෙන්නෙ නැ.  ඒ වගේම සිංහල මිනිහ හිතන පතන විදිහ ඔවුන්ගේ සංස්කෘතිය අපේ දෙමළ මිනිහට දැනෙන්නෙ නැ. මේ අපේ සහෝදරයො කියලා හිතෙන්නෙ නැ. අපේම වුන් කියලා දැනෙන්නෙ නැ. ඒකට හේතුව මේ සිංහල පොත පත දෙමළට පරිවර්තනය වෙලා නෑ. දෙමළට අනුවර්තනය වෙලා නැ. මහත්තයෝ මගෙ තාත්ත මැරුවත්,  බාප්පල මැරුවත් මං කල්පනා කරා මේකේ වැරැද්ද මේ මරපු මිනිසුන්ගෙ නෙමෙයි කියලා. මහත්තයා එදා අපේ තාත්තව කඩුවෙන් කපපු මිනිස්සුන්ට දෙමල් මිනිහව හිත් වලින් ලං කරලා තිබ්බනං ඔය කඩුව උස්සන්නෙ නෑ මහත්තයා. මේක යුද්දෙන් බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි . ඒ නිසා මම තීන්දු කලා සිංහල පොත්  අපේ මිනිසුන්ට කියවන්න දෙමළට පරිවර්තනය කරන්න ඕන කියලා“.


 සෞම්‍යයන් මහත්තයා ගැන වෙනම කියවීමක් අධ්‍යනය කිරීමක් අවශ්‍ය වෙන්නෙ අන්න එතනදී. ලොකු ගැඹුරක් තියෙන ඒ අදහස මතුවීම වගේම ඒ අදහස් ක්‍රියාවට නගන්න ගත්ත උත්සාහය හැම මිනිහටම ඇතිවෙන හැඟීමක්වත් උත්සාහයක්වත් නෙවෙයි.  ඔහු තාත්තල, බාප්පල මරපු උන්ට වෛර කලේ නෑ. ඔහු මේ ප්‍රශ්ණය තේරුම් ගත්තෙ ප්‍රභාකරන් තේරුම් ගත්ත විදිහටවත්, රටේ බොහෝ අය තේරුම් ගත්ත විදිහටවත් නෙවෙයි. ඒ තේරුම් ගැනීම විශිෂ්ඨයි කියලා මට හිතෙනවා. මිනිස්සු මිනිස්සු ළං කරන්න,  ඔහුගේ පළමු පියවර වුනේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නවකතා කිපයක්  දෙමළට පරිවර්තනය කිරීම.  ඒ අනුව ඔහු විසින්  මාර්ටින් වික්‍රමසිංහ පදනමට ලිපියක් යවනවා  ඔබේ සිංහල නවකතා වන ‘විරාගයත්  මඩොල් දූවත්‘  මට සිංහලට පරිවර්තනය කරන්න අවසර දෙන්න කියලා.  වික්‍රමසිංහ  පදනමෙන් ඔහුට මේකට එවු පිළිතුරු ලිපිය සෞම්‍යයන් මහත්තයා එල්ලන් ආපු මල්ලෙන් ඇදලා මට පෙන්නුවා.  ඒ ලිපියේ  වික්‍රමසිංහ  පදනමෙන් කියලා තිබුනා අපි ඔබට අපේ පොත් දෙමළට පරිවර්තනය කරන්න අවසර දෙනවා. හැබැයි ඒ පරිවර්තන ප්‍රථමයෙන් අපට එවන්න. එම පරිවර්තන හරියට සිදුවී ඇති දැයි අපට අධ්‍යනය කරන්න අවශ්‍යයි. ඒ අනුව සෞම්‍යයන් මහත්තයා ‘විරාගය , මඩොල්දූව ‘පරිවර්තනය කර වික්‍රමසිංහ පදනමට යැව්වලු . වික්‍රමසිංහ පදනමෙන් මේක හොඳට දෙමළ දන්න හාමදුරු නමකට පෙන්නලා අඩුපාඩු  පෙන්නලා ආපසු එව්වලු.  හෙළයේ මහ ගත්කතුවරයාගේ පොත් දෙමළට පරිවර්තනය කළ පළමු පරිවර්තකයා තමයි අපේ සෞම්‍යයන් මහත්තයා.  

 
Google Image
මඩොල් දූව මේ වෙන කොට විදෙස් භාෂා විසි තුනකට විතර පරිවර්තනය වෙලා තිබුනා. ඒත් දෙමල පරිවර්තනය වී තිබුනේ නෑ. මේ කතාව මට කීවෙත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පුතා.  ඔහු මට මුන ගැහෙන්න වුනෙත්,  සුන්දරම් මහතාගේ පොත් සොයා ගන්න ඕන වුණ නිසා.  සුන්දරම් මහතා   ලියපු මේ පොත් මිල දි අරන් පුස්තකාලවලට දෙන්න මට දැඩි ඕනකමක් ඇතිවුනා.  නමුත් ඔහු ළඟ මේ පොත් තිබුනෙ නැ.  මාර්ටින් වික්‍රමසිංහ පදනමෙන් තමයි මේ පොත් මුද්‍රණය කරලා   තිබුනෙ. අපි මේ කරන්න ගිය ව්‍යාපෘතිය කරන කාලසීමාවේ දි වික්‍රමසිංහ මහතා ජීවතුන් අතර නෑ. මට දැන ගන්න ලැබුනා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පුතා පිටකෝට්ටෙ ප්‍රදේශයේ  මාර්ටින් වික්‍රමසිංහ පදනම පවත්වාගෙන යනව කියලා. අවස්ථා කිපයක් මම ගියා වික්‍රමසිංහ මත්තයගෙ පුතා හමුවන්න. ඔහු කිව්වා


 “එහෙම පොත් වගයක් තාත්තා ඉන්න කාලේ පරිවර්තනය කලා තමයි. දැන් ඒවා සොයා ගන්න අමාරුයි. පරණ ගබඩාවක් තියෙනවා. ඒකේ තියෙනව ද දන්නෙ නැ. ටෙලිපෝන් නම්බර් එක දිලා   යන්න තිබුනොත් දැනුම් දෙන්නම්.“


මමත්  ඔහුගේ දුරකථන අංකය ගත්තා. නමුත් ඔහුගෙන් මට පිළිතුරක් නොලැබුන නිසා ඔහුට වට කිහිපයක් මම කතා කළා. දවසක් ඔහු මට කිව්වා


පරණ පොත් ටිකක් තියෙනවා. හැබැයි විනාශ වෙලා. කාවෝ  කාලා. කැමති නම් අරන් යන්න.


මම ඒ වෙනුවෙන් දවසක් කොළඹ ගියා. මම පොත් ටික අරන් ආවා. වික්‍රමසිංහ මහතාගේ පුතා පොත්වලට මුදල් ගත්තෙ නැ. සෞමයන් මහත්තයා ලියපු පොත් මම බොහොම භක්තියෙන් බස් එකක දමා ගෙන බදුල්ලට අරගෙන ආවා. සෞම්‍යයන් මහත්තයා සිංහල සාහිත්‍ය දෙමළට පරිවර්තනය කලේ මුදල් ලබා ගන්න නොවෙයි. සිංහල මිනිසුන්ව දෙමළ මිනිසුන්ට ලං කරන්න. ඒ වගේ ම කුලසේන ෆොන්සේකා මහතා ලියපු පාලම යට නවකතාව සෞම්‍යයන් මහතා දෙමළට පරිවර්තනය කරලා තිබ්බා. ඒ අනුව ගත්තම සුන්දරම් සෞම්‍යයන් කියන්නේ සුන්දරම මිනිහෙක්. දිනක් ඔහු මා හමුවට ඇවිත් කිව්වා,


 “මහත්තයෝ , මම දෙමළ නවකතාවක්  සිංහලට  පරිවර්තනය කරගෙන යනවා.  ඒත් මේක තවම අච්චු ගහගන්න නම් විදියක් හොයාගත්තෙ නෑ“.


 මේ කියන කාලයේ දි ඔහු විශ්‍රාමිකයි.  ඔහුට ජීවත් වීමට සරිලන තරම් නිසි වැටුපක් තිබුනෙ නෑ කියලා මම දන්නවා. ඔහු බොහොම සරල මිනිසෙක් . ඔහු අඳින පළඳින විදිහට  ජීවත්වෙන විදිහට ඔහුට පොත මුද්‍රණයට මුදල් නැති බව මට තේරුනා.

 “මොකක් ද සෞම්‍යයන් මහත්තයා ඒ පොත“?   

“දෙමළ මිනිස්සු, විශේෂයෙන් වතු කරයේ දෙමළ මිනිස්සු ඉංදියාවේ ඉඳන් ලංකාවට ආපු හැටි. ඉංදියාවෙ මහ ඉඩෝරෙකට අසුවෙලා ජිවත් වෙන්න  අපහසු කාලවකවානුවක ඉංග්‍රීසින් මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ලංකාවේ සැප සම්පත් තියෙනව කියලා නැව් පුරෝලා ගෙනැවිත් මන්නාරමෙන් බස්සපු කතාවක් මහත්තයො. අතරමඟදි මිනිසුන් මැරුනු හැටි මේ සිතල කඳුමුදුන් වල ජීවත් වුන විදිහ, නිසි කෑමක් බීමක් නොලැබුන ආකාරය, ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතිව මිනිස්සු මැරුන හැටි, දෙමළ ගෑනු දරුවො දූෂණයට,  අතවරයට ලක්වුණු හැටි, සූරා කෑමට ලක්වුනු හැටි ලියවුන බොහොම වටින, සත්‍ය කරුණු තියෙන පොතක් තියෙනවා  මහත්තයො දෙමළ භාෂාවෙන්.  ඒක විශිෂ්ඨ කෘතියක්“ .
 

“කවුද ඒක ලියලා තියෙන්නෙ“?  


 “ ඒක ලියල තියෙන්නෙ කෝකිලන් සුප්පයිය කියලා නෝන කෙනෙක්.


 “කෝ ඒ නෝනා“ ?


මම ඇහුවා.


“එයා දැන් ඇමරිකාවේ. හැබැයි එයා බදුල්ලෙ හිටපු කෙනෙක්. එයා දැන් එහේ මහාචාර්යයවරියක්. මම එතුමියගෙන් අවසර ගත්තා මේක සිංහලට පරිවර්තනය කරන්න. මේ තියෙන්නෙ එතුමිය මට අවසර දීපු ලිපිය. මේ පොතට මම නම තියනවා හරිත මිරිඟුව කියලා“


සෞම්‍යයන් මහත්තයා කිව්වා.


“ඈ.. සෞම්‍යයන් මහත්තයා. ඔබතුමා මේ තනියම කරපු වටිනා වැඩේ සංස්කෘතික ඇමතිතුමාට, අධ්‍යාපන ඇමතිතුමාට එහෙම කිව්වෙ නැද්ද?. ඔය ඉහල නිලධාරීන් එහෙම මේ ගැන දැනුවත් කළේ නැද්ද? “?  


“ වැඩක් නෑ මහත්තයෝ, මම මේ පොත් වි.ජ.මු. ඇමතිතුමාට පෙන්නුවා. ප්‍රේමදාස මහත්තයා ආපු වෙලාවක ඔහුට මේ පොත්පත් ගිහින් ලියුමකුත් එක්ක බාරදුන්නා. ඒත් වැඩක් වුනෙ නෑ මහත්තයා. එයාලා මේක තේරුම් ගත්තෙ නෑ මහත්තයා“. 


“මම සල්ලි තියෙන මිනිහෙක් නෙමෙයි. සෞම්‍යයන් මහත්තයා ඔය පොත ඉවර කරන්න. මම උදව් කරන්න පුළුවන් අය සොයා ගන්නම්.  ඔය පොත ලියලා ඉවර කරන්න. මම උදව් කරන්න පුලුවන් අය හොයාගමු. ඔය පොත අපි එළි දක්වමු“.  


මම ඔහුට ධෛර්ය දුන්නා.  ඒත් දැනට වසර කීපයකට කලින් ඔහු මිය ගියා.  තවමත් ඒ පොත මුද්‍රණය කෙරුනෙ නෑ.  ඔහු මිය ගිය බව දවසක්  මගේ මිතුරෙක් මට දැන්වුවා. දන්වපු දවස අවසන් කටයුතු සිදුවන දවස. රටට වටිනා සේවයක් කලත් රටෙන් ඇගයීමකට ලක් නොවුනු මිනිසාට ගෞරවයක් දැක් විය යුතුයි කියලා කල්පනා කරපු මම තිබුනු වැඩ පැත්තකට දාලා, බයිසිකලයක නැගිලා  පස්සර පැල්ගහ තැන්නට ගියා අවසාන ගෞරව දක්වන්න ඔහුගේ මරණෙට රටේ ලොකු සාහිත්‍යධරයන් හෝ මැති ඇමතිලා ඇවිත් හිටියෙ නෑ. ඔහුට ජීවිතේට නොබෙල්ම තෑග්ග හම්බ වුනෙත් නෑ, ස්වර්ණ පුස්තක සම්මානය හම්බු වුනෙත් නෑ. යකඩ පතුරුවලින් හරි, ප්ලාස්ටික් හෝ ලී පතුරු වලින් හරි හදපු සම්මාන හරි කරපු වැඩේට මූල්‍ය ත්‍යාග හරි බලාපොරොත්තුවෙන් සෞම්‍යයන් මහත්තයා පොත් ලිව්වෙ නෑ. ඔහු බලාපොරොත්තු වුනේ සමාජ වටිනාකමක්. ඔහුට සමාජයෙන් ඊට සමාජ වටිනාකම් පෙරලා සමාජයෙන් ලැබිය යුතුයැයි මම විශ්වාස කරනවා. ඉතා චාම් සහ සරල විදිහට කෙරුනා. සෞම්‍යයන් මහතාට පුතුන් තුන්දෙනෙක් ඉන්නවා. ඒත් ඒ අය සෞම්‍ය්‍යන් මහත්තයත් අපිත් අතර තිබුණු මේ ඇසුර දැන හිටියේ නැ. මම ඔවුන්ව ඒ ගැන දැනුවත් කලා කළා.  


සෞම්‍යයන් මහත්තයාගෙ එක් පුතෙක් තමයි දැන් හාලිඇල විද්‍යා විදුහලේ ගුරුවරයෙක් ලෙස සේවය කරන සෞම්‍යයන් මදනරමනන් මහතා. දෙවැනි පුතා සෞම්‍යයන් රැජිනකාන්ත්,  වත්තල ප්‍රදේශයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරනවලු. බාල පුතා සෞම්‍යයන් ප්‍රදීපන් මහතා. දැන් ඔහු මඩකලපුවේ ඕටමාවඩි  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දන්ත වෛද්‍යවරයා ලෙස සේවය කරනවලු. මම පසු ගිය දිනක ඔහුට කතා කළා. තාත්තාගේ පොත මුද්‍රණය කරමු නේද කියලා ඇහුවා.  කියන්න සතුටුයි. ඒ පොතේ අඩුපාඩු බලලා මේ කාර්යය කළ යුතුයි කියන හැඟිමෙන් රුහුණු සරසවියේ කථිකාචාර්යවරයකුට පොත බාර දීපු බව ඔහු මට පැවසුවා.


 “කොහොමද පොත මුද්‍රණය කරන්නේ “.


මම ඇහුවා


“ඒක තවම හිතුවෙ නැ. ලක්ෂ හතරක් පහක් යයි. වියදම දරා ගන්න අමාරුයි. පොත් සමාගමකට ගනියිද දන්නෙත් නෑ. ඒ ගැනත් හොයලා බලන්න ඕන. තාත්තටත් මේක බැරි වුණා. අපටත් ටිකක් අමාරුයි“.



සෞම්‍යයන් සුන්දරම් මහතා වටිනා සුන්දර ශ්‍රේෂ්ඨ මිනිසෙක්.   ඒ මහතාගේ වටිනාකම සමාජයට දෙන්න ඕන කොහොමද කියලා මම ඒ දවස්වලත් කල්පනා කළා. ඒක සෞම්‍යයන් මහතාට කරන ගෞරවයක් වගේම සමාජයට ලොකු ඉගැන්වීමක් ඒකෙන් කරන්න පුලුවන්. ඉරිදා ලංකා පත්තරේ වැඩ කරන ලේඛකයෙක් වුණ ප්‍රියදර්ශන දයාරත්න මහත්තයට මම කතා කළා. සෞම්‍යයන් මහත්තය ගැන කිව්වා. ඔහු කියපු පලමු පැයේදීම සෞම්‍යයන් මහතාගේ වටිනාකම තේරුම් ගත්තා. ඒ අනුව ඔහු වට දෙකකදීම  සුන්දරම් මහත්තය ගැන පත්තරේ ලිව්වා. ලිපිය ලියන්න ඔහු කොළඹ ඉඳන්  බදුල්ලට ආවා. පස්සර දක්වාම ගියා. ඒ වගේම   ලක්බිම පත්තරේ පද්මිනි මාතරගේ කියන ලේඛිකාව මට කොළඹදි  දවසක් මුන ගැහුනු වෙලාවේදි මගෙන් ඇහුවෙ මොනවද බදුල්ලෙ විස්තර කියලා? මම සුන්දරම් මහත්තය ගැන කිව්වා. ඇයත් පළමු පැහැදිලි කිරීමෙන්ම සුන්දරම් මහත්තය ගැන අඳුනගත්තා. ඒ අනුව සුන්දරම් මහත්තය ගැන ඉරිදා ලක්බිමෙත් හොඳ ලිපියක් පලවුණා. රටට ලෝකෙට, ජාතිවාදයට  එරෙහිව  මතවාදය පතුරවන්න උත්සාහ කළ සෞම්‍යයන් මහත්තය ගැන තව බොහෝ දේ ලියන්න තිබුනත් මගෙ   හිතේ තිබුණ  බර සැහැල්ලු කර ගන්න මේ අකුරු ඇමුණුම කළ බව කාරුණිකව දන්වමි.

Wednesday, June 1, 2016

හැම තණකොළ පඳුරක් යටම කිරි ලීටර් දෙකක් නිදන්ගත වී ඇත.


මධ්‍යම කඳුකරයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ වාසය කරන මම මේ කඳුබිම්ද, ඇළ දොලවල් බොහොමයකද, පහස මගේ දෙපතුලට දැනෙන්න ඇවිදලා තියෙනවා. 
හපුතලේ, පුනාගල කන්ද, දඹේතැන්න කන්ද, හාලිඇළ ආසනයේ, ස්ප්‍රීන්වැලි කොටසේ මේමලේ හා පුදුමලේ ලයින් පේලි අස්සේ මම ඇවිදලා තියෙනවා. ඒ කියන්නෙ නමුණුකුල පාමුල පස්සර ආසනයේ මඩොල්සිම, රෝබේරිය කඳුබිම් ඉතා මනස්කාන්ත දසුන් මවමින් තිබෙන මේ හැම තැනකම ඇවිද්දම මට තේරුනා ඒවාගේ ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිත එතරම් මනස්කාන්ත නොවන බව. 
ඒ වගේම නුවරඑළිය ආසන්නයේ, ඌවපරණගම ආසනයේ ඈත කොනේ ලකීලෑන්ඩ් වත්ත, ගම්පහ වත්ත. මේ වතුවල වාසය කරන සහෝදර දමිල ජනතාව මම හමුවෙලා තියෙනවා. ඔවුන්ගෙ ජීවිත වලට මම බොහෝ කිට්ටුවෙලා ඇසුරු කරලා තියෙනවා. 
මීට වසර දෙසීයකට පෙරාතුව ලංකාවේ මේ මහ පොළවට ශ්‍රමය වගුරුවන්න ආපු ඒ දෙමළ මිනිස්සු. ඒ කාලේ සුද්දට රන් කහවනු සොයල දෙන්න මේ ඇත්තන්ගෙ ශ්‍රමය, දහඩිය, කඳුළු මේ කඳුවල දියකර හැරියා. ඒ මිනිස්සු අදත්, සුද්දො නැතත් මහ ධන කුවේර වතු සමාගම්වලට මිල මුදල් සොයා දෙන්න තමන්ගේ දහඩිය කඳුළු විතරක් නෙමෙයි තමන්ගෙ ජීවිතත් දිය කර හැරල තියෙනවා. 
පසුගිය දවස්වල ඔය හපුතලේ ආසනේ කන්දක් නාය ගියා. ඒ කියන්නේ 2014 අවුරුද්දෙ මීරියබැද්ද. ඒ නාය ගිය කන්දට යටවෙලා වතුකරේ ජනතාව හතලිහකට ආසන්නව මියදුනා, සිය ගානක් අනාත වුණා. දැන් වසර දෙකකට ආසන්නව ගෙවී තිබෙනවා. තවම ඔවුන්ට නිවාසයක් හදල දෙන්න බැරිවුණා. ඔවුන් තවමත් අනාථ කඳවුරුවල ජීවත් වෙනව. මේ නාය යන්නෙ කඳු නෙවෙයි. මේ නාය යන්නෙ අපේ රටේ මිනිසුන්ගේ ජීවිත. මේ තත්වය සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් නෑ. අපේ රටේ බොහොම දෙනෙකුට තවමත් උරුම වෙලා තියෙන්නෙ මේ වගේ ඉරණමක් තමයි.


මේ කතාව මට කියන්න මතක් වුනේ මීට අවුරුදු දෙක තුනකට පෙර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීම්ක් තිබුණා. ඒකට අපේ රටේ ඉහළ වගකිවයුතු දේශපාලන නායකයන්ද, නිලධාරීන්ද ගණනාවක් ආවා. ඒ රැස්වීම තිබුනේ ඌව පලාතේ සෞඛ්‍ය තත්වය ගැන කතා කරන්න. එතනට ආපු ප්‍රධාන දේශකයෙක් කිව්වා ලංකාවේ ගර්භනී මාතාවන්ගෙන් 42% ක් රක්ත හීනතාවයෙන් පෙලෙනවා කියලා. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 29%ක් මන්ද පෝෂණයෙන් පෙලෙනවා කියලා. ඒ දරුවන්ගෙන් 15% ක් දැඩි මන්ද පෝෂණයෙන් පෙලෙනව කිව්වා. මේ වැඩිහරියක් රක්තහීනතාවයෙන් හා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් ඉන්නෙ වතුකරයේ කියලා ඔහුගේ කතාවේදි කිව්වා.


මේ පුර්විකාව මම කිව්වෙ මේ හා බැඳුනු කතාවක් ඔබ සැමට කියන්න මම කල්පනා කරපු නිසා. මේ සියළු දේ මා අත්දුටු සත්‍ය කරුණු. මීට වසර කිහිපයකට පෙර මගේ මතකයේ හැටියට දෙදහස් හය වසරේ මට පැවරුණා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසනයේ ජනතාව දැනුවත් කිරිමේ  රැස්වීම් වටයකට යන්න. මට එදා පැවරුනේ නිල්දණ්ඩාහින්න කියන ප්‍රදේශයේ රැස්වීම් ගණනාවක් පවත්වන්න. උදේ ඉදන් රැස්වීම් පවත්වලා හවස් වෙනකොට මට රැස්විමකට යන්න සිදු වුණා ප්‍රධාන පාරෙන් ඇතුලේ තියෙන දුෂ්කර යැයි කියන ගම්මානයකට. මන්දාරම් වැටිලා, මීදුම් බාලා, සිහින් හිරි පොදක් වැටෙන වේලාවේ බයිසිකලේක නැගලා මාත්, එහේ සංවිධානේ සහෝදරයෙකුත් ඒ ගම්මානෙට යන්න පිටත් වුනා. නිල්දණ්ඩාහින්නේ උඩමාදුර කියන ගම්මානයට තමයි අපිට පළමුව යන්න පැවරුනේ. එතනිනුත් ඇතුලට තව යන්න තිබුනා. බයිසිකලේ යන්න බැරි කොටසේ වීරක්කොඩි අයියත් එක්ක පයින් කෙටි පාරක් දිගේ අපි කන්ද නඟින්න පටන් ගත්තා. වැස්ස නිසා බොහෝ කඳු සේදිලා ගිහින් තිබුණේ. පෑදිච්ච ගල් අතරින්, ගස් මුල් අතරින් අපි පැන ගෙන යන්න පටන් ගත්තා. තිබුණු එකම කුඩේ මට ඉහලන් යන්න සිද්ද වුණා. වීරක්කොඩි අයියා ඉටි කොළ පඩංගුවක් හිසේ ඉඳන් පහළට ඔතාගෙන මට ඉස්සරහින් යන්න පටන් ගත්තා.


රැස්විම පටන් ගන්න සෙනඟ එන්න පරක්කු වෙන නිසා රැස්වීම් භූමිය පසු කරලා අපි ටික දුරක් ගිහින් කඳු ගැට්ට නැඟලා පුංචි පැල්කොටේකට ඇතුල් වුණා. ඒ පැත්තේ මිනිස්සු දුගී දුප්පත්කමින් හොඳටම බැටකන මිනිස්සු. ඒ ගෙදරට වෙලා වීරක්කොඩි අයියයි මමයි ඒ ගෙදර ඇත්තොයි කතාකරකර ඉන්න කොට කන්ද පහළින් සද්දයක් ඇහෙනවා.


“වීරක්කොඩියෝ......., වීරක්කොඩියෝ...... උඹලගේ අර රැස්විමේ කතා කරන මහත්තය ඔතනට ආවයි? ඔතනට ආවා කියල ගම්මු කියනවා. ඉන්නවද බං ඒ මහත්තයා?“


කන්ද පහලින් කෙනෙකු සද්ද නඟා කතා කරනවා ඇහුනා. වීරක්කොඩි අයිය පැල්කොටෙන් එලියට ඇවිත්


“ලොකු බණ්ඩෙ මාමේ කන්ද නැඟලා වරෙං මහත්තය ඇවිල්ල ඉන්නෙ. මොකෝ බං උඹලැහැට මහත්තය හම්බ වෙන්න හිතුනේ?“


“රැස්වීමට මිනිස්සු එන්න තව වෙලාවක් යයි. අපේ මිනිස්සු වැඩ ඉවරපහවෙලානේ බං රැස්වීමට එන්නෙ. ඒකට තව පැයක් හමාරක් යන නිසා ඔය මහතැන් එක්ක මට ටිකක් කතාබහ කරන්න තියෙනවා. මං ආවට කමක් නැද්ද බං?“


“වරෙන් වරෙන් මාමෙ කතාකර කර ඉන්න පුළුවන්.“


වීරක්කොඩි අයියා කිව්වා. මමත් එබිකම් කරලා බැලුවා කව්ද මේ එන්නෙ කියලා. හැරමිටි ගහගෙන වයසක උන්දැ කෙනෙක් කමීස කඩමාල්ලකුත් ඇඳගෙන සාළුවකුත් කරට දාගෙන හිරිපොද වැස්සෙ කන්ද නැඟගෙන ඇවිත් පිල්කොටේට ගොඩවුණා. උන්දැ සෑහෙන්න තෙමිලා හිටියේ. මමං දිහා ගැඹුරු බැල්මකින් බලපු උන්දෑ


“හ්ම්... මේකද බන් ආපු මහත්තය අපේ ගමේ අයට කතා කොරන්ට?“


උන්දැ බුලත්විට කාලා දුඹුරු පැහැවුනු දත් ටික විදහාපාමින් හිනා වෙලා වීරක්කොඩි අයියගෙන් ඇහුවා. වීරක්කොඩි අයියා පිළිතුරු දෙන්නට පෙරාතුව මම


“ඔව් මුත්තේ මාමලගේ ගමේ කතා කරන්න ආවේ මම තමයි“


මම කිව්වා.


“වාඩි වෙයං මාමා“


කියලා ගෙදර අයිති අයියා උන්දැට ආරාධනා කලා. එහෙම කියපු ඔහු මුත්තතට වාඩි වෙන්න කොලොම්බුවක් ළං කරා. ඒ වෙනකොට මම හිටියෙ පුටුවක වාඩි වෙලා. උන්දැ කොලොම්බුවෙ වාඩිවෙන්න කලින් මම කිව්වා


“පිළට යං. පිලේ තියෙන  කොට්ට පිළේ අපි වාඩිවෙමු.”


මම ආරාධනා කලා. මාත් උන්දැත් එක්ක වාඩි වුණා.වීරක්කොඩි අයියත් මුත්තා ලඟින්ම වාඩි වුණා.


“අදනම් මහත්තයෝ මිනිස්සු එන කොට ටිකක් පමා වෙයි දැන් මේ හිරි පොද වැස්ස නිසා  මිනිස්සු හේන්වල ඉඳලා එන්නත් එපැයි. හැබැයි ගමේ ටිකක් අද නම් එක්කහු වෙයි. නේද වීරක්කොඩියෝ.....?“


මුත්තා වීරක්කොඩි අයියා කතාවට පළමුව පටලවාගන්න ප්‍රශ්ණයක් යොමුකලා.


“සමන්ත සහෝදරයා, මේ ඉන්නේ ලොකුබණ්ඩේ මාමා.“


වීරක්කොඩි අයියා මට ඔහු හඳුන්වා දුන්නා. වීරක්කොඩි සහෝදරයා කිව්වෙ මාමා කියලා. මම ඔහුගේ වයසට අනුව හිතලා ලොකු බණ්ඩේ මුත්තා කියලා කතා කළා.


“මහත්තයෝ මහත්තයනේ අද අපේ ගමේ කතා කොරන්න ආවේ. මහත්තයගෙන් මං මේ අහන්න ආවේ, මහත්තයලා වගේ වුන් අපේ ගමට ඇවිල්ලා කොච්චර නම් කතා කරලා තියෙනවද? ඡන්ද කාලෙට. අද මහත්තයට කියන්න ඕනි මහත්තයගේ කතාවෙ දි අපේ මේ ගම්බිම් වැඩිදියුණු කරන්නෙ කොහොමද කියලා? අපේ ගම්මුන්ට සෑහෙන්න ප්‍රශ්න තියෙනව. මහත්තයා, මුන්ට හරියට කන්ට බොන්ට නෑ, යන්න එන්න පාර තොටක් නෑ. බොන්න වතුර ඉතින් වැහි කාලෙට තිබුණට පායන කාලෙට ඇත්තෙත් නෑනේ. අපේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවක් කියලා මොකක්වත් ඇත්තෙත් නෑ. හේන් කුඹුරු කොටලම දැං කාලේ ජීවත් වෙන්නත් බෑ බං. ඒ හින්දා මහත්තයගෙ කතාවෙදි අද කියන්ට ඕනෑ අපේ ගම උඹලගේ කාලෙදි වැඩිදියුණු කරන්නේ කියලා.“


ලොකුබණ්ඩා මුත්තා උන්දා තම ගම ප්‍රදේශය වෙනුවෙන් බැරූරුම් ප්‍රශ්ණයක් යොමුකලා. එහෙම අහපු උන්දැ කතාව අතහැරියේ නෑ. උන්දැ මගෙන් අහනවා,


“හොඳයි මහත්තයො, මහත්තයා දැනුම් තේරුම් ඇති කෙනෙක් නොවැ. දැන් මහත්තය කියන්ටකො බලන්න අපේ මේ ගම මේ උඩමාඳුර, මේ නිල්දණ්ඩාහින්න, මේ වලපනේ පැත්තෙ අපේවුන්ගේ අතට මිල මුදලක් එන්න මේ පළාත දියුණු කොරන්ට මහත්තයලට මොකක්ද තියෙන වැඩපිළිවෙල? මහත්තයලා ඒ වෙනුවෙන් මොකක්ද කොරන්නෙ?“


මුන්දැට උත්තර දෙන්නෙ කොහොමද කියලා මං මුන්දැගෙ කතාව අතරතුර හිත හිතා හිටියෙ. කෙනෙකුට උත්තර දෙන්න පෙර ඔහු හිතන මතන විදිහ, එහුට තේරෙන බසින් පැහැදිලි කරන විදිහ, අපට තේරුනේ නැති වුනොත් ලොකු අවුලක් වෙන බව මම දැනං හිටියා.


“ලොකුබණ්ඩා මුත්තෙ, මුත්තට කියන්න පුළුවන් ද මේ පැතිවල ආර්ථිකේ වැඩි දියුණු කොරන්න මොනවද කරන්න පුළුවන්ය කියලා.“


මම උන්දෑ හිතනමතන විදිහ තේරුම් ගැනීමේ අරමුණින් උන්දැගෙන්ම ප්‍රශ්ණයක් ඇහුවා. ඒ වගේම උන්දෑ එන විදිහෙන්ම මට තේරුණා හිතේ සැලැස්මක් තියාගෙන තමයි මේ මගෙන් ප්‍රශ්ණයක් අහන්නේ කියලා. ඒ ගමන ලොකුබණ්ඩෙ මුත්තා මට කියනවා,


“පුතේ, උඹ කියපන් බලන්න අර ඈත පේන අපේ හෑගස්උල්ල කන්ද, ඔය කන්දෙ මොනවද උඹට පේන්න තියෙන්නේ?”


මම උන්දෑ පෙන්නපු කන්ද දිහාවට දෑස් යොමුකලා. ඈතින් කන්දක් පේනවා. ඒ කන්ද තනිකරම කොළපැහැ ගැන්විලා. මහගස්වලින් නෙවෙයි. මානා පඳුරු වැවිලා වගේ තමයි පේන්නෙ. ඒ අතරේ උන්දැ මට අනික් පැත්තට අත දික්කරලා අහනවා,


“ඈ මහත්තයා උඹ දන්නව ද අර ඈත පේන කන්ද, ඕකට කියන්නෙ යහලගමුව කන්ද කියලා. ඒ කන්දෙ මොනවද තියෙන්නෙ?”


“ලොකු බණ්ඩේ මුත්තෙ, ඒ කන්දෙ තියෙන්නෙත් අර කන්දෙ තියෙන ඒවමනේ. දෙකේම තියෙන්නෙ මට පේන විදිහට නම් මානං.”


මම කිව්වා    


“හහ් හහ් හහ් හහ්.........”


 උන්දෑ හිනාවෙන්න පටං ගත්තා


“තණකොළ තමයි. මානා තමයි. උඹ දන්වද ඔය මානා වල වටිනාකම?” 


“මුත්තම කියන්නකො.?”


මම ඔහුටම අවස්ථාව දුන්නා


“මහත්තයො ඔය තණකොළ හරි වටිනවා. ඔය හැම මානා පඳුරක් යටම  එක අවුරුද්දකට කිරි ලීටර දෙකක් තියෙනවා.”


 එතකොටම මේ ගෙදර අයිතිකාර අයියා අහනවා,


“ඈ බං ලොකුබණ්ඩා මාමා තණකොළ ගස් යට කොහෙන්ද බං කිරි?”


“හහ් හහ් හහ් හහ්............”


“තණකොළ ගස්යට  කොහෙන් ද බං කිරි? තණකොළ කන්ට ඕන. කෑවම තමයි කිරි එරෙන්නෙ“.


ලොකුබණ්ඩා මුත්තා අපූරුවට උත්තර බැන්දා


“කාට ද බං මාමේ කිරි එරෙන්නේ?”


ඒ ප්‍රශ්නෙත් ඇහුවේ ගෙදරම අයිතිකාරයාම තමයි. 


“හහ් හහ් හහ් හහ්............”


“ඒකවත් තේරෙන්නෙ නැද්ද බං? තණකොළ කවන්න ඕන හරක්ටනේ. වැස්සියන්ටනේ. එතකොටනෙ බං කිරි එරෙන්නේ.” 


ලොකුබණ්ඩා මුත්තා කිව්වා,




“මේ අපේ ගම් වැඩිදියුණු කරන්න මහත්තයෝ අමුතුවෙන් දේවල් ඕන නෑ. අපේ ගමේ උන්ට හොඳ කිරි හරක් ටිකක් ගෙනල්ල දෙන්ට. කිරි හරක් විතරක් ගෙනත් දීලා හරියන්නෑ. උන්ගේ තණ බුරුල්ලෙන් වැක්කෙරෙන කිරි ටික මිල මුදලට ගන්නට වැඩ පිළිවෙලකුත් හදන්ට. එතකොට අපේ ගම්වල ඉන්න උන්ට අත මිටට හොඳට මුදල් එනවා. මේ නිකන් තියෙන තණකොළ ඔය පායන කාලෙට කරකුට්ටන් උනාට පස්සෙ ගමේ කොල්ලො ගිනි තියනව. ගිනි ලාලා උන් සතුටු වෙනවා. සමහර උන් ගිනි ලාලා බැඳි අඹලා සත්තු දඩයම් කොරගන්නවා. ගිනි ලාලා මාසයක් එකහමාරක් යනකොට ලා තණකොළ වලිං ඔය කඳු වැහෙනවා. ඒ හින්දා මහත්තයො මේ ගම් හදන්න අමුතුවෙන් දේවල් ඕන නෑ. මේ ගම්වලම තියෙනවා ඕන තරම් සම්පත්. තණකොළ හරක්ට කැව්වනම්, ඒ හරක්ගෙන් කිරි ටික හොඳට ආවනම්, ඒ කිරි ටික විකුණ ගත්තානම්, මේ ගම් වැඩිදියුණු කරන්ට පුළුවන්. ඕව මහත්තයල කියන්ට......”


උන්දැ කියපු කතාව අහල මට බොහෝ දේවල් සිහියට ආවා.   අපේ සැළසුම්වල තිබෙන කාරනා උන්දැගෙ අත්දැකීම් හා දැනීම් හැටියට කිව්වේ. අපේ රටේ කිරි කර්මාන්තය අද මෙහෙම තිබුණට අතීතයේ මීට වඩා හොඳට තිබුණා. මාව මගේ ළමාවියේ අත්දැකීම්වලට ඇදිලා ගියා. මං පුංචි කාලේහයේ හතේ පංතිවල  ඉගෙන ගන්න කොට, අපේ මාමාගේ පාපැදියෙන්, මං පොල්ල යටින් කකුල දාලා බයිසිකලේ පදින කාලේ මට වගකීමක් පැවරුනා. ඒ අපේ මාමලාගේ ගෙදරට  ඒ කිව්වෙ චාලට් ටීචර්ලගෙ ගෙදර බෝඩිම් වෙලා හිටපු ඉස්කෝලේ මහත්වරුන්ට උදේට බොන්ට එළකිරි ගේන එක. හැමදාම උදේ මාමාගෙ බයිසිකලේ මට දෙනවා එළකිරි ගෙන්ට . ඉතින් කිලෝමීටර තුනක් විතර බයිසිකලේ පැදගෙන යන්න ඕනි එළකිරි ගේන්න. හෑපොලට. හෑපොල මනතුංග මුදලාලි කියලා මුදලාලි කෙනෙක් හිටියා. එහේ තමයි එළකිරි තිබුනෙ. සුමනා අක්කා එළකිරි දොවලා , බෝතල් දෙකකට දාලා, හොඳට ගෝනි නුලකින් බැඳලා බයිසිකලේ  හැඬල් එකේ එල්ලලා දෙනවා. බෝතල් දෙක ටින්ටින් ගාලා වැදිලා පුපුරලා යන්න පුළුවන් නිසා රෙදි පාන්කඩයක් මැදින් එල්ලනවා. මං බයිසිකලේ ගිහින් හැමදාම නැන්දලාගේ ගෙදරට කිරි බෝතල් දෙකක් ගෙනිහින් දුන්නා. ඒ කාලේ මට තිබුනේ බයිසිකලය පදින ආසාව විතරයි. අතීතයේ අපේ රටේ හැම ගෙදරකම වාගේ  වස්සෙක් වැස්සියෙක් හිටියා. වස්සාගෙන් කුඹුරේ වැඩ ගත්තා. වැස්සිගෙන් කිරි ටික ගත්තා. ඒක නිසා මන්ද පෝෂණය, රක්තහීනතාවය  තුරන් කරගන්න ක්‍රම බොහෝ ගැමියන්ට තිබුණා. ඒත් කාලයක් යන කොට අපේ ගම්වලට විටිං විට නියං ආවා. ඒ කාලෙට අපේ අම්මලා


“පුතේ මං යනවා සහනාධාරෙ කොටන්ට. ගෙදරට වෙලා හිටපල්ලා“.


එහෙම කියලා අම්මා සහනාධාරෙ කොටන්න ගියා. අම්ම විතරක් නෙමෙයි ගමේ ගෑණු පිරිමි ගොඩක් අය සහනාධාර වැඩට ගියා. කන්න බොන්න හිඟවුණාම ඔය සහනාධාර කෙටිල්ල ඒ කාලේ තිබුණා. රජය මගින් සහනාධාර දෙන්න පෙර ජනතාවගෙන් වැඩ ගත්තා. පාරවල්, ඇළවේලි, කපන කොටන එක, සුද්ද කිරීම මිනිස්සුන්ට පැවරුණා. ඉතින් එහෙම සහනාධාර වැඩට ගියහම සීනි ටිකක්, කරෝල ටිකක්, හාල් ටිකක් හම්බ වුණා. ඊට පස්සේ ඔය කිරි ටින්, ලොකු ඇන්කර් ටින් අපේ ගෙවල්වලට සහානාධාර ක්‍රමයට ආවා. ක්‍රම ක්‍රමයෙන් අපේ මිනිස්සු කිරිපිටිවලට හුරු වුණා. ගෙදර කිරි වැස්සි නැති වුණා. ඔවුන්  කිරිපිටි වලට හුරු වුණා. ඉතිහාසය පරික්ෂා කරලා බැලුවම අපේ රටට අරක්කු හුරු කරේ, දුම්වැටි හුරු කරේ එහෙම තමයි. සල්ලි අයකරන්නේ නැතුව නිකන් බොන්න දුන්නා, රහ බලන්න දුන්නා, ඒවා මිනිස්සු තමන්ට ලැබෙන ආධාර ලෙස සැලකුවා. ඒවා දුන්නේ ආදරේට කියලා හිතුවා. පස්සෙ ඒවට මිනිස්සු හුරු වුණා. ගෙදර හිටපු කිරි හරකා නැතිවුනා. කඩේට කිරි ටින් එක, කිරි පැකට් එක, එන්න පටන් ගත්තා. ඒවා අපි සල්ලි දීලා ගේන්නත් පුරුදු වුනා. ඒ විතරක් නෙවෙයි දැං සමහර ගම්මු වැස්සිගෙන් ලැබෙන කිරිටික විකුණලා ලැබෙන මුදලින් කඩෙං කිරි පැකට් ගෙනැල්ලා බොන තරමට වැඩේ දුරදිග ගිහිල්ලා. අපේ කිරි කර්මාන්තය කිරි සංස්කෘතිය ආන්න ඒ විදිහට නැතිවෙලා ගියා. එහෙම රටක් මේක. ඇත්තම ගත්තොත් අපේ රට සංවර්ධනය කරන්න ලොකුබණ්ඩා මුත්තා කිව්වා වගෙ කිරි කර්මාන්තය ඒ කියන්නේ පශු සම්පත් කර්මාන්තය සෑහෙන්න දියුණු කරන්න පුළුවන්. අද වනවිට රටට අවශ්‍ය කිරි ප්‍රමාණය සීයට අසූ පහක් අපි පිටරටින් ගෙන්න ගන්නවා. ඉතින් එහෙම බලනකොට අපේ රටේ වැඩිහිටි පරම්පරාවේ බොහෝ අයට හොඳට යමක් තේරෙනවා. ලොකු බණ්ඩා මුත්තා කියන කතා වලින් හොඳ මෝරච්ච මිනිහෙක් බව මට තේරුණා. ඒ අදහස් අපේ රට ගොඩනගන්න එකතුකර නොගන්න එක අපරාධයක් කියලයි අපිට හිතෙන්නෙ. ඒ එක පැත්තක කතාවක්.


ලෝකය ගත්තම අපේ රට කිරි නිශ්පාදනයට හොඳම රටක්. මොකද ලෝකයේ කිරි නිෂ්පාදනය ගත්තම ඒකට නම ගිය රටවල් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වගේ රටවල්. හැබැයි ඒ රටවල අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසේම කිරි දොවන්නෙ නෑ. සීතල කාලෙට, හිම වැටෙන කාලයට කිරි ගැනිල්ල නතර කරනවා. සමහර රටවල අවුරුද්දෙ මාස හයයි කිරි කර්මාන්තේ කරන්නෙ. අනික් කාලයේ දි කිරි දොවන්නෙ නෑ. දේශගුණ තත්වය ඒකට සුදුසු නෑ. නමුත් ලංකාව ගත්තම එහෙම නෙමෙයි. කිරි කර්මාන්තයට දවස් තුන්සිය හැටපහම සුදුසුයි. ඒ නිසා අපේ ගම්බිම්වල බොහෝම සරුසාර විදිහට මේ කිරි කර්මාන්තේ තිබුනා. අතීතයේ අපේ රටට පෙර දිග ධන්‍යාගාරය කිව්වා. වැව් තිස්දාහක් තිබුනා කියනවා. අපේ මේ ඌවේ එහා පැත්තේ වෙල් ලක්ෂයක් තිබුනා කියනවා. ඒව සේරම මේ වැව් අමුනු වලින් අස්වද්දපු කුඹුරු. ඔක්කොම අස්වද්දන්න දැන් වගේ ටැක්ටර් තිබුනේ නෑ. භූතයා තිබුනෙ නෑ. සුනාමි තිබුනෙ නෑ. ඒ කාලේ ගොවිතැනට භාවිතා කරපු එකම මැෂින් එක තමයි එළ හරකා, මී හරකා. අපේ ගමේ හිටපු උක්කු බණ්ඩෙ මාමා එක දවසක් දෙයියන්නෙ වෙල බෝ ගහ යට කමතේදී මගෙන් අහපු ප්‍රශ්ණයක් මට මතක් වෙනවා,


“උඹ දන්නවද හරකාගෙ වටිනාකමයි ට්‍රැක්ටරයේ වටිනාකමයි?”


මං හයේ හතේ වගේ ඉන්න කාලෙ තමා උන්දැ එහෙම ඇහුවේ. මං ඒකට උත්තර දුන්නා.


“හරකට වැඩිය වේගෙන් ට්‍රැක්ටරය  යනව. ඒ නිසා ගොවිතැනට වටින්නේ ට්‍රැක්ටරේ”


උක්කු බණ්ඩා මාමා  බක බක ගාලා මගෙන් නැවත අහනවා,


“ඒ වුනාට පුතේ උඹ කියන ට්‍රැක්ටරයට පුළුවනෑ ගොම පස් දාන්න, උන්ට ගොම දාන්න බැහැනෙ? එහෙම උනොත් උඹලෑ ගෙවල්වලයි, අපේ ගෙවල්වලයි, මාස දෙකෙන් තුනෙං බිම දාන්නෙ මොනවද බං?”


 මම කිව්වා “එකත් ඇත්ත තමයි “ 


ආයෙත් මාමා අහනවා.


“උඹ කියන ට්‍රැක්ටරයට පුළුවන්ද බං කිරි දෙන්න, උඹ කිරි දොවනවද ට්‍රැක්ටරයෙන්? එත් බං අපේ එළවැස්සි කිරි දෙනවනෙ ඇති පදමට.”


 “එකත් ඇත්ත තමයි මාමේ”


මම කිව්වා.


ගවයා කියන්නෙ සම්පතක්. ඒ හන්දා කිරි විතරක් නෙමේ. අද කිරිවලට වඩා ගොමත් වටිනවා. ලෝකය අද කාබනික කෘෂිකර්මාන්තයට දෙන තැන වැඩියි. කාබනික කෘෂිකර්මාන්තයක් අපේ රටේ ඉතිහාසයේ තිබුනා. ඒ හින්ද කිරිවලට ගොඩක් දේ කරන්න පුළුවන්. කිරි විතරක් නෙමේ මී කිරි, එළඟි තෙල් ආදි බොහෝ දේ අපේ රටේ කිරි කර්මාන්තයත් එක්ක බැඳි පවතිනවා. අපේ ගම්වල කිරි හරක් තුන්හතර දෙනෙක් හැම ගෙදරකම වගේ හිටියා. වස්සා කුඹුරු වැඩටත්, වැස්සි කිරි දොවන්නත් ගත්තා. ඉතින් ගව ගාලකුත් තිබුනා. අපේ ගම්මාන ගත්තම ගම්බාරෙල හිටියා. ගම්බාරෙල කිව්වම හරක් සීය, දෙසීය, තුන්සීයක් අයිති මිනිස්සු. ඒ කාලේ ඒ අය ගම්වල හිටපු ප්‍රධානියො වගේ. සෑහෙන්න වත්කම් තිබුනා. ඉතින් ගම්බාරෙලාට මහ ගව පට්ටි තිබුණා. අක්කර බාගේ හමාරෙ පට්ටි. උදේට හරක් ටික ලන්දට, කන්දට දාලා තණකොළ ටික කවාගෙන, වතුර ටික  පොවාගෙන පට්ටියට ගේනවා. ලංකාවේ වසර පුරාම හොඳ දේශගුණයක් තියෙනවා. කිරි කර්මාන්තය හොඳින් කරන්න පුළුවන්. නමුත් අපේ රටේ පාලකයො ඒවා තේරුම් අරන් නෑ කියලා අපට පේනවා. කිරි  කර්මාන්තයත්  අනෙක් හැම කර්මාන්තයක් වගේම බිඳවැටිලා තියෙන්නේ. මේ කාරණා මම මුත්තාටත් එතන ඉන්න අනිත් අයටත් පැහැදිලි කලා.


 හරි උඹල කියන විදිහට උඹලත් මගේ අදහස පිළිගන්නවා නොවැ, දැන් මොකද කියන්නෙ මගේ යෝජනාවට ? අපේ ගම් හදන්න බැරිද,  මේ තණකොළ හරක්ට කවලා කිරි හරක් කර්මාන්තේ දියුණු කරල?”


 ලොකු බණ්ඩා මුත්තා දෑස් දල්වාගෙන අවසන් කඩයිම් ප්‍රශ්ණය මට යොමුකළා.


“ලොකු බණ්ඩෙ මුත්තේ, මුත්තා කියන කාරණාව හරි. මේ ගම විතරක් නෙමේ මේ රටම දියුණු කරන්න පුළුවන් මේ කර්මාන්තේ දියුණු කරොත්. ලෝකෙ හතර දිග්බාගෙ ගිහිල්ලා ලෝක බැංකුවෙං අර බැංකුවෙං මේ බැංකුවෙං, චීනෙං, ඇමරිකාවෙං හිඟා කාගෙන ණය දොවාගෙන එන්න ඕන නෑ. තණකොළ ටිකක් හරක්ට කවලා කිරි දොවා ගත්තොත් රටට කිරි උතුරන්න පාර කපාගන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණයක් තියෙනවා.”


“දියුණු කොරන්න පුළුවන් නම් ඇයි බන් දියුණු නොකරන්නෙ“?


“මුත්තෙ, ප්‍රශ්නෙ මේකනේ හරක්ට ‍දෙන්න තරම් තණකොළ මේ රටේ ඉතුරු වෙන්නෙ නෑනේ.”


“ඒ කිව්වේ පුතේ මේ කඳුබිම්වල, තලාවල තියෙන තණකොළ මේ කරුමාන්තෙට මදිද බං?”


“ලොකු බණ්ඩා මුත්තේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර හරක්ටයි, පළාත් සභාවල ඉන්න සමහර හරක්ටයි තව තැන්වල ඉන්න හරක්ටයි කන්න දුන්නම  හරක්ට කන්න තණකොළ ඉතුරු වෙන්නෙ නෑ. එතකොට කොහොමද මේ රටේ කිරි කර්මාන්තය දියුණු කරන්නෙ?“


“හහ් හහ් හහ් හහ්.......................”


උන්දැ බුලත්විට කාපු දත්ටික් විලිස්සලා හිනා වෙලා මට කියනවා


“උඹ කියන කතාවත් හරි තමයි බං. මේ රටේ ගොඩක් අය මේවා කන නිසා හරක්ට කන්න දෙන්න තණකොළයක් ඉතුරු වෙන්නෙ නෑ. කවදා මේවා තේරුම් ගනීද මන්දා..... එහෙම නං උඹ රැස්වීමට වරෙන්. වැස්ස තුරල් කරා. දැන් ගම්මුත් එන වෙලාව හරි. මං හෙමිහිට බහින්නම් . උඹ නම් ඇඟේ පතේ හයිය තියෙන එකා. ඉක්මනින් අඩිය තියන නිසා ඉක්මනට බැහැල එයි. මට රැස්වීම තියෙන තැනට සෑහෙන වෙලාවක් යනවා බං යන්න. ඒ නිසා  මං යනවා...., වීරක්කොඩියෝ..., මහත්තයත් එක්ක උඹ වරෙන්” 



මුත්තා යන්න ගියා.